අවුරුද්ද සුබදායක ද? | දිනමිණ

අවුරුද්ද සුබදායක ද?

ජීවිතයේ දහසක් බලාපො‍රොත්තු සමඟ තවත් අලුත්වසරක් උදා වී ඇත. එය අලුත් පරිච්ඡේදයක් ලෙස ද, අලුත්පිටුවක් ලෙස ද, අලුත් කාලයක් ලෙස ද හැඳින්විය හැකි ය. මේ සියල්ලෙන් සංකේතවත් වන්නේ අනාගතය යි. අනාගතය යනු අභියෝග රාශියකි. කාගේත් අපේක්ෂාව වන්නේ අතීතයේ සිදුවූ පරාජයන්හි පාඩම් උගෙන අනාගතය ජය ගැනීම සඳහා නව සැලැසුම් සකස්කර ගැනීම ය. ජයග්‍රහණය යනු පරාජයන් රැසක ප්‍රතිඵලය යැයි කියනු ලැබේ. නව වසරක් යනු අලුත් ප්‍රවේශයකට අවස්ථාව යැයි ද කියනු ලැබේ. එහි සරල අදහස වන්නේ අලුත් වෙමු; අලුත් වී සාර්ථක ගමනක යෙදෙමු යන්න ය.

කෙනකු යුක්තිසහගත වූ දියුණුවක් උ‍ෙදසා බලවත් පරිශ්‍රමයක යෙදෙන්නේ නම්; නිත්‍ය ලෙස ම එය අගය කළ යුතු ය. ඊට අවශ්‍ය සහයෝගය ද ලබා දිය යුතු ය. මේ දර්ශනය හා සැලැසුම පවුලකට, සමාජයකට හා රටකට ගළපා ගන්නට පුළුවන. එවිට මුළු රටක් ම යුක්ති සහගත දියුණුවක් ලබයි. දියුණුව යන්න ප්‍රගතිය, සමෘද්ධිය යන වචනවලින් ද හඳුන්වනු ලැබේ. එහි අර්ථය වන්නේ සතුටුදායක ජීවිතයක් යන්න ය. සතුටුදායක ජීවිතය යනු ආර්ථික දියුණුව ම නො වේ. එනම්; මුදලින් පමණක් ජීවිතයට අවශ්‍ය සන්තෘෂ්ටිය නො ලැබෙන බව ය. ජීවත්වීම සඳහා මුදල් අවශ්‍ය බව ඇත්තකි. එහෙත් මුදල් පසුපස හඹා යෑම යනු කෙළවරක් නැති තරගයකි.

උග්‍ර තරගය අපේ ජීවිතවල පුරුෂාර්ථ වෙනස් කර තිබේ. හොඳින් නිරීක්ෂණය කළහොත්; අප ස්පර්ශ කරන සෑම ක්ෂේත්‍රයක් තුළම තරගයක් පවතී. ඇතැම් ක්ෂේත්‍රවල තරගය මාරාන්තික බවට පත් වී ඇත. මෙහි ප්‍රතිඵල ඉතා නරක ය. එක්තරා ලෝකදර්ශකයකට අනුව ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම අතින් ලෝකයේ දෙවන ස්ථානය හිමි කර ගෙන තිබේ. තවත් දර්ශකවලට අනුව රිය අනතුරු අතින් ද අපේ රට අවාසනාවන්ත තැනක සිටී. ගිය වසර තුළ රිය අනතුරු දෙදහස් ගණනක් සිදුවී ඇත. එම අනතුරුවලින් දෙදහස් ගණනක් මරණයට පත් වී ඇත. දූෂණ හා වංචා පවතින ප්‍රධාන පෙළේ රටවල් අතරට ශ්‍රී ලංකාව ද එක් වී ඇත.

සමස්තයක් ලෙස රට දෙස බලන විට ප්‍රධාන කරුණු දෙකක් දැකගන්නට ලැබේ. එක අතෙකින් සදාචාරවත් සමාජයක් ගොඩනැඟීම සඳහා රජය විශාල උත්සාහයක යෙදී සිටී. තව අතෙකින් සමාජ සාරධර්ම බිඳවැටීම ද ඒ පමණට ම සිදුවෙයි. ජනාධිපතිවරයා මෑතක දී කියා සිටියේ තමන් කඩුව අතට ගන්නා බව හා දූෂණයට - වංචාවට එරෙහිව එය ක්‍රියාත්මක වනබව ය. එහි දී ඥාති සංග්‍රහ, සමීප සබඳතා හා පක්ෂග්‍රාහීකම් ගණන් නොගන්නා බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය. රාජ්‍ය නායකයකු මෙලෙස අවංක ලෙස ක්‍රියා කරන්නේ නම්; එය ඉතා වැදගත් ය.

