Dream Star 7ට ආලෝ­ක­යක් වුණු පුංචි හැඩ­කා­රිය චාතූර්යා | දිනමිණ

Dream Star 7ට ආලෝ­ක­යක් වුණු පුංචි හැඩ­කා­රිය චාතූර්යා

දෙරණ Dream Star Season Seven හි සිහින තරු සොයා ගිය ගමනේ ලක්ෂ සංඛාත තරග කරුවන් පිරිසක් අතුරින් අවසන් අට දෙනා අතරට තේරී පත්වීමට තරම් වාසනාවන්ත වූ කරළියේ හපන්කම් පෑ පුංචිම හැඩකාරිය වූයේ ඇයයි. ගායිකාවක ලෙස මෙලෙස රටක්ම වසඟ කරගත් චතුර්යා ගීත්මි නම් වූ ඇය නර්තනයටද එකසේ දස්කම් පාන්නියකි. සිහින තාරකාව වන්නට වරම් නොලැබුණත් ඒ තරු පොකුරේ එක් තරුවක් වෙමින් හෙට දිනයේ ශ්‍රී ලාංකේය ගී අඹර ආලෝකවත් කරන්නට සැරසෙන මේ කටකාරිය අද රසඳුන ඔබට හඳුන්වාදෙන්නටයි මේ සූදානම.

මේ තරගයේ පුංචිම හැඩකාරිය ඔයා කිව්වොත් ?

හ්ම්. මෙහෙමයි ගොඩක්දෙනා එහෙම කියන්නේ මම වයසටත් වඩා පෙනුමින් හුරුබුහුටිව පෙනෙන නිසා වෙන්න ඇති

ඒ කියන්නේ ඔබේ වයස?

අවුරුදු 21

ගොඩක් අය ඔයා හඳුනන්නේ චතුර්යා කියලා. සම්පූර්ණ නම දැනගන්න කැමැතියි?

චතුර්යා ගීත්මි වීනාවි යාපාරත්ත.

එතකොට ගම් පළාත ?

ගම්පහ දෙකටන

පාසල් ගියේ?

සාමාන්‍ය පෙළ දක්වා සිප් සතර හැදැරුවේ දොම්පේ දේවිබාලිකා විද්‍යාලයේ. උසස් පෙළ හැදැරුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්. දැනට සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලබනවා.

ඔබ නර්තනය පැත්තෙන් ඉදිරියට යන කෙනෙක්. සංගීතය පිළිබඳවත් හැදෑරීම් කරලා තියෙනවද?

විෂයයක් හැටියට සංගීතය පිළිබඳව වෙනම හැදෑරීම් කරලා නෑ. ඒත් මම පාසල් යන අවධියේ සිටම ගීත ගායනයට දක්ෂතා දැක්වූවා. දොම්පේ දේවී බාලිකා විද්‍යාලයේ දී සුසාරා සජීවනී මගේ සංගීත ගුරුතුමිය මා ගායනා තරග වලට යොමු කළා. ඒ ලැබුණු ගුරුහරුකම් එක්ක වසර හයක් පාසල් ජන ගායනා අංශයේ පළමු ස්ථානය ලබා ගැනීමට මට හැකියාව ලැබුණා.

නර්තන අංශයෙනුත් ඔබ ජයග්‍රහණ රැසක් ලබා තිබෙනවා නේද?

ඔව්, 2009 වසරේ උඩරට වන්නම් ඒකල සමස්ථ ලංකා දෙවැනි ස්ථානයත්, 2016 වසරේ ක්ෂණික නර්තන ඒකල සමස්ථ ලංකා දෙවැනි ස්ථානයත් ලබා තිබෙනවා.

ගායනයට ඇති ඔබේ ඒ හැකියාව නිසාද දෙරණ DREAM STAR තරගය සඳහා අයදුම් කරන්නේ?

DREAM STAR හත්වැනි අධියර සඳහා අයදුම්පත් කැඳවනවා කියලා දැනගන්න ලැබුණා. ගායනයට මට හැකියාවක් තියෙන නිසා මම ඒ සඳහා අයදුම් පතක් යොමුකළා.

තරගකරුවන් විශාල පිරිසක් අතුරින් අවසන් අට දෙනා අතරට තේරී පත්වීම ලෙහෙසි පහසු නෑ නේද?

මුල්ම සම්මුඛ පරීක්ෂණය තිබුණේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ. මගේ මතකයේ හැටියට එක් ලක්ෂ විසිදාහකට අධික තරගකරුවන් පිරිසක් අයදුම් කරලා තිබුණා. ඔවුන් හැමෝම වගේ දක්ෂයි. මම හිතන්නේ මගේ දක්ෂතාවය හා වාසනාව කියන දේ නිසා අවසන් අට දෙනා අතරට එන්න වාසනාව ලැබුණා. අවසන් සිහින තරුව වීමට නොලැබුණත් අවසන් අට දෙනා අතරට එන්න ලැබීමත් ලොකු ජයග්‍රහණයක්.

තරගාවලියේදී ඔබ වැඩිපුරම ගැයුවේ අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පිනියකගේ ගීත?

ප්‍රවීණ ගායන ශිල්පිනියන් කිහිපදෙනකුගේම ගීත ගායනා කළත් කරළියේ වැඩිපුරම මා ගායනා කළේ සුජාතා අත්තනායක මහත්මියගේ ගීත. එය විශේෂයි. ඇයවත් මා මේ මොහොතේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඒ ගමනට ඔබට ශක්තියක් වුණු පිරිස මතක් කරන්නට මේ හොඳම වෙලාව?

මගේ හෙවණැල්ල වගේ අදවන තුරු මගේ පිටුපසින් ඉන්නේ මගේ අම්මයි, තාත්තයි. ඒ වගේම මගේ පුහුණු වීම් කරපු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාර්ය අශෝක ඉඳුනිල් සහ එතුමාගේ බිරය සුසරා සජීවනී දෙපළ තමයි DREAM STAR කරළියේ චතුර්යා කියන තරගකාරිය නිර්මාණය කළේ. විශේෂයෙන් මගේ විශ්ව විද්‍යාලයේ සියලුම සහෝදර පිරිසත්, නාමලුව උපාලි ගුණරත්න මහතා සහ කටාන මගේ ගම් වාසීන් සියලු දෙනාම මේ මොහොතේ මතක් කරන අතර ඔවුනට තුති පුදන්නට කැම­ැතියි.

චතුර්යා මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු?

නර්තන කථිකාචාර්ය වරියකවීම තමයි මගේ එකම සිහිනය. ඒ වගේම සංගීතයට මට ඇති හැකියාව නිසාම සංගීතය පැත්තෙන් උපාධියක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. 

(සමන්ති වනි­ග­සේ­කර | ඡායා­රූප - ශාන් රූප­ස්සර)

නව අදහස දක්වන්න