ටෙලි ගැන තාමත් හිතලා නැහැ | දිනමිණ

ටෙලි ගැන තාමත් හිතලා නැහැ

ටීනා ෂනෙල් ප්‍රනාන්දු

වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක ලෙස ක්ෂේත්‍රයට පැමිණි ටීනා ෂනෙල්, මෑතකදී තිරගත වූ ‘දේදුනු ආකාසෙ‘ සිනමාපටයෙන් සිනමා වරම් හිමි කර ගත්තා ය. කලා දිවියේ ඉදිරි අපේක්ෂා පිළිබඳ ඈ හා කෙරුණු කතාබහකි මේ.

*ඔබ කලාවට යොමු වුණේ කොහොමද?

මම ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහ හයක් වෙනවා. මම පාසලේ දහය වසරෙ සිටිද්දියි මගේ පළමු වෙළෙඳ දැන්වීම රඟපෑමට අවස්ථාව ලැබුණෙ. මගේ අක්කලා දෙන්නම ක්ෂේත්‍රයේ සිටි අය. රොෂෙල් සහ මිෂෙල් කියන මේ දෙන්නම වෙළෙඳ දැන්වීම් හා මෝස්තර නිරූපණයේ නිරත අයයි. දෙවැනි අක්කා තවමත් නිරූපණ හා වෙළෛඳ දැන්වීම්වලට පෙනීසිටිනවා. අපේ පවුලෙන් දැන් මම තමයි කලා ක්ෂේත්‍රයේ රැඳී ඉන්නෙ. මේ වෙද්දි මම ටෙලි නාට්‍ය හැරුණහම වෙළෙඳ දැන්වීම්, ජායාරූපවලට පෙනී සිටිමින් මනාළියන් දැක්ම, චිත්‍රපට, මියුසික් වීඩියෝ, ඔය හැම දෙයකටම දායකත්වය සපයනවා.

* අද කාලෙ රංගනයට එන බොහෝ දෙනා සිනමාව වගේම ටෙලි නාට්‍යයත් තෝර ගන්නවා. ඒත් ඔබ ටෙලි නාට්‍යවල රඟ නොපාන්නෙ ඇයි?

නිරූපිකාවක් විදිහට කටයුතු කරද්දි නිතරම දකින්න නොලැබෙන විදිහේ කෙනෙක්ව නිරූපණයෙන් දකින්නයි මිනිස්සු කැමැති. ඒ නිසයි මම ටෙලි නාට්‍යවල රඟපාන එක ගැන තවම හිතන්නෙ නැත්තෙ. ඒත් ඉදිරියෙදි සමහර විට මම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න ඉඩ තියෙනවා.

* නිරූපිකාවක් වූ ඔබට, රංගනය ජය ගන්න එක අසීරු දෙයක් වුණාද?

දේදුනු ආකාසේ තමයි මගේ පළමු සිනමා රංගනය. මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මහත්මය මා දකින්නෙ නිරූපිකාවක් විදිහටයි. මට රඟපාන්න පුළුවන්ද කියන එක ගැන එතුමාට වගේම බොහෝ අයට සැකයක් තිබුණා . ඒත්, රඟපාපු චරිතයට උපරිම සාධාරණයක් කරලා තියෙනවා කියලා මම හිතනවා. මම මගේ චරිතය ප්‍රේක්ෂකයන්ට දැනෙන විදිහට කරලා තියෙනවා කියලා හිතෙන්නෙ, මගේ රඟපෑමට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසයි.

* ගීතයක රූපරචනා, මොස්තර නිරූපණය හා සිනමා රංගනය අතර ඔබට දැනුණු වෙනස්කම් මොනවද?

