සුහද හමුව | දිනමිණ

සුහද හමුව

ආතර් සී. ක්ලාක්

පෘථිවිවාසීනි, බිය නොවන්න... අප පැමිණෙන්නේ සාමයෙනි. එසේ නොවන්නට හේතුවක් වේද? අප නුඹලාගේ සොහොයුරන් ය. මින් පෙරද මෙහි පැමිණ ඇත්තෙමු.

තව හෝරා කිහිපයකින් අපව මුණ ගැසුණු වහාම නුඹලා අපව හඳුනා ගනු ඇත.

මෙම රේඩියෝ පණිවුඩයේ ශීඝ්‍රතාවයෙන්ම අප මේ වන විටද නුඹලාගේ සෞරග්‍රහ මණ්ඩලය වෙත එලැඹෙමින් සිටින්නෙමු.

දැනටමත් නුඹලාගේ සූර්යය අපට ඉදිරියෙන් ඇති අහසේ රජයමින් සිටින්නේය.

ඒ නුඹලාගේත් අපගේත් ආදි කල්පික මුතුන්මිත්තන් මීට වසර මිලියන දහසකට පෙරාතුව එක්ව බෙදාගත් සූර්යයාය.

අපද නුඹලා සේම මිනිසුන්ය. නුඹලාට නුඹලාගේ ඉතිහාසය අමතකව ගො ඇතත් තවමත් අපගේ ඉතිහාසයේ ස්මරණය අප සතුය.

දැවැන්ත උරගයින් මිහි මත රජයන සමයේදී අපි පෘථිවියේ කොලනි පිහිට වූයෙමු.

අප පැමිණෙන විටද ඒ මහා උරගයින් මිය යමින් සිටියහ. අපට උන් බේරා ගැනීමට නොහැකි විය.

එකල නුඹලාගේ වාසස්ථානය නිවර්තන ග්‍රහලෝකයක් විය. එය අපගේ මිනිසුනට සුවදායී නිවහනක් වනු ඇතැයි අපි විශ්වාස කළෙමු. අපට වැරදුණි.

අභ්‍ය‍වකාශය ජයගෙන තිබුණද දේශගුණය, පරිණාමය සහ ප්‍රවේණිය පිළිබඳ අප සතු වූයේ අතිශය සුළු දැනුමකි.

ගිම්හාන සෘතු මිලියන ගණනාවක් කොලනිය සමෘද්ධිමත් විය. ඒ ප්‍රාග් කාලයෙහි සීත සමයක් නොවීය. අභ්‍ය‍වකාශයේ එක් තරුවක සිට තවත් තරුවකට යාමට වසර ගණනාවක් වැය වෙන විශ්වයක තනි වූ කොලනිය සිය ජනනීය ශිෂ්ටාචාරය හා සබඳකම් පැවැත්වීය. සෑම ශත වර්ශයකටම තෙවතාවක් හෝ සිවු වතාවක් මණ්දාකිනියේ තොරතුරුද රැගෙන තාරුකා යානයක් කොලනියට පැමිණියහ.

නමුත්, වසර මිලියන දෙකකට පෙර පෘථිවිය වෙනස් වන්නට විය. කාලාන්තරයක් තිස්සේ නිවර්තන ග්‍රහලොවක් වූ එහි පරිසර උෂ්ණත්වය පහළ යන්නට විය. ධ්‍රැවයන්ගෙන් අයිස් මතු වන්නට විය. පරිසරයෙහි වූ විපර්යාසයන් සමඟ කොලනිවාසීන් ද වෙනස් වන්නට වූහ.

එම වෙනස් වීම දීර්ඝ ගිම්හාන සෘතුව අවසානයේ සිදු වූ ස්වභාවික අනුවර්තනයක් බව අපට වැටහෙන්නේ දැන්ය. නමුත් පෘථිවිය සිය නිවහන කරගත් සියලු දෙනා විශ්වාස කළේ තමන්ට අභූත සහ පිළිකුල් සහගත වසංගතයක් වැළඳී ඇතිය කියාය.

