කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ ලොව ප්‍රමු­ඛ­තම වෙළෙ­ඳ­පො­ළක් බවට පත්කළ හැකියි | දිනමිණ

කොළඹ කොටස් වෙළෙ­ඳ­පොළ ලොව ප්‍රමු­ඛ­තම වෙළෙ­ඳ­පො­ළක් බවට පත්කළ හැකියි

 l රජීව බණ්ඩා­ර­නා­යක

රටක ආර්ථික තත්ත්වය පිළිබඳ කියැවෙන දර්ශකයන් අතර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. කොටස් වෙළෙඳපොළ යනු ගෝලීය ආර්ථික මෙවලම් අතර සුවිශේෂී ක්‍රමෝපායකි. මෙරට කොටස් වෙළෙඳපොළෙහි වාර්තාවූ ඉහළම විදෙස් ආයෝජන ප්‍රමාණය වූ රුපියල් බිලියන 105ක ප්‍රමාණය පසුගිය දිනෙක වාර්තාවී තිබිණි. මෙම මට්ටමට තරමකින් හෝ ආසන්න වී තිබුණේ 2014 වර්ෂයේ රුපියල් බිලියන 104ක් වශයෙනි. විදෙස් ආයෝජනයේ වර්ධනය වීම කුමන ස්වරූපයකින් සිදුවුවද රටේ ආර්ථිකය පිළිබඳව සුභ පෙරනිමිත්තකි. මේ පිළිබඳවත් කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා සමග කරන ලද සංවාදයකි.

 

 

Q කොටස් වෙළෙඳපොළෙහි විදෙස් ආයෝජනයත් ඉහළ යෑමට බලපෑ සාධක කවරේද?

ඕනෑම කෙනෙකු කොටස් වෙළෙඳපොළෙහි ආ‍යෝජනය කිරීම යනුවෙන් හඳුන්වන්නේ කොටස් මිලදී ගැනීමයි. කලාපයේ අනෙකුත් රටවල් සමඟ සැසඳීමේදී පෙනී යන්නේ අනෙකුත් රටවල කොටස් වෙළෙඳපොළවල් සමඟ සසඳන විට අපගේ කොටස්වල මිල යම් ප්‍රමාණයකට පහළ අගයක් ගන්නා බවයි. වෙළෙඳපොළ න්‍යාය වන්නේ අඩුමිලට ගෙන වැඩි මිලට විකිණීමයි. කොටස් මිල අඩු මට්ටමක පැවැති අවස්ථාවේ මිලදී ගැනීම් ඉහළගොස් තිබෙනවා. නියම අවස්ථාව හඳුනාගෙන විදේශීය වෙළෙඳපොළවෙත පිවිස ඇති බවය. මගේ අදහස නමුත් මෙලෙස විදේශිකයන් අපගේ කොටස් වෙළෙඳපොළ පිළිබඳව අවධානය යොමුකිරීම අහම්බෙන් සිදුවූවක් නොවේ. ආයතනයක් විදිහට පසුගිය කාලය පුරාම අප විසින් විදෙස් ආයෝජකයන් දැනුවත් කිරීමේ වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළා. එම වැඩසටහන් තුළින් අපි ඉස්මතු කළේ ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළෙහි විශ්වාසයෙන් යුතුව ආ‍යෝජනය කළ හැකි බවයි. එසේම ලාභ ඉපැයිය හැකි බවයි. එවැනි සම්මන්ත්‍රණ පැවැත්වීමේදී අපි වඩාත් විශ්වාසනීයත්වය තහවුරු වන ආකාරයෙන් විනිවිද භාවයන් යුතුව හුදු ප්‍රචාරණ වැඩසටහනකට ඔබ්බේ වනා දැනුවත් කිරීමේ වැඩසටහන් ආකාරයෙනුයි පවත්වන්නේ. ඒ නිසාම එම සම්මන්ත්‍රණ කෙරෙහි වැඩි පිරිසකගේ අවධානය යොමු වෙනවා. මේ සම්මන්ත්‍රණ සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ නිලධාරීන්ට අමතරව, මේ හා සම්බන්ධ වගකිවයුතු ආයතන කීපයක නිළධාරීන් සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නිළධාරීන්, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ නිළධාරීන් ආදී පාර්ශව කීපයක නියෝජනය ඇතිව අපි මේ සම්මන්ත්‍රණ සැලසුම් කරන්නේ. ඒ නිසාම ඊට ලැබෙන ප්‍රතිචාරත් ඉහළයි.