රඟපාන එක ලේසි වැඩක් නෙමෙයි. මියුසික් වීඩියෝ එකක රඟපාද්දි අපේ ඇස්වලින් වගේ ම, මුහුණෙ ඉරියව් විතරයි වුවමනා වෙන්නෙ. සිනමාවෙදි ඒක සම්පූර්ණයෙන් වෙනස් අත්දැකීමක්. දෙබස් උච්ඡාරණය, ඇඳුම් පැලඳුම්, හැසිරීම් රටාව, අපේ චරිතය අනෙක් චරිත එක්ක සම්බන්ධ වන ආකාරය, මේ හැම දෙයක්ම ගත්තහම ඒක අමාරු වැඩක්. නර්ථනය පැතතෙන් වුණත් අපි බොහෝ පෙර පුහුණුවීම්වල යෙදිලා තමයි දර්ශන තලයට යන්නෙ. පිරිසක් සමඟ නර්ථනයේ යෙදී සිටිද්දි ඒ හැම කෙනෙක්ම හරියට කරන්න ඕනැ. එක්කෙනෙක් හරි වැරැද්දුවොත්, නැවත නැවත රූපගත කිරීම්වලට පෙනී සිටින්න වෙනවා. සිනමා කැමරාවක් ඉදිරියේ අපට බොරු කරන්න බැහැ. කොතැනක හෝ අපෙන් වැරැද්දක් වුණොත්, ඒක ප්‍රේක්ෂකයට දැනෙනවා.

*සිනමාව තුළ ඔබගේ ප්‍රධාන අපේක්ෂාව මොකක්ද?

හොඳ අධ්‍යක්ෂවරු යටතේ රඟපාන්න ලැබෙනවා නම් මම හරි ම කැමැතියි. මට බොහෝ දේ කරන්න හැකියාව තියෙනවා කියලා මම හිතනවා. වානිජ සිනමාවටම කොටුවෙලා ඉන්නෙ නැතිව ප්‍රේම චරිත, අද්භූත, අරුම පුදුම කතා, මන:කල්පිත චරිත ඔය හැම විදිහෙ දෙයකින් ම ඉදිරියට යන්න ලැබෙනවා නම් ඒක භාග්‍යයක්.

* මේ වගේ සුවිශේෂී චරිත කරන විට, බොහෝ කැප කිරීම් කරන්න වෙනවා නේද?

අනිවාර්යයෙන්ම කැපකිරීමක් කරන්නම ඔනෑ. හැම චරිතයකටම සාධාරණය ඉටු කරන්න පුළුවන් කෙනෙක් තමයි නිළියක් කියන්නෙ. රංගනය කියන්නෙ, තමා තුළ ම තියෙන හැකියාවක්. එය පන්තියකට ගිහින්වත්, මවුපියන් ක්ෂේත්‍රයේ සිටින නිසාවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි ළඟ සහජයෙන් තිබෙන දක්ෂතාව, කිසි කෙනකුට වෙනස් කරන්න බැහැ. ඒ වගේ ම තමයි, ටීනා කියන්නෙ මේ විදිහෙ චරිත විතරක් කරන කෙනෙක් කියලා කොටු කරන්නත් බැහැ. මගේ බටහිර පෙනුමක් තිබුණට, ඒක මගේ සාමාන්‍ය ජීවිතය. ඒත් මට චරිතයක් ලැබුණොත්, ඒ චරිතයට ගැළපෙන විදිහට මගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන, ඒ චරිතය නිරූපණය කන්න මම ලෑස්තියි.

* ඔබ සිහින දකින්නෙ අනාගතයේ හොඳ ම නිළිය වන්නද? ජනප්‍රියම නිළිය වන්නද?

ඔය දෙපැත්තතෙන්ම යන්න කැමතියි. මේ කාලෙ කොච්චර නළු නිළියො හිටියත්, අදටත් මිනිස්සු කතා කරන්නෙ, මාලනී ෆොන්සේකා, සබීතා පෙරේරා වැනි අය කරපු චරිත ගැන හා ඒ නළු නිළියන් ගැනයි. එහෙම වෙලා තියෙන්නේ, ඒ අය හැම විදිහකම චරිත, මිනිස්සුන්ට දැනෙන ආකාරයට කරලා තියෙන නිසයි.

* සිනමා රංගනයේදී තමන්ගේ හැකියා ඔප්පු කරන්න, සම්මානත් වැදගත් සාධකයක් නේද?

