රජරට ගී උල්පතක රස පහස | දිනමිණ

රජරට ගී උල්පතක රස පහස

 ප්‍රවීණ ගීත රචක මහින්ද චන්ද්‍රසේකරයන්ගේ හතළිස් වසරක ගී පද අසිරිය “සරෝජා ගී මියැසිය” දෙසැම්බර් 23 ප. ව. 3.00ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

අද පැයක් ඇතුළත රේඩියෝ චැනල් තිහ හතළිහකින් විවිධ පන්නයේ ගීත හාරපන්සියයක් සවන් දිය හැකිය. එහෙත් මේ ඇසෙන ගීතවලින් අපේ හිතේ රැඳෙන්නේ එහෙමත් එකකි. බොහෝ ගීත වම් කනින් ඇසී දකුණු කනින් පිටවන මතකයේ නොරැඳෙන නීරස ඒවාය. එහෙත් ඒ අතර ජීවිත කාලයේම අපේ හදවත් ඇදබැඳ ගන්නා ගීතද නැතුවා නොවේ. දින සති නොව අවුරුදු ගාණක්ගත වුවද ඒ ගී පැරැණිවන්නේ නැත. එවැනි ගීයෙන් අමරණීය වන්නේ ගායකයන්ගේ හා සංගීතඥයන්ගේ දක්ෂතාවය නිසා පමණක් නොවේ. සුන්දර, සූර පද පෙළ ගැස්මද මෙවැනි ගීතයක සදාකාලික වීමට මග සලසා දෙන හේතුවකි. අපට ගීත රචකයන් කොතෙක් සිටියද හදවතට දැනෙන ලෙස ගැමිකම, ගීතමය භාෂාව ඉස්මතුවන ලෙස ගීතයක් රචනා කළ හැකි රචකයන් සිටින්නේ අල්ප ප්‍රමාණයකි. ඒ අතරින් “මහින්ද චන්ද්‍රසේකර” නම් පද රචකයාට සිංහල සුභාවිත ගීතය තුළ ඔහුටම වෙන්වූ තීරයක් තිබේ.

ඈත රජරට වන්නි වනාන්තර මායිමේ මැදවච්චිය මුවඇටගම ගම්මානයේ උපත ලබන මහින්ද චන්ද්‍රසේකරයන් උපන්ගෙයි ගැමියෙකි. උපතින්ම ගෙන ආ සමාජ හැකියාව වූ ලිවීමේ කලාව ඔහු ඔපමට්ටම් කරගත්තේ ලේක්හවුස් ආයතනයේ ප්‍රකාශනයන් වූ සිළුමිණ, මිහිර, බුදුසරණ පුවත්පත්වලට තම ලේඛන හා කාව්‍ය දායකත්වය ලබාදීමෙනි. මහින්ද චන්ද්‍රසේකරයන් කොළඹ සරසවියට ඇතුළත්වන්නේ 1975 දී වන අතර ඔහු තුළ තිබූ කලා හැකියාවන් සරුසාර ලෙස දලුදා වැඩීමට සරසවි ජීවිතය අතිමහත් පිටිවහලක් ලබාදුනි.

ගීත රචකයකු ලෙස ස්ථාවරවීමට මහින්ද චන්ද්‍රසේකර කවියා කෙතෙක් උත්සාහ කළද එය සිතන තරම් පහසු ඉලක්කයක් නොවුණි. අවසානයේදී චන්ද්‍රසේකරයන්ට වාසනාව ගෙනආවේ 1979දී ආරම්භ වූ රජරට සේවයයි. සිරිල් රාජපක්ෂ ස්වර්ණ ශ්‍රී බණ්ඩාර, විජයානන්ද ජයවීර, ප්‍රේමකීර්ති ද අල්විස්, නිව්ටන් ගුණසේකර, ගුණදාස කපුගේ, කුලසේන ෆොන්සේකා වැනි දැවැන්තයන්ගෙන් සැදුම්ලත් තැනක් වූ රජරට සේවයේ ශිෂ්‍ය පරපුර අතරට එක්වීමට මහින්ද චන්ද්‍රසේකරයන්ට හැකියාව ලැබුණි. මහින්දට ගීත රචකයකු බවට පත්වන්නට ලැබෙන්නේ එම අවදියේදීය. ඔහු ලියූ මුල්ම ගීතය ‘කුසුමලතා” නම් වූ අතර එය ගායනා කළේ ඩී. එම්. රාජරත්න විසිනි.

