ඡන්ද නීති! | දිනමිණ

ඡන්ද නීති!

 දේශපාලනය පිරිසුදු තැනක් කිරීමට ඇති හොඳම උපාය මාර්ගය වන්නේ මහජන නියෝජිතයන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කටයුතු කිරීම යැයි තර්කයක් ගොඩනඟන්නට පුළුවන. හැබෑවට ම එබඳු සංවාදයක් ලෝකය පුරා පවතී. එහෙත් කිසිදු රාජ්‍යයක කිසිදු දේශපාලකයකු සියයට - සියයක් අවංක ලෙස කටයුතු කරන්නේ යැයි කිව නොහැකි ය. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සුපිරි රටවල් දෙස බලනවිට ද මේ තත්ත්වය සනාථ වෙයි. මෙහිදී ගොඩනැ‍ඟෙන ප්‍රති-තර්කය වන්නේ නීති-රීති මගින් දේශපාලනයේ පිරිසුදුභාවය ඇති කළ හැකිය යන්නය. එයට අපට පිළිගැනීමට සිදුවී තිබේ.

ආසිය‍ාවේ පැරණි ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් හැටියට ශ්‍රී ලංකාවට විශාල පිළිගැනීමක් තිබේ. ඉන්දියාව පවා අපේ රටෙන් ප්‍රජාතන්ත්‍රවාදී පාඩම් ලබාගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණයක් වන්නේ මහජන අභිමතයට මුල්තැන දීම සඳහා මැතිවරණ පැවැත්වීම ය. ඉතා දුෂ්කර කාලපරිච්ඡේදවල දී පවා ශ්‍රී ලංකාව සිය මැතිවරණ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන’විත් තිබේ. 88 – 89 භීෂණ කාලයේ ද මැතිවරණ පැවැත්විණි. උතුරේ තිස් අවුරුදු සිවිල් යුද්ධයක් පැවැතුණේ වුව රටේ ප්‍රධාන මැතිවරණ පැවැත්විණි. එය දේශපාලනයේ යහපත් ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැකිය. මැතිවරණ කොමිසම බලගැන්වීම ඉහත ක්ෂේත්‍රයේ තවත් ජයග්‍රහණයකි.

මේ වනවිට ර‍ෙට් කාගේත් අවධානය යොමුවී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කෙරෙහි ය. මෙය පුංචි ඡන්දය ලෙසින් ද හැඳින්වේ. එහි සරල අදහස වන්නේ මහජන අභිමතයට අනුව ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා බලගැන්වීමය. මේ බලගැන්වීම සාධාරණ ලෙසත්; යුක්තිසහගත ලෙසත් ඉටුකිරීමේ බලය හිමි වී ඇත්තේ මැතිවරණ කොමිසමට ය. මැතිවරණ කොමිසම ස්වාධීන අයුරින් සිය රාජකාරිය ඉටුකරන බව පෙනෙයි. දේශපාලන බලපෑම් එල්ලවන බවක් ද පෙනෙන්නට නැත. කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන අන්දමට නම්; ඡන්ද නීති කඩන අයට කිසිදු සමාවක් නැත. නීතිය තදින් ක්‍රියාත්මක කරනු ලැබේ.

මැතිවරණ‍යකදී ඡන්ද නීති උල්ලංඝනය කරන කණ්ඩායම් කිහිපයක් හඳුනාගත හැකි ය. එක පැත්තකින් අපේක්ෂකයන් නීති කඩන්නට පුළුවන. තව පැත්තකින් ආධාරකරුවන් නීති කඩන්නට පුළුවන. මහජනයා වුව ඡන්ද නීති කඩකරන අවස්ථා තිබෙන්නට පුළුවන. වඩාත් සැලැකිලිමත් විය යුත්තේ අපේක්ෂකයන් හා දේශපාලන පක්ෂ කෙරෙහි ය. මීට පෙර පැවැති ඡන්දවල දී සිල් රෙදි, ටකරන් තහඩු, උදලු, ලිත් හා තවත් දේවල් බෙදා දුන්නේ මැතිවරණය අත ළඟ තිබිය දී ය. එදා රජයේ වාහන කෙළින් ම ඡන්ද කටයුතු සඳහා යොදා ගැනිණි. තමිල්නාඩුවේ එක්තරා මැතිවරණයකදී හිටපු මහ ඇමැතිවරයකු වූ කරුණානිධි මහතා තම ඡන්ද දායකයන් සඳහා වර්ණ රූපවාහිනී බෙදා දුන්නේ ය. ඔහු එවර මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ද ලැබුවේ ය.

