අවුරුදු 25 ටම නිවාඩු එක දවසයි | දිනමිණ

අවුරුදු 25 ටම නිවාඩු එක දවසයි

කජ්ලිමා මුඛර්ජි බොලිවුඩ් සිනමාවට පැමිණියේ මීට අවුරුදු 25 කට පෙර , 1992 දී තිරගතවූ “බෙඛුඩි” චිත්‍රපටයෙන්. කජ්ලිමා මුඛර්ජි කියන නම සමහර විට ඔබට නුහුරු ඇති. හැබැයි කාජල් ව නම් කවුරුත් දන්නවා. මේ කියන්න යන්නේ කාජල් ගැන තමයි. ( ඇගේ මුල් නම කජ්ලිමා මුඛර්ජි ) කාජල් ආරමිභ කළ තම සිනමා චාරිකාවේ අලුත්ම රංගනය මුසුවී ඇත්තේ 2017 අගෝස්තු මාසයේදී තිරගතවුණු “වෙලයිලා පටධාරි- 2 ” චිත්‍රපටයටයි. ඇගේ මෙම දීර්ඝ බොලිවුඩ් සිනමා ජීවිතය තුළ ඇය නිකරුණේ නිවාඩු ලබා ගෙන නැහැ. බොහොමයක් නළු නිළියන් නොයෙකුත් හේතු දක්වමින් තමන්ට නියමිත රූගත කිරීම් වලට නොපැමිණීම බොලිවුඩ් සිනමාවේ නිතර දකින්න ට ලැබෙන දෙයක් වුණත් කාජල් නම් එලෙස ’නිවාඩු‘ ගන්නේ නැති බව ප්‍රසිද්ධ කාරණයක්.

“මම කවදාවත් අත්‍යවශ්‍යම දේකට මිසක් සමහරු වගේ ‘ෆ්ලයිටි එක මිස් වුණා’ ‘සනීප නැති වුණා’ කියල රූගත කිරීම් වලට නෑවිත් හිටියෙ නැහැ. එහෙම නෑවිත් හිටියොත් නිෂ්පාදකවරයාට ලක්‍ෂ ගණනක පාඩුවක් දරන්න වෙනවා. ඒ නිසා රූගතකිරීම් වලට සහභාගිවීම නළු නිළියන් ගේ වගකීමක්. ගතවුණු අවුරුදු 25 ක කාලෙදි මම නම් නෑවිත් හිටියෙ එක දවසයි. එදා මගෙ දුව නීසා ට 104 ට හොඳටම උණ ගැනිල තිබුණා. ඒ නිසා මම නිෂ්පාදක ට දන්වලා රූගතකිරීම් වලට ආවෙ නැහැ. හැබැයි මට හොඳටම උණ ගැනිල තිබුණු දවසක වුණත් මම ඒක ගණන් ගන්නේ නැතිව රඟපාන්න ඇවිත් තියෙනවා ” කාජල් පසුගියදාක ඉන්දීය පුවත් සේවයකට පවසා තිබුණා. මේ සුරුපී නිළිය පසුගිය සතියේ තම පුතු යුග් , මව තනුජා සහ සොයුරිය ටනීෂා මුඛර්ජි සමඟ සිද්ධාරෝධා කෝවිලට පැමිණ විශේෂ පූජාවකට සහභාගි වුණා.

නව අදහස දක්වන්න