ජී එස් පී ප්ලස් තල්ලුව නැති විට | දිනමිණ

ජී එස් පී ප්ලස් තල්ලුව නැති විට

අප කරන්නේ සහනය මතම යැපෙමින් සිට එය අහිමිවූ විට හීල්ලීමය. ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා එමඟින් අවකාශ සැලසෙන්නේ නැත. නතරවී ඇති වාහනයකට තල්ලුවක් ලබාදුන් විට එය ටික දුරක් ගොස් පණ ගන්වා ගෙන තනිව ගමන යෑම රියදුරුගේ වගකීමය. තල්ලුවෙන් ටික දුරක් ගොස් නැවත නතරවූ පසු යළිත් තල්ලු කිරීමට කෙනෙක් අවශ්‍යනම් එය පලක් නැත.

දියුණු වෙමින් පවතින රටවල ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම හරහා ක්ෂේත්‍ර ගණනාවක ප්‍රගතියක් ඇති කිරීම අරමුණු කර ගනිමින් දියුණු රටවල් මගින් ලබාදෙන ජී. එස්. පී සහනය කලක් අත් හිටුවා තිබී ශ්‍රී ලංකාවට යළිත් හිමිවූයේ පසුගිය වසරේ මැයි මාසයේදීය. ලෝකයේ ඇඟලුම් නිෂ්පාදන ආනයනය කරන ප්‍රධාන රටවල් කිහිපය අතරින් ප්‍රධාන තැනක් ගන්නා ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සඳහා ලබාදී තිබූ මෙම ජී. එස්. පී සහනය පසුගිය 31 දින ඉවත් කළ අතර එය මෙරට ආර්ථිකයට කිනම් ආකාරයක බලපෑමක් සිදු කරයිද යන්න පිළිබඳව සමාජ කතා බහක් මේ වන විට නිර්මාණය වී තිබේ. විරැකියාව හා දරිද්‍රතාව ඉහළ මට්ටමක පැවතීම, විදේශ වත්කම් අඩුවීම හා ණය බරින් හෙම්බත්වීම වැනි කරුණු ගණනාවකින් අප වැනි දියුණු වෙමින් පවතින රටවල් පෙළෙන බැවින් ඒවායින් මිදීම පිණිස යම් සහනයක් ලබා දීමේ අරමුණින් දියුණු රටවල් විසින් මෙම ජී. එස්. පී සහනය හඳුන්වාදී තිබේ.

සුනාමි ව්‍යසනයෙන් පසු රටේ ඇති වූ අර්බුදකාරී තත්ත්වයට යම් සහනයක් ලෙසින් 2005 වසරේදී මෙරටට ලබාදුන් ජී. එස්. පී සහනය 2009 වසරේදී අපට අහිමි වූයේ ජාත්‍යන්තරය අපේක්ෂා කළ අකාරයේ වර්ධනයක් මානව හිමිකම් සුරක්ෂිත කිරීම ඇතුළු අංශ ගණනාවකින් සිදු නොවීම හේතුවෙනි. යළිත් එය අපට හිමි වූයේ වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුය. ඉහත දැක්වූ ක්ෂේත්‍රවල දියුණුවක් ඇති කර ගැනීමට මෙම සහනය මගින් රජයක් කටයුතු නොකරන අවස්ථාවල යම් යම් කොන්දේසි වලට යටත්වීමට සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි. එවැනි කොන්දේසි කිහිපයක්ම මෙවර ජී. එස්. පී සහනය ලබාදීමේදී ඉදිරිපත් වූ අතර ඒවා බොහෝ විට රටේ ඉදිරි ගමනට හේතුවන සුබවාදී යෝජනාය. ඒ අතර රටේ අන්‍යන්‍යතාවට හානිකර යෝජනා ඉදිරිපත් වන අවස්ථාද දක්නට ලැබුණත් වඩා වැදගත් වන්නේ ලැබෙන සහනයෙන් රටක් වශයෙන් උපරිම ප්‍රයෝජන ගැනීමය.

