2017 ආර්ථික ප්‍රවේශ සහ 2018 ඉලක්ක | දිනමිණ

2017 ආර්ථික ප්‍රවේශ සහ 2018 ඉලක්ක

 2016 වසර සමඟ සසඳා බලනවිට 2017 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය අත්කරගත් ජයග්‍රහණ මොනවාද යන ප්‍රශ්නයට විවිධ පිළිතුරු තිබේ.

ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා දිනමිණට පවසන අන්දමට ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික ගමන් මග සකස් කරගැනීමට අවශ්‍ය පියවර රාශියක් හඳුන්වා දෙනු ලැබුවේ 2017 වසරේ දී ය.

ශ්‍රී ලංකා‍ව ලෝකයේ සෙසු රටවල් සමග එක්ව, සෙසු රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ සෑම යුගයකදීම දියුණු රටක් බවට පත් වූ බව අතීත ඉතිහාසය තුළින් දක්නට ලැබෙනවා. පුරාණ සේද මාවත ඔස්සේ ශ්‍රී ලංකාවේ කුළු බඩු, මුතු මැණික් සෙසු රටවලට ඇදී ගියා. පෘතුගීසි යුගයේත් එහෙමයි. ලන්දේසි යුගයේත් එහෙමයි. ඉංග්‍රීසි යුගයේත් එහෙමයි.

අපේ රට නිදහස ලැබුවට පස්සේ නිදහස ලබපු, හොංකොං, සිංගප්පූරුව වාගේ රටවල් අද වනවිට අපට වඩා ඉදිරියට ගිහින් තිබෙනවා. එදා හොංකොං රාජ්‍යය කුඩා ධීවර වරායක් පමණයි. සිංගප්පූරුව මුහුදු යාත්‍රා අලුත්වැඩියා කිරීමෙන් ඔවුන්ගේ සංවර්ධනයට පියවර තිබ්බා. හොංකොං අද ප්‍රබල ආර්ථිකයක් ගොඩනගාගෙන තිබෙනවා. සිංගප්පූරුව ආසියා කලාපයේ ප්‍රබල ආර්ථිකයක්.

ලෝකයේ සෙසු රටවල් සමග ව්‍යාපාරික වශයෙන් සම්බන්ධවීම සඳහා අපි වැඩපිළිවෙළක් සකස් කළා. රටවල් රාශියක් දැන් අප සමඟ ගනුදෙනු කරනවා. එම රටවල් සංඛ්‍යාව ඉදිරියේ දී තවත් වැඩිවෙනවා. රටවල් රැසක් සමග වෙළෙද ගිවිසුම් අත්සන් කිරීමට නියමිතයි. මේ නව දැක්ම ක්‍රියාත්මක කිරීමට මඟ සැලසුණේ 2017 දී යැයි නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

සාගර සම්පතෙන් ප්‍රයෝජන

 

“ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීමෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට දැන් වැඩපිළිවෙළ සකස් කර අවසන්. එයටත් මග පෑදුණේ 2017 වසරේ දී ම”

ඉන්දියන් සාගරය වටේ රටවල් 50ක් පමණ පිහිටා තිබෙනවා. ඉදිරි යුගයේ දී සංවර්ධනාත්මක පියවර රාශියකින් මේ රටවල් ඉදිරියට එනවා. මැද පෙරදිග, අප්‍රිකාව නැගෙනහිර ආසියාව, යුරෝපය සහ ඇමෙරිකාව එකිනෙකට සම්බන්ධ කරන්නේ ඉන්දියන් සාගරයයි. එසේම පර්සියන් ගල්ෆ් කලාපය සහ ඉන්දුනීසියා කලාපයේ ඉන්ධන සහ පෙට්‍රෝලියම් ප්‍රවාහනය වන්නේ ඉන්දියානු සාගරය ඔස්සේ ය.