මහින්ද චන්ද්‍රසේකරයන් තුළ අප දකින සුවිශේෂම ලකුණ වන්නේ ඔහු එක් සීමාවකට කොටු නොවී ගීත රචනාවේ විවිධ ඉසව් සොයා යාමය. ප්‍රේමය, විරහව, ගැමිකම පමණක් නොව ජාතික සමගිය, සංහිඳියාව වැනි වෙනත් ඉසව් වෙතද ඔහු අවධානය යොමුකරයි. “උතුරෙන් එන දුම්රියේ” වැනි ගීත මෙන්ම සරෝජා ගීතයද එම හැකියාව පිළිබඳ හොඳ නිදසුනක් ලෙස සඳහන් කළ හැකිය. යුද ගී, රණ ගී ජනප්‍රියව තිබූ යුගයක මෙම ගීත රචනා කළ මහින්ද චන්ද්‍රසේකරයන් ජාතින් අතර සමගිය හා එකමුතුව පිළිබඳව කැපවූ ප්‍රතිපත්තියකින් යුතුව කටයුතු කළ අයකු ලෙස සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

මහින්ද චන්ද්‍රසේකර යනු තවත් එක් රචකයකු යැයි සඳහන් කළහොත් එය ඔහුට සිදු කරන අසාධාරණයකි. සැබෑ ලෙසම ඔහුටම ආවේණික ගති ලක්ෂණ ඇති මහා රචකයකි. ඔහු ලියූ ගීතද එකිනෙකට වෙනස්ය. ප්‍රේම ගීත ලෙස ඔහු ලියූ “ඔබට යන්නම ඕනෑනම්” ගීතය අමුතු ලතාවක් ගත් ගීයකි. දිවුල්ගනේට ලියාදුන් ෆාතිමා ගීතය සිංහල මුස්ලිම් සබැඳියාව ගැන කියැවෙන ගීතයකි. එහෙත් මේ හැම දෙයක් අතරම මහින්ද චන්ද්‍රසේකර ලියූ ගීතයන්වල රජරට ගැමි සුවඳ මනා ලෙස දැවටී ඇති ආකාරයක් ද දක්නට ලැබුණි. ඔහු ලියූ බොහෝ ගී අද වනවිට අවුරුදු තිහ ඉක්මවා තිබුණ ද එම ගීතවල මිහිරියාව මෙන්ම සුන්දරත්වය ද අදත් එදා මෙන්ය. චන්ද්‍රසේකර ශෛලියේ ප්‍රබලත්වය යනු එයයි.

මහින්ද චන්ද්‍රසේකර යනු හුදු ගීත රචකයකු පමණක්ම නොවේ, ඔහු ගුවන්විදුලි ජනශ්‍රැති පර්යේෂණ වැඩසටහන් පිටපත් රචනයෙන් ද විශාල දායකත්වයක් ලබාදී තිබේ. රජරට සේවයේ “රජරට රඟමඬල” නාට්‍ය අධ්‍යයන සඳහා නාට්‍ය රචනා ද ඔහු විසින් ලියා ඇති අතර නව කවීන්ගේ නිර්මාණ අගය කෙරෙන වැඩසටහන් රැසකට ද ඔහු දායකත්වය ලබාදී තිබේ. නව පදමාලා වැඩසටහන හරහා අලුත් ගීත රචක පරම්පරාවකට අතහිත ලබාදීමට ද මහින්ද චන්ද්‍රසේකර මහතා අමතක ක‍ෙළ් නැත.

මහින්ද චන්ද්‍රසේකරයන් වෘත්තියෙන් ගුරුවරයෙකි. පසු කාලීනව ගුරු උප‍දේශකවරයකු ද වන ඔහු රජරට විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කර තිබේ. එමෙන්ම රජරට සේවයේ සහන නිවේදකයකු ලෙස ද ඔහු කටයුතු කර තිබේ. එයට අමතරව ග්‍රන්ථ රචකයකු ලෙස ද විචාරක පාඨක අගැයුමට ද ඔහු නිරතුරු ලක්ව ඇත.

කලාකෙත අස්වැද්දූ පිරිපුන් මිනිසකු ලෙසත් කලාවේ හා සුභාවිත ගීත කලාවේ ඉදිරි ගමනට තව දුරටත් අවශ්‍ය කරන සුවිශේෂී රචකයකු ලෙසත් මහින්ද චන්ද්‍රසේකර නාමය හඳුන්වාදිය හැකිය.

එබැවින් මෙවැනි ප්‍රසංගයක් සංවිධානය කිරීම කාලීන අවශ්‍යතාවයකි. ඔහු වෙනුවෙන් ගී මියැසියක් පිදෙන මොහොතේ අප පැතිය යුත්තේ ඔහුට නිර්මාණශීලී කටයුතු වෙනුවෙන් කැපවිය හැකි සුව දිවිපෙවෙතකි.

උදිත ගුණවර්ධන 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...