මේ වසරේ මුල් කාර්තුව තුළ රටක් වශයෙන් ජය ගත යුතු ප්‍රධාන අභියෝග තුනක් ඇතැ’යි සිතන්නට පුළුවන. පළමු අභියෝගය වන්නේ ණය භරිත ආර්ථිකය වර්ධනීය තත්ත්වයකට පත් කර ගැනීම ය. දෙවන අභියෝගය වන්නේ ශීලාචාර සමාජයක් බිහි කිරීම ය. තෙවන අභියෝගය වන්නේ පළාත් පාලනය සඳහා යහපත් හා බුද්ධිමත් මහජන නියෝජිතයන් පිරිසක පත් කරගැනීම ය. මේ කිසිදු අභියෝගයක් ජයගැනීම පහසු නැත. අඩියක් පෙරට තබන විට අඩි දෙකක් පසුපසට යෑමට කරුණු සිදුවෙයි. එහෙත් මේ අභියෝග තුන ජයගැනීම අනිවාර්ය වේ.

ආර්ථික ස්ථාවරත්වය හා ආර්ථික වෘද්ධිය අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය ලෙස සැලැකිය හැකි ය. වත්මන් ආණ්ඩුව ලෝකය සමඟ බද්ධ වන ආර්ථික ක්‍රියාවලියකට අඩිතාලම සකස් කර තිබේ. ඒ අනුව සකස් වූ 2018 අයවැය ලේඛනයෙහි සාධනීය ඉදිරි පියවර ගණනාවක් ඇත. අපනයන ප්‍රවර්ධනය, ව්‍යාපාරිකයන් දිරිගැන්වීම, ආයෝජකයන් ගෙන්වා ගැනීම, නවෝත්පාදන සඳහා අනුග්‍රහය දැක්වීම හා ජීවන වියදම අඩු කිරීමට පියවර ගැනීම ඒ අතර ප්‍රධාන වෙයි. මේ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ද ඒවාට බාධා එල්ල විය හැකි ය. රුසියාව සිදු කළ තේ තහනම එක් නිදසුනකි. එහෙත් එය ජයගැනීමට අපට හැකිවිය.

සදාචාරවත් සමාජයක් බිහි කිරීම ඊළඟ අභියෝගය බවට පත් වී ඇත. ශීලාචාර සමාජයක් පිළිබඳ සංවාදය දීර්ඝ කාලයක සිට පවතින්නේ වුව අපට එහි ජයග්‍රහණ කරා ළඟාවීමට හැකියාවක් ලැබී නැත. රටේ කොතැනකින් හෝ දිනපතා ම මත්ද්‍රව්‍ය හසුවෙයි. කසිප්පු ජාවාරම බොහෝ පළාත්වල ජයටම සිදු වෙයි. දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම ද නැවතී නැත. දුම්පානයෙහි පමණක් අඩුවක් සිදුවී ඇත. මේ අතර අපරාධ වර්ධනය වෙයි. අපට දකින්නට ලැබෙන්නේ නොඉවසිලිමත් සමාජයකි. එයට ද හේතු තිබේ. මේවා සමාලෝචනය කරමින් විසැඳුම් සොයා ගත යුතු ය. රජය පමණක් නො ව; වෙනත් ස්වාධීන ආයතන ද මේ සම්බන්ධයෙන් යම් උනන්දුවක් දැක්විය යුතුව තිබේ.

තුන්වන අභියෝගය වන්නේ පළාත් පාලනය සඳහා නිවැරැදි මහජන නියෝජිතයන් පිරිසක පත්කර ගැනීම ය. සාධාරණ හා යුක්තිසහගත මැතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම මේ වනවිටත් පවතින්නේ යැයි විශ්වාස කළ හැකි ය. මැතිවරණ කොමිසම නීතිය අකුරට ම ක්‍රියාත්මක කරමින් සිටී. එය අප ලැබූ ජයග්‍රහණයක් සේ සැලැකිය හැකි ය. එහෙත් එකිනෙක පක්ෂවලින් ඡන්ද අපේක්ෂකත්වය ලබා ඇති සියලු දෙනා යහපත් පුද්ගයන් යැයි සහතික කළ නො හැකි ය. අපේක්ෂකයන් තිස් ගණනක් සම්බන්ධයෙන් පැෆරල් සංවිධානය චෝදනා කර තිබිණි. මේ අභියෝගය අවසන් ලෙස මහජනයා ඉදිරියේ නැවතී තිබේ.

අප සියලු දෙනා ම අභියෝග රැසක් මැද ජීවත්වන්නේ යැයි කියන්නට පුළුවන. අභියෝග මඟහැර යෑමේ හැකියාවක් නැත. මේ වාට බුද්ධිමත් ලෙස මුහුණදිය යුතුව තිබේ. අප පුවත්පතක් ලෙස සිටිනුයේ ඊට අවශ්‍ය දැනුම හා විචාරය ලබාදෙන තැනක ය. අපට පක්ෂයක්, පාටක් හෝ වෙනත් භේදයක් නැත. මහජනයා වෙනුවෙන් පෙනී සිටීම ද ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් හඬ නැඟීම ද අපගේ කාර්යභාරයට අයත් ය. එබැවින් අපට වඩාත් හෘදයාංගම තැනැත්තා පාඨකයා වන්නේ ය. රටපුරා විසිරී සිටින අපගේ පාඨක ප්‍රජාවට ද, රටෙන් බැහැරව සිටින පාඨක ප්‍රජාවට ද සුබ නව වසරක් ප්‍රාර්ථනා කරන්නෙමු.


නව අදහස දක්වන්න