‍මහින්දගේ වහසි බස් පුස්සක් වෙලා | දිනමිණ

‍මහින්දගේ වහසි බස් පුස්සක් වෙලා

බුද්ධිකා ඉඹුලාන,සිතාරා සේනානි, චන්දිමා කරුණාරත්න

වසර 2017 දී ආණ්ඩුව අනිවාර්යයෙන්ම පෙරළන්නේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වහසි බස් දෙඩුවද 2018 වසර උදා වී සතියක් ගත වන තුරුත් 2017 ගෙවී ගිය බව ඔහුට අමතක වී ඇතැයි සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය ඇමැති ,සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.විදෙස් මාධ්‍යවේදීන් හමුවේ හිටපු ජනාධිපති වරයා මෙසේ පාරම් බෑ බව 2016 දෙසැම්බර් 30 දා මෙරට  ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන සිරස්තලය ලෙස පළ වූ බවත් පෙන්වා දෙන ඇමැතිවරයා පවසන්නේ 2017 ගෙවී ගියද හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩුව පිහිටු වීමට අමතකව ගොස් ඇති බවයි.

ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

'මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා 2016 දී කිව්වේ 2017 දී ආණ්ඩුව පෙරළනවා කියලා.අවුරුද්ද ගියත් එයා තවම එතැනමයි. පෙරළපු ආණ්ඩුවකුත් නෑ.එයා කරපු දෙයකුත් නෑ. එයා හැමදාමත් කියන්නේ එකම දේ. දැන් මෙවර පළාත් පාලන මැතිවරණයේදීත්ඔහු කියන්නේ මේ පාඨයමයි. ලබන වසරේදී ආණ්ඩුව පෙරළනවා කියන එකයි .මේ වගේ බොරු කතා කියමින් ජනතාව නොමග යවන එකයි මේ අය කරන්නේ.

අර පොහොට්ටු පක්ෂෙ නියෝජිතයෙක් ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අච්චු ගහපු පත්‍රිකාවක සදහන්ව තියෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරුපය සහ අගමැති කරවන සටන අරඹමු කියලයි. එය ප්‍රචාරණයට යොදා ගන්න කෙනා දන්නේ නෑ පළාත් පාළන ඡන්දෙන් අගමැතිවරයෙකු බිහි වන්නේ නැ කියලා.

මාධ්‍යවේදීන්-පොහොට්ටු පක්ෂය එහි පක්ෂ නායකයා වන මහාචාරය ජී.එල්.පීරිස් මහතාගේ ඡායාරුපය සහිතව ප්‍රචාරක කටයුතු කරන්නේ නැහැ.හිටපු ජනාධිපතිවරයාගේ රුවයි ඔවුන් යොදා ගන්නේ. ඒ ඇයි?

ඇමැති රාජිත- ඒක තමයි ප්‍රශ්නේ .එයාලා හයර් කරපු පින්තූර දාලානේ ඡන්දෙ ඉල්ලන්නේ

මාධ්‍යවේදියා-ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන දරණ මතය?

ඇමැති දයාසිරි ජයසේකර මහතා-අපේ පක්ෂයේ අනුශාසකවරුන් සිව් දෙනකු සිටිනවා. චන්ද්‍රිකා මැතිනිය,මහින්ද රාජපක්ෂ මහතා,දි.මු.ජයරත්න මහතා සහ චමල් රාජපක්ෂ මහතා ඒ අයයි.මේ නිසා අපි තවමත් හිතන්නේ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කියලයි.බණ්ඩාරනායක ශ්‍රීමතාණන්,බණ්ඩාරනායක මැතිනිය,චන්ද්‍රිකා මැතිනියගේසේයාරූ අපේ පක්ෂයේ කටයුතුවලදී ප්‍රචාරණය සඳහා යොදා ගන්නවා.මහින්ද රාජපක්ෂ මහතා මෙයට අකමැති නම් අපට නිල වශයෙන් දැන්විය යුතුයි.නමුත් ඔහු ඒ බව පක්ෂයට දන්වා නැහැ.

මාධ්‍යවේදියා-දැන් ඇත්තටම ,හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පින්තූරය අයිති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටද?

ඇමැති රාජිත -ඔය කාටවත් වැඩක් නෑ .එයා දැන් 'රිටයර්ඩ්'

සේයාරුව-වාසිත පටබැඳිගේ

කැප්ෂන්-ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැති රාජිත සේනාරත්න මහතා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් අදහස් පළ කළ අයුරු 

නව අදහස දක්වන්න