 

 

Q කොටස් වෙළෙඳපොළ ගනු දෙනු සඳහා අත්‍යවශ්‍යම කරුණ ලෙස ඔබ සලකන්නේ කුමක්ද?

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම ඉතාමත් හොඳ ආයෝජන ක්‍රමයක්. අනෙකුත් ආයෝජන ක්‍රම සමඟ සැසඳීමේදී මෙහි ඇති අවදානම තරමක් ඉහළයි. මේ පිළිබඳව අවබෝධයෙන් යුතුව අවදානම අවම කරගැනීම සඳහා නිරන්තර විමසිලිමත් බවකින්යුතුව ආයෝජනය කිරීමයි වැදගත් වන්නේ. මගේ විශ්වාසය නම් මුදල් පමණක් නොවේ ආයෝජනය මේ සඳහා කාලයක් කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳව මනා අවබෝධයක් තිබිය යුතුය. එලෙස කාලය ආයෝජනය කළ නොහැකි නම් ඒ වෙනුවෙන් කටයුතු කරන තැරැව්කාර සමාගම්වල සහාය ලබාගත හැකියි.

 

 

Qඔබ පවසන්නේ කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීම් සූදුවක් නොවන බවද?

කිසිසේත්ම සූදුවක් නොවේ. නීතිමය රාමුවක් ආවරණය වන මිලදී ගැනීම් හා විකුණුම් ක්‍රියාවලියත් මෙහි ඇති අනෙක් වැදගත්කම වන්නේ කොටස් වෙළෙඳපොළෙහි කොටස් අලෙවිකරන සමාගම්වලට අත්වන ප්‍රතිලාභයි. මේ මඟින් ඔවුනට ප්‍රාග්ධන ඌනතා මඟහරවා ගත හැකියි. නවතම ආයෝජනයන් කෙරෙහි යොමුවිය හැකියි.

 

 

Qකොටස් වෙළෙඳපොළෙහි අලෙවිවන සමාගම් පිළිබඳව ආයෝජකයන් තුළ පවතින විශ්වාස ආයෝජනය ඉහළයෑමට බලපෑ හේතුවක් නොවේද?

කොටස් වෙළෙඳපොළෙහි ආයෝජන ඉහළයෑමට බලපාන හේතු අතර එය ප්‍රමුඛතම කරුණක්. විශේෂයෙන්ම විදෙස් ආයෝජන ඉහළයෑම සඳහා එම කරුණ මූලික හේතුවක් බවට පත්වෙනවා. තවත් වැදගත් කරුණක් සඳහන් කළ යුතුයි. විදේශිකයන් අපේ රටේ පළවෙන පුවත්පත් නොකියවීම මූලික හේතුවක්. මොකද අපගේ පුවත්පත් බොහොමයකින් පිළිබිඹු වෙන්නේ රට පිළිබඳව නරක චිත්‍රයක්. කෙනෙකු මේවා කියැවුවොත් මෙවැනි රටක ආයෝජනය කිරීම අවදානමක් ලෙස සැලකීමට ඉඩ තිබෙනවා. අපේ අය රස විඳීමට හුරුව තිබෙන්නේ නරක දේවල් පමණයි. නරක අතර හොඳ දේ කෙතරම්ද ඒවා වර්තා නොවීම ලොකු අඩුවක්.

 

 

Qකොටස් වෙළෙඳපොළ ප්‍රාදේශීය මට්ටමට ගෙනයාම සඳහා වැඩපිළිවෙළක් තිබේද?