මත්ස්‍ය සම්පත නෙළාගැනීම සඳහා රුසියාව , චීනය, ජපානය, තායිවානය, දකුණු කොරියාව ප්‍රධාන සෙසු රටවල් ඉන්දියානු සාගරය ප්‍රයෝජනයට ගන්නවා. මේ සමෘද්ධිමත් කලාපයේ පිහිටි ශ්‍රී ලංකාව අපනයනාභිමුඛ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ කටයුතු දැන් ඇරැඹී තිබෙනවා යැයිද නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ඍජු විදේශ ආයෝජන ආකර්ෂණයේ දී ලොව පුරා සිටින ආයෝජකයන් EASE 70 DOING BUSINESS INDEX දර්ශකය පරිශීලනය කරනවා. මේ දර්ශකයේ අංක 70 තරම් ඉහළ මට්ටමකට ශ්‍රී ලංකාව ගෙන ආ යුතුයි. ඒ සඳහා ඇති අඩුපාඩු සකස් කරමින් සිටිනවා. රටේ අනාගත ආර්ථික සංවර්ධනයේ දී අවශ්‍ය විදේශීය ආයෝජන සඳහා මෙය කළ යුතුම වැඩක්. එසේම ඍජු විදේශ ආයෝජන සහ විවිධාංගිකරණය වූ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා පවතින නීතිමය හා නියාමන රාමුව නිවැරදි කිරීම් කළ යුතුයි. ඒ සඳහා ද කටයුතු ආරම්භ වුණා.

ශ්‍රී ලංකාව ගෝලීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ කටයුතු කරගෙන යනවා. ශ්‍රී ලංකාවේ ස්වභාවික පිහිටීම නිසා ශක්තිමත් ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කරන්න පුළුවනි. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ හවුල්කාරිත්වයෙන් කොළඹ වරායේ නැගෙනහිර හා බටහිර පර්යන්ත ඇතුළුව වරාය ආශ්‍රිත යටිතල පහසුකම් සැපයීම් පුළුල් කිරීම් කටයුතු ඇරැඹෙන බවද 2017 වසරේ මෙහි මූලික කටයුතු ආරම්භ වූ බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

දැනුම මත පදනම්කරගත්, ඉහළ තරගකාරිත්වයක් සහිත, සමාජීය වෙළෙඳ පොළ ආර්ථිකයක් මත නිර්මාණය වන නව ආර්ථික ආකෘතියක් සකස් කිරීමට දැන් පියවර තබා තිබෙනවා. එසේම 2025 දක්වා වන රට ගොඩනැගීමේ වැඩපිළිවෙළ 2017 දී රටට ඉදිරිපත් කළා.

දැනුම පදනම් කරගත් ආර්ථිකයක් තුළින් බුද්ධිමය හැකියාවන්ගෙන් සන්නද්ධ වීමට ඉඩ ලබා දෙනවා. එසේම ඒකාබද්ධ වූ ගෝලීය ආර්ථිකය තුළ සාර්ථකත්වයට පත්වීම සඳහා අත්‍යවශ්‍යවන ඉහළ තරගකාරිත්වයකින් යුතු පරිසරයක් සැකසීමට එමගින් හැකිවනවා.

වඩාත් හිතකර නීති පද්ධතියක් සඳහා නීති ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. නැතිව රටට ඉදිරියට යන්න බෑ. විශේෂයෙන් නව දේශීය ආදායම් පනත, විදේශ විනිමය පනත, ස්වෙච්ඡාවෙන් ආදායම් හෙළිදරව් කිරීමේ පනත, රාජ්‍ය ඉඩම් බැංකු පනත, රාජ්‍ය වාණිජ ව්‍යවසාය පනත, වරාය හා ගුවන් තොටුපොළ පනත, රුහුණ ආර්ථික සංවර්ධන පනත, ඉඩම් විශේෂ විධිවිධාන පනත, තිරසාර සංවර්ධන පනත, වගකීම් කළමනාකරණ පනත වැනි අණපනත් රාශියක් මගින් රටේ සංවර්ධන කටයුතු නගාසිටුවීමට පියවර ගන්නවා. මේ කටයුතු සඳහා ද මුල පිරුණේ 2017 වසර තුළදී ය.

ශක්තිමත් බලවත් මධ්‍යම පන්තියක් ගොඩනැගීම සඳහා පියවර ගනිමින් තිබෙනවා. ජනතාවට ඉහළ ආදායම් ලබා ගැනීමට අවස්ථා සලසා දෙන බව කියන නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඒක පුද්ගල ආදායම වසරකට එ.ජ.ඩොලර් 5000 දක්වා ඉහළ මට්ටමකට ගෙන ඒම රජයේ උත්සාහය යැයි ද කීය. එසේම ඍජු විදේශ ආයෝජනය වාර්ෂිකව එ.ජ. ඩොලර් බිලියන 5 දක්වා ද , අපනයන ආදායම වසරකට එ.ජ.ඩොලර් බිලියන 20 දක්වා ද, ඉහළ දැමීමට ක්‍රියාකරගෙන යන බව ද කීවේ ය.