මැතිවරණයකදී ඡන්ද කොල්ලකෑමට ඉඩ දෙන්නේ නම්; එතැන සාධාරණ මැතිවරණයක් නැත. ජනතාව මුලාකිරීමට ඉඩ දෙන්නේ නම්; එතැන ද සාධාරණ මැතිවරණයක් නැත. ඡන්ද කාලය තුළ භාණ්ඩ බෙදා හැරීම, පරිත්‍යාග සිදුකිරීම, පොත් බෙදාදීම, පමණක් නොව; පින්කම් සිදු කිරීම පවා ඡන්දය සඳහා අනිසි බලපෑමක් යැයි කියන්නට පුළුවන. මැතිවරණ නීතියට අනුව ඡන්දය ලබා ගැනීම සඳහා අනිසි බලපෑම් සිදු කිරීම වරදකි. මේ අනුව පොත් බෙදාදීම් කිහිපයක් නවත්වා තිබේ. පොලිතින් භාවිතාකොට සැරසිලි කිරීම, පෙළපාලි පැවැත්වීම තහනම් කර තිබේ. මේ සියල්ලම සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අඩිතාලම සකස් කරයි.

මේ අතර අපේක්ෂකයන් තිස්දෙනකු සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත. මැතිවරණ නීතියට අනුව කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් මාස තුනකට වඩා සිරගත වූ කෙනකුට ද, වෙනත් වැරදි සම්බන්ධයෙන් මාස හයක් හෝ ඊට වැඩි කාලයක් සිරගත වූ කෙනකුට ද දඬුවම නිමාවී තවත් වසර හතක් ගෙවී යනතුරු ඡන්දය ඉල්ලීමට නීතිමය අවසරයක් නැත. එහෙත් ඉහත කී දඬුවම්වලට නෛතික වශයෙන් යටත් වූ පුද්ගලයන් තිස්දෙදෙනකු අපේක්ෂකත්ව ලැයිස්තුවේ ඇතැ’යි පැෆරල් සංවිධානය පෙන්වා දෙයි. මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳ සමීප පරීක්ෂණයක් කිරීමට උපදෙස් ලබාදී තිබේ. එම පරීක්ෂණයේ ප්‍රතිඵලයට අනුව අදාළ අපේක්ෂකයන්ගේ දේශපාලන ගමන තීන්දු වනු ඇත. එයද යහපත් යැයි සිතන්නට පුළුවන.

දූෂිත පුද්ගලයන් මහජන නියෝජිතයන් ලෙස පත් කිරීමේ තනි වගකීම ඡන්දදායකයා වෙත පමණක් පැටවිය නොහැකිය. එක අතෙකින් දේශපාලන පක්ෂය මීට අදාළ පසුබිම සකස් කළ යුතු ය. නැතහොත් නීතිය හා සම්ප්‍රදාය ක්‍රියාත්මක විය යුතුය. ඇතැම් දේශපාලකයන් නීතිය අන්නේ නැත. සම්ප්‍රදාය දන්නේ ද නැත. මීට හොඳම සාක්ෂියක් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාම පැහැදිලි කර දී තිබේ. සභාපතිවරයාට අනුව පළාත් පාලන ඡන්ද අපේක්ෂකයන්ගෙන් 10%කට පුරවැසි හැඳුනුම්පත නැත. සිද්ධිය කෙනකුගේ හාස්‍යයට ලක්වන්නට පුළුවන. එහෙත් ඊට වඩා විශාල දේශපාලන පසුබෑමක් ඉහත කතාන්දරය තුළ තිබේ. ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා වූ විශේෂ බාධාවක් මෙරට කිසිවකුට නැත. උප්පැන්න සහතිකය, ග්‍රාමසේවා සහතිකය ඇවිත් ඇත්නම් සතියක් ඇතුළත ජාතික හැඳුනුම්පතක් ලබාගත හැකිය. හදිසියකදී නම් මුදලක් ගෙවා එය එක දවසින්ම ලබාගත හැකිය. එහෙත් දේශපාලකයාගේ අවධානයට එය යොමුවී නැත.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉතා මැනවින් තම රාජකාරිය කරගෙන යන බවත් පෙනෙන්නට තිබේ. දීර්ඝ කාලයකට පසු කොන්ද කෙළින් තබාගත් රාජ්‍ය නිලධාරියකු මැතිවරණ කටයුතු සඳහා‍ යොමුවී ඇත. එය අගය කළ යුතුය. ඊට පසුබිම සකස්කර දී ඇත්තේ මේ ආණ්ඩුව බව ද කිව යුතුය. බලය හා ධනය ගැන නොසලකා කොමිසම ක්‍රියාත්මක වන්නේ නම් වර්තමාන මැතිවරණ ගැටලු බොහොමයකට විසඳුම් ලැබෙනු ඇත. නිදහසේ ඡන්දයකට අවශ්‍ය පසුබිම ද එසේම වේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...