එම වසංගතයෙන් කිසිවෙකු මරණයට පත් වූයේ නැත. ශාරීරික පීඩාවක්ද ඇති නොවූයේය. සිදු වූයේ විරූපීවීමක් පමණි.

කෙසේ නමුත් සමහරුන්ට මෙම වසංගතය වැළඳුණේ නැත. ඔවුන් හෝ ඔවුන්ගේ දරුවන් විරූපී නොවූහ.ඉන්පසු එළැඹි වසර දහසකට අනතුරුව කොලනිය දෙකඩ වී ගොස් තිබිණි. ඔවුහු එකිනෙකා පිළිබඳ අවිශ්වාසයෙන් සහ ඊර්ෂියාවෙන් පෙළුණු වර්ග දෙකක් බවට පත් වුණි. විරසකය ඊර්ෂියාවත් අසමගියත් අවසන කලකෝහාලයක් ද බවට පත් වුණි. කොලනිය බෙදී වෙන් වී, පාරිසරික තත්ත්වයන්ද ඉතාමත් නරක අතට හැරෙන්නට පටන් ගත් පසුව අවස්ථාව ලද සියල්ලෝම පාහේ පෘථිවිය අතහැර ගියහ. කොලනියේ ඉතිරි වූවෝ මිලේච්ඡයින් බවට පත් වූහ.

ඔවුන් සමඟ සබඳකම් පවත්වන්නට ඉඩකඩ යම්තාක් තිබුණද ට්‍රිලියන සියයක් පමණ තාරුකා සහිත විශ්වයේ අප බොහෝ කාර්යබහුල විය.

මීට වසර කිහිපයක් වන තෙක්ම නුඹලා නොනැසී ජීවත් වූ වගක් හෝ අප දැන සිටියේ නැත.

පසුව අපි නුඹලා එවූ ප්‍රථම රේඩියෝ සංඥාව ග්‍රහණය කර ගතිමු, ඔබලාගේ සරල භාෂාවන් හැදෑරූවෙමු. නුඹලා මිලේච්ඡත්වයෙන් මිදී බොහෝ දුරක් පැමිණ ඇත. නුඹලාට අමතකව ගිය නුඹලාගේ ආදි මුතුන් මිත්තන් වශයෙන් අප පැමිණෙමින් සිටින්නේ නුඹලාට ආචාර කිරීමටය, නුඹලාට උදව් කිරීමටය.

පෘථිවිය හැර යාමෙන් ඉක්බිති කල්ප ගණනාවක කාලයේදී අපි බොහෝ දෑ උපයා ගත්තෙමු.

හිම යුගයට පෙරාතුව තිබූ සදාතනිය ගිම්හානය නුඹලාට යළිත් උවැසි නම් අපට එය ලබා දිය හැකිය.

ඒ සියල්ලකටම වඩා කොලනියේ බොහෝ දෙනෙකු ගොදුරුව සිටින කරදරකාරී නමුත් ශාරීරික පීඩා නොදෙන ජානමය විකෘතිතාවට ඉතාමත්ම සරල ප්‍රතිකාරයක් අප සතුව ඇත.

සමහර විට නුඹලා දැන් එයට හුරුපුරුදු වී ඇති-නමුත් එසේ නොවේ නම් අප සතුව නුඹලාට ඉතා සතුටුදායක ආරංචියක් ඇත.

පෘථිවි වැසියනි, ලජ්ජාවකින් හෝ විපිළිසරයකින් තොරව නුඹලාට යළි විශ්ව සමාජය හා සබඳකම් පැවැත්වීමට හැකියාව ලැබෙනු ඇත.

නුඹලාගෙන් කවුරුන් හෝ තවමත් සුදු හමැතිව සිටී නම්, නුඹලාට ප්‍රතිකාර අප සතුය.

*1970 දශකය හා ඊට පෙර අවදිය ඇමරිකාවේ ඉතාමත්ම දරුණු ලෙස වර්ණබේදවාදය පැතිරී තිබූ සමයක් ලෙස සැලකේ.

පරිවර්තනය අමාලි මල්ලවආරච්චි

නව අදහස දක්වන්න