නාමකරණය ! | දිනමිණ

නාමකරණය !

සමෘද්ධිමත් වියට්නාමයක් ගොඩනැඟීමේ මහා වීරයා ලෙසින් සලකනු ලබන හෝ චී මින් 1969-මැයි-10දා හැනෝයි නගරයේ සිට ස්වකීය ජනතාව අමතමින් මෙසේ කියා සිටියේය.

“මා ගැන පමණක් කතා කරනවා නම්; මම මගේ රටට විප්ලවයට හා ජනතාවට මගේ මුළු ජීවිත කාලය පුරාම මගේ මුළු හදවතින් හා මුළු ශක්තියෙන් සේවය කළෙමි. මට දැන් මේ ලෝකය අතහැර යෑමට සිදුවේ නම්; මා කෙරෙහි දොස් නඟා ගැනීමට මට කිසිදු හේතුවක් නැත.”

රටක් - ජාතියක් හා මුළුමහත් සමාජයක් වෙනුවෙන් අවංක සේවයක නිරත වන මිනිස්සු තමන්ගේ නම බෝඩ් ලෑලිවල අලවා තබන්නට උත්සුක නොවෙති. හෝ චි මින් කිසි දිනෙක තමන්ගේ නම ප්‍රචලිත කිරීමට උත්සුක වූයේ නැත. ඔහු සිය හෘදසාක්ෂිය අමතා ඒ බව කියන බවක් ඉහත පාඨයෙන් පැහැදිලි වේ. අවංක නායකයන්ගේ තත්ත්වය ඒ යැයි කිව හැකි ය. එහෙත් නිදහසින් පසු අපේ රටේ දේශපාලනය තුළ ඇත්තේ මීට ඉඳුරා වෙනස් ප්‍රතිපත්තියක් යැයි කියන්නට පුළුවන. දේශපාලකයෝ පාලම් - බෝක්කුවලට ද තමන්ගේ නම යොදා ගැනීමට උත්සුක වෙති. ඇතැම්විට අධ්‍යාපනයට පවා තමන්ගේ නම යොදා ගැනීමට සමහර දේශපාලකයන් කටයුතු කර ඇත.

මේ ක්‍රමය වෙනස් කරන අපූරු සිද්ධියක් පෙරේදා අපට දැකගන්නට ලැබිණි. ඒ මොරගහකන්ද ජලාශයේ මංගල දියවර මුදාහරින අවස්ථාවෙන් පසුව පැවැති උත්සවයේදී ය. මේ උත්සවය අමතමින් ජනාධිපතිවරයා කියා සිටියේ මොරගහකන්ද ජලාශයට කීර්තිමත් ශ්‍රී ලාංකේය ඉංජිනේරුවකු වන ඒ. එන්. එස්. කුලසිංහ මහතාගේ නම යෙදීම සුදුසු බවයි. එලෙස ම රාජගිරියේ ගුවන් පාලම සඳහා රටේ ගෞරවයට පාත්‍රවූ හිමිනමක වන මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නම යෙදීම සුදුසු බව ය. මේ ඉදිකිරීම් දෙකටම ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ හෝ නම යොදා ගැනීමට ඉඩ තිබිණි. විශේෂයෙන් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට මූලික වූ තැනැත්තා ජනාධිපතිවරයා ය.

ජනාධිපතිවරයාගේ යෝජනාව තුළ ගත යුතු කරුණු කිහිපයක් තිබේ. ඉන් පළමුවන්න නම්; ජනප්‍රිය හා බාල දේශපාලනය වෙනුවට අර්ථවත් හා වැඩදායක දේශපාලනයකට යහපාලන ආණ්ඩුව අඩිතාලම දමා ඇති බව ය. දෙවන්න නම්; දේශපාලකයන් පුම්බාගැනීමට වඩා රටට යහපතක් සිදු කළ විද්වතුන් හා නිර්මාණශීලී පුද්ගලයන් හුවාදැක්වීම වැදගත් බව ය. තෙවන්න නම්; මහජන මුදලින් ඉදිකරනු ලබන ජාතික ව්‍යාපාර සඳහා දේශපාලකයන්ගේ නම්‍ යෙදීම නතර කළ යුතු බව ය. අපගේ සිහියට නැ‍ඟෙන්නේ දේශපාලකයා මහජන සේවකයෙකි යන අර්ථවත් පාඨයයි. දේශපාලකයෝ පාලන බලයට එති. නැවත ඉන් ඉවත් වෙති. අනාගතය සඳහා ඉතිරිවන්නේ ඔවුන් කළ-කී අර්ථසම්පන්න දේවල් පමණි.

ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ යනු දකුණු ආසියානු කලාපයේ බිහි වූ ‍හොඳම ඉංජිනේරුවෙකි. 1960දී ඉන්දීය ඉංජිනේරු ආයතනය දකුණු ආසියාවේ හොඳම නව නිෂ්පාදන ඉංජිනේරුවා ලෙස කුලසිංහ මහතා හඳුන්වා ඔහුට සම්මානයක් ද පිරිනමා ඇත. 1940 නෝටන්බ්‍රිජ් විදුලි යෝජනා ක්‍රමයේ කාර්මික සහායකයකු ලෙසින් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ඒ මහතා වරාය, ටයර් සංස්ථාව, වානේ සංස්ථාව, ලෝහ භාණ්ඩ සංස්ථාව යන ආයතනවල සේවය කර ඇත. 1962 දී රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව පිහිටුවීම සඳහා මූලික වී ඇත්තේ ද කුලසිංහ මහතාය. කුලසිංහ මහතා සිමෙන්ති යොදා නිෂ්පාදනය කළ පාරවල්, සිල්බරකොට හා තවත් නිර්මාණ ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වී ඇත.

