"බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාව ජනපතිට | දිනමිණ

"බරපතල වංචා, දූෂණ" කොමිෂන් වාර්තාව ජනපතිට

ඉකුත් රජය සමයේ රාජ්‍ය ආයතන 17ක සිදු වී ඇතැයි කියන මහා පරිමාණ වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව සිදු කෙරුණු පරීක්ෂණවල ප්‍රතිඵල සහ නිර්දේශ ඇතුළත් අවසාන වාර්තාව කොමිසම විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබීය.

එය සිය ආණ්ඩුවේ "දූෂණයට එරෙහි සටනේ" තවත් වැදගත් පියවරක් බව ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක සඳහන් කරයි.

මීට ඉහතදී ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ කොමිසමේ අතුරු වාර්තා කිහිපයක් දැනටමත් නීතිපතිවරයා වෙත යොමු කර තිබේ.

අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබූ වාර්තා 17ට අදාළ ආයතන 17 මෙසේය:

  1. උතුරු මැද පළාතේ ජල පෙරන පිළිබඳ වාර්තාව
  2. අම්පාර නගර සභාවේ දැයට කිරුළ පිළිබඳ වාර්තාව
  3. වරාය අධිකාරියේ මහපොළ නැව පිළිබඳ වාර්තාව
  4. හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයට අදාළ වාර්තාව
  5. රාජ්‍ය ඖෂධ සංස්ථාවට අදාළ වාර්තාව
  6. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට අදාළ වාර්තාව
  7. පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශාලාවට අදාළ වාර්තාව
  8. වකුගඩු රෝගය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට අදාළ වාර්තාව
  9. මහනුවර දිස්ත්‍රික් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයට අදාළ වාර්තාව
  10. කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවට අදාළ වාර්තාව
  11. රූපවාහිනී සංස්ථාවට අදාළ වාර්තාව
  12. ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අදාළ වාර්තාව
  13. ජාතික ගමනාගමන කොමිසන් සභාවට අදාළ වාර්තාව
  14. සතොසට අදාළ වාර්තාව
  15. තරුණ සේවා සභාවට අදාළ වාර්තාව
  16. සෞඛ්‍ය සේවා සැපයීම් අංශයට අදාළ වාර්තාව
  17. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දීඝවාපි චෛත්‍යයට අදාළ වාර්තාව

වාර්තාව භාරදීමේ අවස්ථාවට කොමිසමේ සාමාජිකයින් වන මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි, මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග සමඟ හිටපු විගණකාධිපති පී පේමතිලක ද සහභාගි වූහ.

මෙම වාර්තා 17 සමග රාජ්‍ය ආයතන සම්බන්ධ වාර්තා 34ක් ජනාධිපතිවරයා වෙත මේ වනවිට භාර දෙනු ලැබ තිබේ.

පසුගිය සෙනසුරාදා (දෙසැම්බර් 30) තමන් වෙත භාර දෙනු ලැබූ මතභේදයට ලක් වූ මහ බැංකු බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව බදාදා (ජනවාරි 03) හෙට ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරන බව ජනාධිපතිවරයා නිවේදනය කර තිබේ.

 

නව අදහස දක්වන්න