විරැකියාව ඉහළ මට්ටමක තිබියදී දරිද්‍රතාවය ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි. ලබාගත් ණය ක්‍රමවත්ව ආයෝජනය නොකිරීමේ ප්‍රතිඵල ලෙස රට ණය උගුලක සිරවී තිබේ. විදේශ වත්කම් ප්‍රමාණය කුඩා අගයක් ගැනීමත් වර්ෂ ගණනාවක පටන් ගෙවුම් ශේෂ හිඟයකටට මුහුණදී සිටීමත් යන කරුණු මත මෙරට ආර්ථිකය ස්ථාවර ගමනක් සඳහා පීලිගත කිරීම අභියෝගයකි. මෙවැනි තත්ත්වයක් රටක තිබියදී තමන්ගේ ආර්ථික හා මානව සම්පත්වල වර්ධනයක් ඇති කර ගැනීම අසීරු කටයුත්තකි. එක් පැත්තකින් විශාල අභියෝගයකි. මේ නිසා දියුණු රටවල් සංවර්ධන වෙමින් පවතින රටවලට වරණීය සහනයක් ලෙස මෙම ජී. එස්. පී සහනය ලබාදෙයි.

නිෂ්පාදන ඉහළ දැමීම

මෙම සහනය ලබා දීමේ අරමුණ සම්පූර්ණ කිරීමට සහන හිමිකම ලබන රට උනන්දු විය යුතුය. නිෂ්පාදනය වර්ධනය කර ගැනීම ඔස්සේ දළ දේශීය ආදායම වැඩි කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම මෙහිදී වැදගත් කරුණකි. නිෂ්පාදන සඳහා ලබා දෙන බදු සහනය රටට හිමිවන බැවින් අංශ ගණනාවක් ඔස්සේ ප්‍රයෝජන ගැනීම සඳහා ඉඩකඩ සැලසෙයි. බදු සහනය ඔස්සේ වෙළෙඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදන තරඟකාරී වෙනත් රටවලට සාපේක්ෂව අඩු මිලට ජී. එස්. පී සහනය ලබාදෙන රට වලට ලබා දීමට පුළුවන. මේ ඔස්සේ නිෂ්පාදන සඳහා වැඩි ඉල්ලුමක් ලබා ගැනීම පිණිස කටයුතු කිරීම නිෂ්පාදකයින්ගේ වගකීමකි.

බද්ද අඩු නිසා ලැබෙන ප්‍රතිලාභවලින් කොටසක් සේවකයින්ටත් අනෙක් කොටස ප්‍රතිආයෝජනය සඳහාත් යොදවන්න පුළුවන. ප්‍රාග්ධන සමුච්ඡය වැඩි කිරීම සඳහාද මෙය ආධාර කරගත හැකිය. ගොඩනැගිලි, උපකරණ ආදිය වැඩි කිරීම හා නව තාක්ෂණය බද්ධ කර ගැනීම කෙරෙහි නැඹුරුවක් දැක්වීම මගින් නිෂ්පාදන ප්‍රමාණය මෙන්ම ගුණාත්මක භාවයද වැඩකර ගැනීමට අවකාශ සැලසෙයි. අපනයන වැඩිවන විට විදේශීය වත්කම් ඉහළ යෑමෙන් ගෙවුම් ශේෂයේ හිඟය අඩුකර ගත හැකිය. අනෙක් පසින් මෙය විරැකියාව හා දරිද්‍රතාවය අඩු වීමට බලපානු ඇත. මෙතෙක් භාවිත නොකළ සම්පත් ප්‍රමාණයක් භාවිත කිරීමට අවකාශ සැලසීම ඔස්සේ, දළ දේශීය නිෂ්පාදනය ඉහළ යයි. මානව සම්පත සවිබල ගැන්වීම රටේ අනාගත අභිවෘද්ධියට ධනාත්මක බලපෑමක් එල්ල කරනු ඇත.

