බ්‍රිතාන්‍ය රාජකීය නැවක ජල කාන්දුවක් | දිනමිණ

බ්‍රිතාන්‍ය රාජකීය නැවක ජල කාන්දුවක්

බ්‍රිතාන්‍ය නාවික හමුදාවට අයත් එච් එම් එස් ක්වීන් එළිසබෙත් නෞකාවේ කාන්දුවක් ඇති බවත්, එය කඩිනමින් අලුත්වැඩියා කටයුතු බවත්, බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සදහන් කර ඇත.

මෙම නෞකාව බ්‍රිතාන්‍යයේ විශාලතම යුද නැව ලෙස සැලකේ. ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි නෞකාවක් වන එච් එම් එස් ක්වීන් එලිසබෙත් නෞකාව ඩොලර් බිලියන 4.2ක වියදමින් මෑතක දී නිපදවා තිබේ.

ටොන් 65,000ක් වන මෙම නෞකාව බ්‍රිතාන්‍ය සතු ඉහළම නෞකා තාක්ෂණයෙන් සමන්විත වේ.

මීට සති දෙකකට පෙර මෙම නෞකාව නිල වශයෙන් දියත් කර තිබුණේ එළිසබෙත් මහ රැජිණ විසිනි. මිටර 250ක දිගකින් යුතු මෙම නෞකාවෙන් පැයකට ජලය ලීටර් 200කට වැඩි ප්‍රමාණයක් කාන්දු වන බව බ්‍රිතාන්‍ය සන් පුවත්පත වාර්තා කර තිබේ.

එම කාන්දුව සකසා නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා පවුම් මිලියන ගණනක් වැය වනු ඇතැයි, එම පුවත්පත වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

මෙම ගැටලුව රාජකීය නාවික හමුදාව අතිශය අපහසුතාවට පත් කරන්නක් බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ.

නව අදහස දක්වන්න