සොබා දහමේ නගු ල් තල | දිනමිණ

සොබා දහමේ නගු ල් තල

"අප්පච්චි මට කක්කුට්ට අල්ලල දෙන්ඩකො"

දියණිය කුඩා බාල්දියක් රැගෙන පොහොර වළ අසලට පැමිණෙයි.

ගෙයි පිටුපස පොහොර වළේ පොහොර ඉවතට ගනිමින් සිටින අතරතුර පැමිණි අමුත්තාය ඒ.

"මෙයා ටිකක් වෙලා තියාගන ඉඳල නිදහස් කරන්න පුතේ"

අමුත්තාගේ චර්යා නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ඇයට උදාවිය.

මුළුතැන්ගෙයින් ඉවත ලන දිරන ද්‍රව්‍ය ද ගෙමිදුලේ කුණු රොඩුද පොහොර වළට එක් කෙරේ. එනිසා අපට කසළ ගැටලුවක් නැත. නගර සභාවට ද අපෙන් කරදරයක් නැත. ගෙඋයනෙහි නෙක පැළෑටිවලට ඉන් පොහොර සැපයේ. වසවිස දැමීමක් ද නොවේ. එහෙයින් සොබා දහම ලෝබ නැතිව අපට අහර දෙයි.

මෙවර පොහොර වළේ විශේෂත්වය වූයේ අසාමාන්‍ය අයුරින් පණු වර්ග බෝවී තිබීම ය. එය සතුටට කරුණකි. මම උන් දෝතින් ගෙන පෙන්වීමි.

"ඉකේයියා..." බිරියත් දුවත් ඉවතට ගියහ. මම ඔවුන් කැඳවීමි.

"පුතේ මේ තමයි. සොබා දහමේ නගුල් තල හතර"

මම හීන් රතු පණුවා. දෑඟිල්ලෙන් එසවීමි.

"මෙයා තමයි මතුපිට නගුල"

ඊළඟට රතු මහත ගැඩවිලකු එසවීමි.

"මෙයා දෙවැනි නගුල. එයා අරයට වඩා ටිකක් යටින් ඉන්නෙ"

ඊළඟට දුඹුරු ගැඩවිලා ය.

"මෙයා තුන්වැනි නගුල. අර දෙන්නටම වඩා ගැඹුරු පොළොවේ ඉන්නෙ"

"හැබැයි පුතේ හතරවැනි නගුල මෙතන නැහැ"

"ඒ මොකද?"

"එයා අඩි කිහිපයක් යට තද පොළොවේ ඉන්නෙ. පොහොර වළක දකින්න බැහැ. එයා කළු පාටයි."

"එයාලට නගුල් තල කියන්නෙ ඇයි?"

"පොළොවේ තට්ටු හතරක ජීවත්වෙමින් පස මිශ්‍ර කරමින් නගුලේ කටයුත්ත කරන නිසා. ඇත්තටම නගුලට වඩා සක්‍රියයි. හේතුව නගුල් තලේ බහින දුරටත් වඩා ගැඹුරක ඉඳන් එයාලා ඒක කිරීමයි. ඔවුන්ගෙ ආහාරය පස්. ඒවම තමයි නැවත පසට එක්වන්නේ. වසවිස පසට වැටුණම උන් මැරෙනවා. සොබාවික නගුලේ කටයුත්ත නිමා වෙනවා. දැන්වෙලා තියෙන්නෙ ඒක."

පොහොර වළේ ගැඩවිලුන්ට අමතරව කංකුඩෝ බිංකුන්ඩෝ හා කඳ පනුවෝද සිටිති. පාංශු ජීවින් ගණන මෙතෙකැයි කිව නොහේ.

පස් අංශුවක පාංශු ජීවීන්, පාංශු වාතය, පාංශු ජලය නොවේ නම් එහි ජීව ක්‍රියාවලිය නවතී. කාබනික පොහොර යෙදූ විට ජීව ගුණය ලැබේ. මෙය කිසිදු වියදමක් නොයන කටයුත්තකි. අපේ රටේ නාගරිකයන් හා අර්ධ නාගරිකයන් මේවාට අකමැති වන්නේ කාලය හා ඉඩකඩ ප්‍රශ්නයක් නිසා නොව ආකල්පවල වරදක් නිසා ය. හිමිදිරියේ කාරයේ වැඩට යන ගමන් කුණුමල්ල පාරට වීසිකර යෑම නම්බුවක් ලෙස සිතන ඇතැම්හු ගෙමිදුලෙහි පොහොර වළක් කපා ගැනීම අවනම්බුවක් ලෙස සිතති. පෝක් බීෆ් බයිට් කමින් එළවළු මිල ගැන කියා ආණ්ඩුවට බනින සමහරු මිදුලේ පළා ටිකක් එළවළු ටිකක් වවා ගැනීම මදි පුංචිකමක් ලෙස සලකති. එහෙත් රාජකාරි බරින් නිදහස් වූ මොහොතේ පැළෑටි අතර ගැවසෙන විට දැනෙන මානසික සුවය මිල කළ නොහේ. ඒ සුවය හඳුනා ගැනීම ගතට සිතට දෙකට ම යහප්‍රතිඵල ගෙන දෙයි. 

තිඹි­රි­යා­ගම බණ්ඩාර

නව අදහස දක්වන්න