ජත්‍යන්තර වශයෙන් අපට ලැබෙන ඍජු විදේශ ආයෝජන අඩුය. විදේශ ණය ගෙවීම කළ යුත්තේ ඩොලර්වලිනි. මෙරට වාර්ෂික මුළු අපනයන ආදායම රුපියල් බිලිවන 10 කට ආසන්න අගයක පවතී.

ජී. එස්. පී වැනි සහනයක් නිෂ්පාදන තරඟකාරී නිමැවුම් හැකියාවට බාධාවක් කියා යමෙක් පැවසිය හැකිය. සහනාධාරයක් යනු එක් පසෙකින් යැපුම් තත්ත්වයකි. එහෙත් ස්වෝත්සාහයෙන් තරඟකාරී ලෙස වෙළෙඳ පොළ වර්ධනය කර ගැනීමට නොහැකි නම් මුල් අවස්ථාවක සහනයක් ලබා ගැනීම වාසියකි. ඇමරිකාවට සිදුකරන අපනයනවලින් පමණක් අප වාර්ෂිකව ඩොලර් මිලියන 2500 ක් පමණ උපයන අතර ඉන් 70 % ක් පමණම ආවරණය වනුයේ ඇඟලුම් අංශයෙනි. යුරෝපයට ඩොලර් මිලියන 1800 ක පමණ අපනයන සිදුකරයි.

මේ නිසා ඇමරිකාව ජී. එස්. පී සහනය ලබා නොදීම රටට තදින් බලපාන කරුණකි. ඇමරිකාවේ මෙම තීරණයත් සමඟ ඩොලර් මිලියන 60 ක් පමණ අපට අහිමි වන තත්ත්වයක් නිර්මාණයවී තිබේ. පසුගිය රජය සමයේ ලබාගත් ණය ගෙවීය යුතු කාලය මෙම වර්ෂයෙන් ආරම්භ වන නිසා මෙම ජී. එස්. පී සහනය අත්හිටුවීම රජයට තදින් දැනෙනු ඇත. දේශීය සම්පත් විදේශ රටවලට බඳු දීම සහන අඩු කිරීම වැනි ක්‍රියාමාර්ගවලට යෑමට මේ නිසා රජයට සිදුවනු ඇත.

සහල් ආනයනය

පසුගිය වසරේ සහල් ආනයනය සඳහා රජය විශාල මුදලක් වැය කරනු ලැබීය. මේවාද අපේක්ෂා නොකළ වියදම්ය. ඇමරිකාව එක් වරම මෙවැනි තීරණයක් ගනු ලැබුවේ ඇයිද යන්නද ප්‍රශ්නයකි. සමස්ත ලෝකයටම මෙම සහනය ඉවත් කළ බව ඇමරිකාව පැවසුවත් ජෙරුසලම සම්බන්ධ තීරණයේදී අප රටක් ලෙස ඇමරිකානු මතයට ප්‍රතිවිරුදධ මතයක සිටීම මෙයට බලපෑවේද යන සැකය මතු කරන්නට හේතු තිබේ.

අපේ සහන ලබා ගන්නා රටවල් අපට විරුද්ධ වූ බවත් ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගන්නා බවත් ඇමරිකානු ජනපතිවරයා පැවසීම පසුපස මෙය එකට එක කිරීමක් යැයි අනුමාන කළ හැකිය. ඇමරිකානු මතයට පක්ෂව කටයුතු කළ රටවලටද මෙම සහනය අහෝසි කර තිබෙන නමුත් පසුව ඔවුන්ට වෙනත් ආකාරයක සහනයක් ලබාදීම පිළිබදව ඇමරිකානු රජය සලකා බැලීමට වැඩි ඉඩක් තිබේ.

