'2017 වසරේ ජාතික තරුණ ව්‍යව­සා­ය­කයා' හල්පේ තේ සමා­ගමේ එරන්ද අබේ­රත්න | දිනමිණ

'2017 වසරේ ජාතික තරුණ ව්‍යව­සා­ය­කයා' හල්පේ තේ සමා­ගමේ එරන්ද අබේ­රත්න

නව්‍යකරණය, කැපවීම, උනන්දුව සහ ව්‍යවාසය කුසලතා තුළින් හල්පේ තේ සමාගම මෙරට සාර්ථක ව්‍යාපාරයක් බවට පත්කිරීම සඳහා U.H.E. Exports සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ එරන්ද අබේරත්න මහතා දැක්වූ සමත්කම ඇගයුමට ලක්කරමින්, ශ්‍රී ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් '2017 වසරේ ජාතික තරුණ ව්‍යවසායකයා' සහ '2017 වසරේ ඌව පළාතේ ජාතික තරුණ ව්‍යවසායකයා' ලෙස ඔහු සම්මානයට පාත්‍ර කළේය.

තමන්ට අමතරව තවත් එක් උපාධිධාරී කාර්යමණ්ඩල සාමාජිකාවකගෙන් මීට වසර තුනහමාරකට පෙර ආරම්භ කෙරුණු හල්පේ තේ සන්නාමය යටතේ මේවන විට කාර්යමණ්ඩල සාමාජිකයෝ 30 දෙනෙකුට අධික පිරිසක් සේවය කරති.

Òමගේ පවුලේ ව්‍යාපාරවලට සම්බන්ධ වීමේ අවස්ථාව තිබුණ ද මම මගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තීරණය කළා. ඒවන විට පරිණත කර්මාන්තයක් බවට පත්ව තිබූ තේ කර්මාන්තය තුළ අප අංශු මාත්‍රයක් පමණක් වුණා. එබැවින් විශේෂයෙන් අප වැනි නව ව්‍යාපාරයකට මහා පරිමාණ අංශය කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට සාර්ථක විය නොහැකි බව අප අවබෝධ කර ගත්තා. අඛණ්ඩ පර්යේෂණ සහ කැපවීම තුළින් අප කුඩා සහ සුවිශේෂී වෙළඳපල අවස්ථාවක් හඳුනා ගැනීමට සමත් වුණාÓ යනුවෙන් එරන්ද මහතා සිය මතකයන් අවදි කළේය.

Òඑහි ප්‍රතිඵලයක් ලෙස, සමස්තයක් වශයෙන් සිලෝන් තේ කර්මාන්තයේ පසුබෑමක් පැවැතිය ද වසර තුනහමාරක් වැනි කෙටි කලක් තුළ කුඩා පරිමාණ ව්‍යාපාරයක සිට මහා පරිමාණ ව්‍යාපාරයක් දක්වා ඉදිරියට පැමිණීමට අපට හැක්වී තිබෙනවා. ඊට අමතරව, ඉතාම තරගකාරී වාතාවරණයක් තුළ නව වෙළඳපල අවස්ථා ගොඩනැගීමටත්, පේටන්ට් බලපත්‍ර සහ සහතික රැසකට හිමිකම් කීමටත් අප සමත්ව සිටිනවාÓ ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අදවන විට එරන්ද මහතාගේ මගපෙන්වීම සහ නායකත්වය යටතේ හල්පේ තේ, අධි මිල තනි ප්‍රභව තේ නිෂ්පාදනය සහ සෘජු අපනයනයේ නිරත සමාගම් අතලොස්ස අතර රැඳෙන්නට සමත්ව සිටී.

2016 වසරේදී හල්පේ තේ, ජාතික අපනයන මණ්ඩල සම්මාන (NCE) උළෙලේදී රන් සම්මාන පහකින් සහ රිදී සම්මානයකින් පිදුම් ලැබූ අතර වසරේ වැඩිම සම්මාන ප්‍රමාණයකින් පිදුම් ලැබූ තේ සමාගම බවට ද ඒ අනුව හල්පේ තේ සමාගම පත්විය.

UHE Exports හි හල්පේ තේ මැදපෙරදිග, ජපානය, දකුණු කොරියාව, චීනය, ප්‍රංශය සහ තවත් යුරෝපීය රාජ්‍යයන් රැසකට අපනයනය කෙරේ. ගල්ෆ් සහ මැදපෙරදිග වෙළඳපල ඉලක්කර ගනිමින් එම සමාගම කුවේට්හි ද සිය කාර්යාලයක් ස්ථාපනය කර ඇත.

මෙරට ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ද හල්පේ තේ අලෙවි මධ්‍යස්ථානයක් පිහිටා ඇති අතර, ගුවන්තොටුපල පරිශ්‍රය තුළ සිලෝන් තේ නියෝජනය කළ හැකි සමාගම් හයෙන් එකක් බවට හල්පේ තේ පත්වීම එරන්ද මහතාගේ ව්‍යවසායකත්ව කුසලතා මැනවින් පිළිබිඹු කරයි.

ඊට අමතරව, කොළඹ නගරයේ 'සිලෝන් තේ සුපිරි වෙළඳසැල' ස්ථාපනය කරමින් දෙස්-විදෙස් සංචාරකයන් හට අසමසම තේ අත්දැකීමක් දායාද කිරීමට ද හල්පේ තේ කටයුතු කර ඇත.

මහනුවර හල්පේ තේ මධ්‍යස්ථානය, ඇල්ල හල්පේ තේ මධ්‍යස්ථානය සහ ආපනශාලාව සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලය, වෝඩ් පෙදෙසේ Odel, Legends ආදී ප්‍රකට අලෙවි මධ්‍යස්ථාන තුළදී ද හල්පේ තේ අසමසම අත්දැකීම විඳගැනීමට පාරිභෝගිකයන් හට අවස්ථාව උදාකර ඇත.

Òඅප කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ව්‍යාපාරික කටයුතු ආරම්භ කර මේවන විට රු. මිලියන 100කට අධික මාසික පිරිවැටුමකට හිමිකම් කියනවා. අපගේ අගය දාමයේ සැපයුම්කරුවන්, බෙදාහරින්නන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් ද අප සමග ම සාර්ථකත්වයට පත්ව සිටිනවාÓ යනුවෙන් එරන්ද මහතා අවසාන වශයෙන් ප්‍රකාශ කළේය.

නව අදහස දක්වන්න