සිරි සුභාරතී හිමි තෙමස් පූර්ණ පින්කම | දිනමිණ

සිරි සුභාරතී හිමි තෙමස් පූර්ණ පින්කම

 

වටාපොත ශ්‍රී දේවානන්ද පිරිවෙන, තුත්තිරිපිටිය ශ්‍රී සුගතවර්ධනාරාමය, යටාගරේ ශ්‍රී සුමිත්‍රාරාමය, විහාරවල අධිපතීන් වහන්සේ වූද, ශ්‍රී දේවානන්ද වංසාවතංශ, විනය කීර්ති සිරි සුමිත්තානන්ද වංසාවතංශ, සිරි සද්ධර්මාචාර්ය, විචිත්‍ර භාණක, අතිපූජ්‍ය එරබද්දේ සිරි සුභාරතී නායක ස්වාමීන්වහන්සේ අපවත්වී තෙමස් පූර්ණ පින්කම පසුගියදා පැවැත්විණි.

විසිවන සියවසේ මුල්භාගයේදී එරබද්ද නම් වලව්වේ ප්‍රධානියා වූ දොන් කොරනේලිස් විජයවර්ධන වීරකෝන් මානාභරණ පුංචිබණ්ඩාර මැතිඳුන් හා පනානේ දසනායක මුදියන්සේලාගේ පුංචි කුමාරිහාමි උපාසිකා මාතාවගේ සිව්වන පුත්‍ර රත්නය ලෙස 1925 මැයි මාසයේ 09 වැනිදා ජන්මලාභය ලැබූ ඩී.සී.ඩබ්ලිව්.එම්.නිව්ටන් බණ්ඩාර කුමරුවා උපදි සහ ගති සම්පත්වලින් යුක්ත භාග්‍යවන්තයෙක් විය. ඔහු තම පවුලේ සෙසු පස්දෙනා අතරින් සිත්ගන්නාසුළු රූප සම්පත්තියකින් යුක්ත වූයේය.

නිව්ටන් බණ්ඩාර ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ වටාපොත විද්‍යාලයෙනි. ඒ අධ්‍යාපනය තුළ මූලික ඉංග්‍රීසි භාෂාවද විය.

මව්පියන් සමඟ නිතර පන්සල් යෑමේ පුරුද්දක් ඇතිකරගෙන තිබූ නිව්ටන් බණ්ඩාරගේ කුසලතා මුලින්ම මැනවින් හඳුනාගනු ලැබුවේ ගරු පොහොද්දරමුල්ලේ විභාවි ස්වාමීන්වහන්සේ විසිනි. “දරුවා පැවිදි කිරීමට සුදුසු භාග්‍යවන්ත කෙනෙකු’ බව මව්පියන්ට පැවසූ උන්වහන්සේ, බණ්ඩාර දරුව‍ාගේ කැමැත්ත අනුව වටාපොත ශ්‍රී සුධර්මාධිපති, අතිපූජ්‍ය, මහෝපාධ්‍යාය පැල්මඬුල්ලේ සුමිත්තානන්ද නාහිමියන්ට භාර කෙරුණේ සසුන්ගත කිරීමටය.

ඒ අනුව නිව්ටන් බණ්ඩාර 1938 නොවැම්බර් 02දා පෙරවරු 8.55ට යෙදුණු සුබ මොහොතින් අතිපූජ්‍ය පැල්මඬුල්ලේ සුමිත්තානන්ද මාහිමියන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායෙන් එරබද්ද සිරි සුභාරතී නමින් තුත්තිරිපියේ සුගතවර්ධනාරාමයේදී ප්‍රවෘජා භූමියට එක්විය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මූලාරම්භක ස්වාමීන්වහන්සේ පිරිස අතරට එක්වූ දූතාංගධාරී අතිපූජ්‍ය නෑහින්නේ සිරිසුමනතිස්ස මාහිමිපාණන් වහන්සේ 1870දී සපරගමුවට වැඩම කිරීමෙන් පසු දායකකාරකාදීන්ගේ සිව්පසය ලබමින් නොයෙක් ස්ථානවල වැඩසිටිමින්, වස්විසීමෙන් ශිෂ්‍ය භික්ෂු පරම්පරාවක් බිහි කළහ. පසු කලෙක උන්වහන්සේ පිරිස තම ගුරුදේව ස්වාමීන් වහන්සේ වැඩහුන් තැන්වල හා වෙනත් උචිත ස්ථානවල විහාරස්ථාන රැසක් ඇතිකර වූහ. දේවගොඩ සඟ පරපුර නමින් සඟ පරපුරක් බිහිවන්නේ ඒ මහතෙරවරුන් අතරිනි.

ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාවේ ස්වාමීන් වහන්සේ නමක වන එරබද්දේ සිරිසුභාරතී මාහිමියෝද පසු කලෙක ශිෂ්‍ය භික්ෂූන්වහන්සේ සැත්තෑ නමකට නොවැඩි පිරිසක් සසුන්ගත කළහ.

වර්ෂ 1940 ජූනි 12 වැනිදා කොළඹ වැල්ලවත්තේ ශ්‍රී ධර්මෝදය පිරිවෙන්හි අධිපති, අතිපූජ්‍ය රස්නකවැවේ සද්ධම්මවංස අනුනාහිමියන් මඟින් එම පිරිවෙ‍ෙන්ම ආචාර්යවරයකු වූ විද්‍යා විශාරද, අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද ස්වාමීන්ද්‍රයන්වහන්සේ ඇතුළු ප්‍රවීණ ගුරුවරුන්ගෙන් සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි, දෙමළ සහ ත්‍රිපිටක ධර්මය ඉගෙනීමට සුභාරතී මාහිමියන්ට භාග්‍යය ලැබිණි.

ඉනික්බිතිව උන්වහන්සේ ප්‍රාචීන විභාගවලින් ඉහළ සාමාර්ථ ලැබූහ.

ඉගෙනුම් අතරේම සිරිසුභාරතී හිමියෝ 1946.11.26 දින ගාල්ලේ ගිංගඟ උදකුක්ඛේප සීමාමාලකයේදී අධිශීල සංඛ්‍යාත උපසම්පදාවට පත්වූහ.

සිය ගුරුදේව අතිපූජ්‍ය පැල්මඬුල්ලේ සුමිත්තානන්ද මාහිමියන්ගේ ඇරැයුමෙන් 1956දී වටාපොතට වැඩමකරන සිරිසුභාරතී හිමියෝ විහාර මන්දිරය කරවීමේ මූලික පියවර තැබූහ.1976.03.10 දින තම ගුරුදේවයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු වටාපොත දේවානන්ද පිරිවෙන් විහාරස්ථානයේ අධිපති ධුරයට පත්වන අප සිරිසුභාරතී හිමියෝ එතැන් පටන් සියලු විහාරාංග සර්ව සම්පූර්ණ කරමින් විහාරස්ථානයේත් දායකයන්ගේත් අභිවෘද්ධියට ඉමහත් මෙහෙයක් කළහ. උන්වහන්සේ ගිහි පැවිදි නායක සෑම දෙනාගේම හිත දිනාගත්හ. ශාසනික, අධ්‍යාපන කටයුතු කිරීමට ජපානය, හොංකොං නුවර, ඉන්දියාව, බුරුමය ඇතුළු රටවල් රැසක ධර්ම ප්‍රචාරක කටයුතුවල නියැළුණේ පොත්තේවෙල පඤ්ඤාසාර, බද්දේගම විමලවංශ නාහිමිවරුන්ද සමඟය. උන්වහන්සේ විසින් කරන ලද සමාජීය හා ශාසනික මෙහෙවර උදෙසා ලැබූ සම්මාන විශාල ගණනකි. අපි උන්වහන්සේට උතුම් වූ නිර්වාණ සම්පත්තිය පතමු.

 

පන්නිපිටිය ධර්මපාල මහා විදුහලේ ආචාර්ය
හටන්ගල අමරවංශ හිමි

නව අදහස දක්වන්න