නිවැරැදිව වතුර පානය කරන්නෙ මෙහෙමයි | දිනමිණ

නිවැරැදිව වතුර පානය කරන්නෙ මෙහෙමයි

 

සිරුරේ බරෙන් 55%ක් පමණ අඩංගු වන්නේ ජලයයි. ජලය, අපට ජීවත් වීමට අත්‍යවශ්‍ය සාධකයකි. විජලනය වූ විට සමහර රෝගීන් මිය යන්නේ ඒ නිසා ය. ශරීරයට ජලය ලැබෙන ආකාර දෙකකි. එකක් නම්, අප ගන්නා ආහාර ද්‍රව්‍යවල අඩංගු ජලයයි. අනෙක, බීමට ගන්නා ජලයයි. ආහාරයේ ජලය අපට ලැබෙන්නේ පරිවෘත්තියට ලක් වූ පසුව ය. බීමට ගන්නා ජලය අප ලබා ගත යුත්තේ කුමන ආකාරයටද? කොයි වෙලාවටද ?

දිනකට අපි ජලය ලීටර් 4-5ක ප්‍රමාණයක් බීමට ගත යුතු ය. එය ලබාගත යුත්තේ උතුරා, නිවා, පෙරා ගැනීමෙන් ය. මෙහිදී බොහෝදෙනා අසන ප්‍රශ්නයක් නම්, ජලය ලබා ගත යුත්තේ කුමන වෙලාවටද යන්න ය.

කෑමෙන් පසුව ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම හොඳ නැතැයි මිථ්‍යා විශ්වාසයක් ද අප අතර පවතී. අප ආහාරයට ගන්නා කෑම ජීරණය කිරීම සඳහා ආහාර මාර්ගයේ ජලය තිබීම,එසේත් නැත්නම් ආහාර ද්‍රව්‍ය ද්‍රාවණයක් ලෙස තිබීම අත්‍යවශ්‍ය ය. එවිට ඒ මත එන්සයිම ක්‍රියාකාරී වී,ජීරණය හොඳින් සිදුවේ.

එම නිසා, ආහාර ගත් විගසින්ම, ජලය වීදුරුවක් පමණ බීමට ගත යුතු ය. අමතර ජලය පානය කළ යුත්තේ, තිබහා වන විට ය.

අවට උෂ්ණත්වය වැඩි වූ විට, ශරීරයෙන් ජලය පිටවීම වැඩි ය. එවිට ජලය පානය කිරීම අත්‍යවශ්‍ය වේ. නැතහොත්, විජලනය ඇතිවී මරණය පවා සිදුවිය හැකි ය.

එසේ ම, ශීතකරණයේ තැබූ ජලය නිතර පානය සුවදායක නොවේ. මන්දයත්, ආමාශයේ ඇති ස්නායු අංශු අක්‍රීය වී, ගැස්ට්‍රයිටීස් සෑදීමට ඉඩ ඇති බැවිනි. එසේ ම, රාත්‍රී නින්දට පෙර උණු ජලය වීදුරුවක් පානය කිරීමෙන් වාසි රැසක් අත්වේ.

ආහාර මාර්ගයෙන් ජලය අවශෝෂණය වන්නේ අපරභාගයෙනි. එහිදී නිසි පරිදි ආහාරවල ජලය අඩංගු නොවේ නම්, මළබද්ධය ඇති වේ. එම නිසා, රාත්‍රී ආහාර වේලාවෙන් පසුව උණු ජලය වීදුරුවක් පානය කිරීමෙන්, සිරුර උත්තේජනය වී, පහසුවෙන් මළපහ කර ගැනීමට හැකිවේ. මළබද්ධය වළක්වා ගැනීමට එය ඉමහත් සේවයකි.

උපදෙස් - පවුල් සෞඛ්‍ය කාර්යංශයේ ආහාර හා පෝෂණ විශේෂඥ වෛද්‍ය සෙලී ප්‍රනාන්දු

යශෝදා 

නව අදහස දක්වන්න