තේ සම්බන්ධයෙන් රුසියාව පසුගියදා පැනවූ තහනම හා ඇස්බැස්ටස් අතර සම්බන්ධයක් තිබෙන්නට ඇත්ද යන සැකය අප තුළ තිබේ. ඇමරිකාවේ ජී. එස්. පී තහනමද එවැන්නක් ලෙස අනුමාන කළ හැකිය. දියුණු රටවල් සහන ක්‍රියාවලියේදී තමන්ගේ බලය පාවිච්චි කරන්නට පුළුවන. මේවා ගැන අප රටක් ලෙස අවබෝධයෙන් පසුවීම වැදගත්ය. ලබාදුන් සහනය උපයෝගි කර ගනිමින් අප ජත්‍යන්තර වෙළෙද පොළ තුළ ශ්‍රීලංකා තේ මෙන් ඇගලුම් අංශයෙන් ශ්‍රී ලාංකික අන්‍යන්‍යතාව තහවුරු කෙරෙන නිෂ්පාදන ඉදිරිපත් කළේද යන්න ප්‍රශ්නයකි. අද නයික්,රිබොක් වැනි වෙළෙඳ නාම සදහා වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් ඇතිව තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීමේදී මෙය ඉතා වැදගත් අවශ්‍යතාවකි.

ප්‍රාග්ධන වියදම

ර්තමානයේ ප්‍රාග්ධන වියදම් අඩු අප්‍රිකානු රටවලට මෙන්ම පකිස්ථානයටත් කර්මාන්තකරුවන් යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර එයද අවධානම් තත්ත්වයකි. මෙම තත්ත්වයන් හඳුනාගෙන ක්‍රියාකිරීම අතිශයින් වැදගත්ය. අපේ ආර්ථික ශක්තිය අනුව අපට දියුණු රටවලට අභියෝග කිරීමේ හැකියාවක් නොමැත. පසුගිය ආණ්ඩුව ගත් ඇතැම් තීන්දු තීරණ ජාත්‍යන්තරය අප හා අමනාප වීමට හේතුවූ අයුරුත් ඒ ඔස්සේ ඔවුන් අපට නොයෙක් සම්බාධක පැනවීමට ගත් පියවරත් අප අමතක නොකළ යුතුය. මින් අදහස් කරන්නේ ඔවුන් කියන දේට සෑම මොහොතකම එකඟ වීම නොවන බවද අවධාරණය කළ යුතුය. මෙරට ආර්ථික, සමාජීය හා දේශපාලනික තත්ත්වයන්ට සමාන්තර ලෙස ජාත්‍යන්තරය සමඟ කටයුතු කිරීම වැදගත්ය.

ජී. එස්. පී සහනය නිසා ලැබෙන වාසි තුළින් අප ශක්තිමත් වෙළෙඳ පොළක් ඇතිකර ගැනීමට කටයුතු කළේද යන ප්‍රශ්නය මතුව තිබේ. සහනය මගින් ලැබෙන වාසිය කවදා හෝ එය අහිමිවූ අවස්ථාවක තනිව නැඟී සිටින්නට පාවිච්චි කළ යුතුය.

අප කරන්නේ සහනය මතම යැපෙමින් සිට එය අහිමිවූ විට හීල්ලීමය. ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීම සඳහා එමඟින් අවකාශ සැලසෙන්නේ නැත. නතරවී ඇති වාහනයකට තල්ලුවක් ලබාදුන් විට එය ටික දුරක් ගොස් පණ ගන්වා ගෙන තනිව ගමන යෑම රියදුරුගේ වගකීමය. තල්ලුවෙන් ටික දුරක් ගොස් නැවත නතරවූ පසු යළිත් තල්ලු කිරීමට කෙනෙක් අවශ්‍යනම් එය පලක් නැත.

තල්ලුව ලබා ගත යුතු වන්නේ වාහනය පණගන්වා ගැනීමට පමණක් විය යුතුය. අප පසුගිය කාලය තුළ ජී. එස්. පී සහනය භාවිත කළේ මෙයට සමාන ආකාරයකටය. සහනය නොමැතිව වුව වෙළෙඳ පොළ තුළ ස්ථාවරත්වයක් ගොඩ නංවා ගැනීමට රටක් ලෙස අප හැකියාවක් ලබාගත යුතුය.

අසේල කුරුළුවංශ

නව අදහස දක්වන්න