අප ඒ සඳහා ක්‍රමවේද කීපයක් යටතේ කටයුතු කරනවා. අපගේ ප්‍රාදේශීය කාර්යාල මේ සඳහා ස්ථාපිත කොට තිබෙනවා. එමෙන්ම රටේ පළාත් නමය ආවරණය වන පරිදි දිස්ත්‍රික් 24 පුරාම දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ පවත්වනවා. ඒ තුළින් අපි අපේක්ෂා කරන්නේ දේශීය ආයෝජන දිරිගැන්වීමටයි.

තරුණ පිරිස් කොටස් වෙළෙඳපොළ කෙරෙහි සමීපවීම කුමන මට්ටමකද පවතිනුයේ. සාමාන්‍යයෙන් ආයෝජනය කිරීමේ හැකියාව ඇත්තේ මුල්‍යමය ඉතිරියක් ඇති අ යටයි. එවැනි අතිරික්තයක් පවතින්නේ තාරුණ්‍යය ඉක්මවා මැදිවියට පැමිණි අය සතුවය. ඒ අනුව කොටස් වෙළෙඳපොළෙහි වැඩි වශයෙන් ආයෝජනය කර ඇත්තේ එවැනි පිරිස් බවයි මගේ අවබෝධය.

කෙසේ වෙතත් කොටස් වෙළෙඳපොළ කෙරෙහි තරුණ අවධානය වර්ධනය වෙමින් පවතින්නක්. විශේෂයෙන්ම තරුණ අය මොබයිල් දුරකතනය හරහා, කොටස් වෙළෙඳපොළ සමඟ සම්බන්ධවනු හඳුනාගත හැකිය. කොටස් වෙළෙඳපොළ ගනු දෙනු තාක්ෂණික ක්‍රම ඇසුරින් සිදු කිරීම සඳහා අපි පහසුකම් සපයා තිබෙනවා. මේ හේතුව නිසාම තරුණ අයගේ ආකර්ෂණය ඉහළ යමින් පවතිනවා. එපමණක් නොවේ. කලාපයේ රටවල් අතර තරගකාරී වෙළෙඳපොළක් පවත්වා ගැනීමටත් එම හේතුව බලපා තිබෙනවා.

 

 

Qඔබ ආයතනය පසුගිය දිනෙක කොරියානු කොටස් වෙළෙඳපොළක් සමඟ ගිවිසුමකට එළැඹී තිබුණා.

කොරියානු කොටස් වෙළෙඳපොළ ලොව ඇති කොටස් වෙළෙඳපොළ අතරින් ප්‍රමුඛ වෙළෙඳපොළක්. එම ආයතනය සමග අපි සම්බන්ධ වූයේ ඔවුන්ගේ භාවිතා කරන තාක්ෂණය, සමීපවීම සඳහා මෙන්ම ඔවුන් විසින් භාවිත කරන මූල්‍යමය ක්‍රමවේද (මූල්‍ය උපකරණ) අපගේ වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට අපේක්ෂා කරනවා.

 

 

Qලොව අනෙකුත් කොටස් වෙළෙඳපොළ සමඟ සසඳද්දී අපගේ කොටස්වෙළෙඳපොළ ප්‍රාථමික මට්ටමකයි පවතින්නේ.

අපි උත්සාහ ගන්නේ එය ද්විතීක මට්ටමට ඔසවා තැබීමටය. ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් අප සතුයි. කොටස් වෙළෙඳපොළක් ලෙස මා දකින ඉහළම දුබලතාවය නම් මෙරට ක්‍රියාත්මක වන ඉහළම මූල්‍ය වටිනාකම් ඇති සමාගම් බොහොමයක් තවමත් රාජ්‍ය ආයතන ලෙස පැවතීමයි. කොටස් වෙළෙඳපොළ තුළට නොපැමිණි සමාගම් ප්‍රමාණයක් තිබෙනවා. එම ආයතනත් කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වෙනවානම් අපගේ කොටස්වෙළෙඳ පොළ ලොව ප්‍රමුඛයෙකුගේ තත්ත්වයට එසැවිය හැකිය.

 
බුද්ධිකා බ්‍රාහ්ම­ණගේ

 

නව අදහස දක්වන්න