මහවැලි ව්‍යාපාරයට කුලසිංහ මහතාගේ අපූරු සම්බන්ධයක් ද තිබේ. 1977 කඩිනම් මහවැලිය යෝජනා කරනවිට එහි සැලැසුම් භාරදී ඇත්තේ කුලසිංහ මහතාටය. කඩිනම් මහවැලියේ සැලැසුම් නිර්මාණය කළ කණ්ඩායමේ ප්‍රධානයා ලෙස ඔහු සාර්ථක සේවයක් ඉටුකර තිබේ. මොරගහකන්ද යනු මහවැලි ව්‍යාපාරයේ අවසන් ජලාශයයි. දැනට පවතින මතයට අනුව එය ශ්‍රී ලංකාවේ ඉදිවූ අවසන් ජලාශය ද වන්නේ ය. නව ශිෂ්ටාචාරයක් බිහි කරන ව්‍යාපෘතියක කොටස්කරුවකු ලෙසින් කුලසිංහ මහතා ක්‍රියා කර ඇත.

වරක් ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡාවක දී කියා ඇත්තේ මා පෙර ආත්මයේදී වාරිමාර්ග තැනීම් කටයුතු පිළිබඳ ශිල්පියකු ලෙස සේවය කරන්නට ඇති බවය. ශ්‍රී ලංකාවේ කීර්තිමත් ඉංජිනේරුවකුට යුක්තිය ඉටු වී ඇතැ’යි සිතන්නට පුළුවන‍.

මාදුළුවාවේ සෝභිත හිමියන් මේ රටේ දේශපාලනයේද ශාසනික ක්ෂේත්‍රයේ ද කැපී පෙනෙන සේවාවක් ඉටුකළ යතිවරයාණ කෙනෙකි. යහපත් දේශපාලන ප්‍රතිපත්තියක් ගොඩනැගීම සඳහා දීර්ඝකාලීන ලෙස සටන් වැදුණු විද්වත් හිමිනමක ලෙස ද උන්වහන්සේ හැඳින්විය හැකි ය. 2015 ජනවාරි විප්ලවයේ නිර්මාතෘ ලෙස හඳුන්වන්නේ ද සෝභිත හිමියන්ය. උන්වහන්සේගේ නාමය අනාගත පරපුර අතර නිතර සඳහන් වන දෙයක් බවට පත්කිරීම අතිශයින් ම වැදගත් ය. සෝභිත හිමියන් මුළු රටේම ජනතාවට සේවය කළ’මුත් උන්වහන්සේ ඇසුරු කරන හා සංවාද පවත්වන සමාජය පැවැතියේ අගනුවර හා තදාසන්න ප්‍රදේශවල ය. ඒ අනුව රාජගිරි‍ෙය් ගුවන් පාලමට උන්වහන්සේගේ කීර්තිමත් නාමය යෙදීම හැම අතකින්ම වැදගත්ය.

යහපාලනයේ දේශපාලන ප්‍රතිපත්ති සම්පාදනය විය යුත්තේ සාම්ප්‍රදායික දේශපාලනයේ පරණ පුරුදුවලට අනුව නොවන බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද පෙන්වා දී ඇත. ජනාධිපතිවරයා බොහෝ විවෘත කිරීම්වලට ගොස් ප්‍රසිද්ධියේ කියා සිටින දෙයක් වන්නේ මේවා මහජන මුදලින් ඉදිකළ දේවල් බව ය. අගමැතිවරයා විවිධ ව්‍යාපෘතිවලට තමන්ගේ නම යොදන්නට දෙන්නේ නැත. එය ප්‍රසිද්ධ කාරණයක් බවට පත්ව තිබේ. සාමාන්‍යයෙන් අප දන්නා දේශපාලනයට අනුව මෙතෙක් කිසිදු දේශපාලකයකු මහජන මුදලින් ඉදිකළ ව්‍යාපෘති ගැන කතා කරන්නේ නැත. දේශපාලකයන් පාරවල් හා තවත් දේවල් විවෘත කරනුයේ තමන්ගේ සාක්කුවෙන් ඒවා ඉදිකළ ගණනට ය.

දීර්ඝ කාලයක සිට අප සාකච්ඡා කරනුයේ ශීලාචාර සමාජයක් හා ශිෂ්ට සම්පන්න පාලනයක් ගොඩනඟන්නේ කෙසේද යන්න ගැන ය. මෙහි දී ඉස්මතු වන ප්‍රධාන තර්කයක් වන්නේ සමාජයේ චින්තනය වෙනස් නොකොට ශිෂ්ට සම්පන්න පාලනයක් හෝ ශීලාචාර සමාජයක් හෝ බිහිකළ නොහැකි බවය. මෙහිදී පහළින් ඉහළට යන සංකල්පය නොව ඉහළින් පහළට යන සංකල්පය වැදගත් වේ. එහි අර්ථය වන්නේ නායකයන් පළමුව තමන්ගේ චින්තනය වෙනස් කරගත යුතු බව ය. මොරගහකන්ද ජලාශයට කුලසිංහ මහතාගේ නම යෙදීමද රාජගිරිය ගුවන් පාලමට සෝභිත හිමියන්ගේ නම යෙදීම ද සුළු සිද්ධියක් ලෙස සලකන්නට පුළුවන. එහෙත් ඉන් ලැබෙන ආදර්ශය හා හැඟීම අපේ සමාජය වෙනසක් කරා ගෙන යෑමට සමත් වනු ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...