සම්මාන ගැන මට තියෙන බලාපොරොත්තුව නම් තරමක් වෙනස්. ඇතැමුන් මේ අවුරුද්දෙ චිත්‍රපටයක් කරලා, ඊ ළඟ අවුරුද්දෙ සම්මාන ගන්නවා. එක චිත්‍රපටයක් කළාට සිනමා නිළියක් වෙන්නෙත් නැහැ. සම්මානයක් ලබන්නත් අපහසුයි. චිත්‍රපටයක් දෙකක් කරලා සම්මානයක් ලබනවට වඩා, හොඳ නිර්මාණ සඳහා මගේ දායකත්වය දීලා, යම් දුරක් ආවට පස්සෙ මගේ දක්ෂතාවලට ලැබෙන ඇගැයීමයි වටින්නෙ. මට අද දවසේ වටින්නෙ, හොඳ අධ්‍යක්ෂවරු යටතේ විවිධ චරිත රඟපාන එකයි.

* රංගනයෙදී ඔබ පූර්වාදර්ශ ලබන තැන් මොනවද?

මම කිසිම බේදයක් නැතිව, හැම තිස්සෙම විදේශීය චිත්‍රපට නරඹන කෙනෙක්. ඒ නිර්මාණවල රඟපාන නිළියන්ගෙ රංගනය මම නිරීක්ෂණය කරනවා. මගේ ප්‍රියතම රංගන ශිල්පීන් වෙන්නෙ, දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, ජැකලීන්, විද්‍යා බාලන් වැනි අය.

* අපේ රටේ නිර්මාණ ශිල්පීන් අතරින් ඔබට සමීප අය කවුද?

රංගනය පැත්තෙන් නම් ශ්‍රී ලංකාවේ මම අනුකරණය කරන අය නැහැ. ඒත් ක්ෂේත්‍රයේ වැඩවලදි මුණගැහෙන අය අතරෙ, යුරේනි නොෂිකා, නදීශා හේමමාලි, ධනංජි තාරුකා යන අයට මම කැමැතියි.

* නිළියක් වුණාට පස්සෙ සාමාන්‍ය දිවියත් වෙනසකම්වලට බඳුන් වුණාද?

සාමාන්‍ය ජීවිතයේ මම, එදා හිටිය මමම තමයි. රංගනය හෝ නිරූපණය කියන්නෙ මගේ රැකියාව. එතැනින් එහාට, අනෙක් අය මට මොනවද කියන්නෙ? මා ගැන මොනවද කතා කරන්නෙ? කියලා හිත හිතා ජීවත් වෙන්නෙ නැහැ. මම වෙලාවකට හරි ම සැහැල්ලු කෙනෙක්. ඒත්, කාගෙ හරි දුකකදි, ප්‍රශ්නයකදි බොහොම හැඟුම්බර වෙනවා.

* ඔබේ පවුලෙ තොරතුරු ටිකක් කතා කළොත්?

මට අම්මයි, අක්කලා දෙන්නයි තමයි ඉන්නෙ. මම ඉගෙන ගත්තෙ කොටහේන ගුඩ්ෂෙපර්ඩ් විද්‍යාලයෙන්. පාසලේ නේවාසික ශිෂ්‍යාවක් විදිහටයි මම වැඩි කාලයක් ගත කරලා තියෙන්නෙ. පොඩි කාලෙ ඉඳන් ම කලාවට එන්නයි මගෙ බලාපොරොත්තුව තිබුණෙ. මම පාසලේ පොඩි පන්තිවල සිටිය කාලෙ ඉඳන් ම නාට්‍ය තරගවලින් ජයග්‍රහණය කළා. අද මා තුළින් එළියට එන්නෙ, එදා මා තුළ තිබුණු දක්ෂතාව හා කැමැත්තයි.

*ප්‍රසිද්ධ තරුණියක් වන ඔබ, තරුණ කාලේ ආදරය දකින්නේ කොහොමද?

මම පෙම්වතියක්. මේ ක්ෂේත්‍රෙය් ඉන්නකොට, පෙම්වතෙක් නැතිව ඉන්න එක අපහසුයි. මේ ක්ෂේත්‍ර යේ සිටිද්දි, තමන්ගෙ ආරක්ෂාවට, රැකවරණයට කෙනෙක් තමන් වෙනුවෙන් ම සිටීම අත්‍යවශ්‍යයි.

*ඔහු කලාවට සම්බන්ධ කෙනෙක්ද?

ඒ ගැන පසුව කතා කරන්නම්.

ධම්මිකා සුරංජි පතිරණ

නව අදහස දක්වන්න