කොළඹ සංචා­රක විශ්ම­ල­න්තයේ නත්තල් අසි­රිය | දිනමිණ

කොළඹ සංචා­රක විශ්ම­ල­න්තයේ නත්තල් අසි­රිය

ළඟ එන උත්සව සමය නිමිති කරගෙන දෙසම්බර් 20 සහ 22 අතර කොළඹ නගරය සංචාරක විශ්මලන්තයක් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය වෙමින් පවතී .

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ ,පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ කොළඹ නගරය උත්සව සිරියෙන් සැරසූ නත්තල් අසිරියේ තුන්වන පියවර මෙවර සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සංචරණය කටයුතු කරමින් සිටී .

මෙහි අරමුණ ශ්‍රි ලංකාවේ ආහාර , සංස්කෘතිය , ක්‍රීඩා , අත්කම් , තේ , විනෝදාස්වාදය යන සියලු අංශ සංචාරකයන් බහුල කාලයක එකම ස්ථානයකට ගෙන ඒ කෙරහි අවධානය යොමුකර ගැනීමයි . ශ්‍රී ලංකා සංචරණයේ තොරතුරු වලට අනුව මෙවර කොළඹ නත්තල් අසිරිය ගිය වරටත් වඩා විශාලවූත් , සාර්ථකවූත් එකක් වනු ඇත .

නත්තල් අසිරිය සංචාරක සංවර්ධන අමාත්‍ය ජෝන් අමරතුංග මැතිතුමන්ගේ සංකල්පයකි. නගරයේ හෝටල් සංචාරකයන්ගෙන් පිරුණු නත්තල් සමය තුල , ඔවුන් ඉලක්ක කර ගත් කටයුත්තක් සංවිධානය නොවන බව වටහා ගත් අමාත්‍යතුමා සංචාරක කර්මාන්තයට සම්බන්ධ සියලු කොටස් එක් කොට දින කීපයක් පුරා දිවෙන මෙම උළෙල සංවිධානය කිරීමට පුරෝගාමී විය .

මෙම උළෙල පුරා ජනප්‍රිය සංගීත කණ්ඩායම් , ගායකයින් , ත්‍රිවිධ හමුදා වාදක කණ්ඩායම් සහ බැති ගී කණ්ඩායම් මගින් නොනවතින විනෝදාස්වාදයක් සමග අමරණිය අත්දැකීමක් දේශීය හා විදේශීය සංචාරකයින්ට ලබා දෙනු ඇත .

මෙම උළෙල වඩාත් රසවත් කිරීම උදෙසා කොළඹ නගරයේ ප්‍රකට හෝටල් සහ අවන්හල් වල ප්‍රදර්ශන කුටි මෙන්ම ශ්‍රී ලංකාවේ ආහාර පාන පිළිබද සජීවී වැඩසටහන් සමුහයක් ද සංවිධානය වනු ඇත . මෙහි ජාත්‍යන්තර ආහාර අංශයේ මොන්ගෝලියානු , අරාබි , චීන , මැලේසියානු , තායි , කොරියානු , ඉතාලියානු , ඉන්දියානු , ජපන් සහ ඉන්දුනීසියානු අතුරුපස විශේෂ අඩු මිලකට ලබා ගැනීමට අවස්ථාව තිබේ . මෙයට අමතරව ශ්‍රී ලංකා තේ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන තේ රස බැලීමේ ස්ථානයක් මෙන්ම මෙරට විවිධ තේ වර්ග ප්‍රදර්ශනයක් ද මෙයට ඇතුලත්ය .

මෙවර නත්තල් අසිරියට එක්වන නවතම අංගයක් වන්නේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව මගින් නිදහස් චතුරශ්‍රය ආශ්‍රයේ සංවිධානය කරනු ලබන නත්තල් කලාපයයි . මෙම නත්තල් කලාපය තුල මෙයට පෙර මෙරට විද නැති නව්‍ය අත්දැකීම් සමුහයක් විදීමට අමුත්තන්ට අවස්ථාව හිමි වේ‍.

Colombo City Tour” සංවිධානය කරන සජීවී කැරොල් වාදකයන් සමග තට්ටු දෙකේ බස් රථ සේවය කොළඹ හෝටල් කීපයක සිට උළෙල පැවැත්වෙන ස්ථානයට හා ආපසු ගමනා ගමන පහසුකම් සපයනු ඇත.

නත්තල් අසිරිය 2017” එක් අතකට නත්තල සැමරීම දේශීයත්වයෙන් විඳ ගැනීමට හා එය දේශීය සහ විදේශීය සංචාරකයන් , රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මෙරට වසන විදේශිකයින් අතර පැතිරවීමට අවස්ථාව උදාකරයි.

අනෙක් අතට මෙය උළෙල කේන්ද්‍රීය සංචාරක කර්මාන්තය Colombo City Tour ප්‍රවර්ධනයට අපූරු වේදිකාවක් සකස් කර දෙයි .

නව අදහස දක්වන්න