ලෝක ආර්ථික වාර්තා

ඉහළ පලදායකත්වය, නවෝත්පාදන ඇති කිරීම ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම, ආයෝජනය සහ නව රැකියා උත්පාදනය යන අංශ ඔස්සේ ප්‍රධාන භූමිකාවක් ඉටු කිරීමට පෞද්ගලික අංශයට ඉඩ සලසා දෙන බවද හර්ෂ ද සිල්වා නියෝජ්‍ය ඇමැතිවරයා කියයි.

එක්සත් ජාතීන්ගේ ලෝක ආර්ථිකය පිළිබඳ 2017/2018 වසර සඳහා වන වාර්තාව දෙසැම්බර් 11 වනදා ප්‍රකාශයට පත්විය. එක්සත් ජාතීන්ට අනුබද්ධිත ආයතන රාශියක සහායෙන් මේ වාර්තාව නිව්යෝක් නුවරින් නිකුත් වේ.

වාර්තාවේ පෙරවදන ලියා ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාය. නැගෙනහිර සහ දකුණු දිග ආසියාතික රටවල් ඉදිරියටත් වර්ධනාත්මක ආර්ථික රටවල් ලෙසින්ම කටයුතු කරනු ඇතැයි එම වාර්තාව කියයි. ලෝක ආර්ථික වර්ධනය දෙස බලන කල 2017 වසරේ සංවර්ධනයෙන් හරි අඩක්ම අයත් වන්නේ නැගෙනහිර සහ දකුණු ආසියාතික රටවලට යැයි එම වාර්තාව සඳහන් කර තිබේ.

පිටු 207 කින් යුත් මේ වාර්තාව පවසන අන්දමට 2017 වසරේ ලෝක ආර්ථිකය සියයට 3ක වර්ධනයක් ලබා ඇත. එය 2011 ට පසු ලබාගත් ඉහළම අගයයි. 2016 ලබාගත් වර්ධනය සියයට 2.16 කි. 2018 – 2019 දීත් මේ සියයට 3 ආර්ථික වර්ධන වේගය ලෝක ආර්ථිකය තුළ දක්නට ලැබෙන බවට එම වාර්තාව අනාවැකි පළ කරයි.

බංගලාදේශය, භූතානය, කාම්බෝජය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ලාඕස්, වියට්නාම, ශ්‍රී ලංකාව, පිලිපීනය, පාකිස්ථානය සහ මියන්මාරය යන ආසියාතික රටවල් LOWER MIDDLE INCOME රටවල් ලෙස දක්වා ඇති එම වාර්තාව චීනය, රුසියාව සහ තායිලන්තය UPPER MIDDLE INCOME රටවල ලෙස වර්ගකර ඇත.

2017 වසරේ අඩු ආදායම් ලබන රටවල් ලෙස දක්වා ඇති ආසියාතික රටවල් වන්නේ ඇෆ්ඝනිස්ථානය සහ නේපාලයයි.

මෙම වාර්තාවේ 123 පිටුවේ ශ්‍රී ලංකාවේ 2017 ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වන බව පැහැදිලිවම දක්වා තිබේ. බංගලිදේශයේ ආර්ථිකය පුළුල් වන බව පැවසෙන එහි සඳහන් වන්නේ ක්‍රමානුකූලව ශ්‍රී ලංකාව ඉදිරියට යන බවයි. 2017 ඇති වූ නියඟ ආහාර මිල ඉහළ යෑමට බලපෑ බව ද කියයි. එසේම ශ්‍රී මහ බැංකුවේ ක්‍රියාකලාපය ගැන සඳහන් කරමින් පවසන්නේ එහි ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සතුටුදායක බවයි.

ලෝක කෘෂිකාර්මික නිෂ්පාදන පිළිබඳ වාර්තාවක් මෙහි දැක්වේ. ලෝක වෙළෙඳ පොළේ ඇතැම් කෘෂි නිෂ්පාදන මිල පහත යෑමට තුඩුදුන් අන්දම එහි විස්තර වේ. 35 වන පිටුවේ සිට ඉදිරියට දැක්වෙන අන්දමට රබර්, කපු ඇට තෙල්, පාම් ඔයිල් සහ පොල්තෙල් මිල 2017 වසරේ දී අඩු විය. ජනවාරි සහ අගෝස්තු අතර කාලයේ දී එළවළු තෙල් මිල පහත වැටිණ. වසර 10 කට පසු කෝකෝවා ඇට මිල එහි අවමයටම අඩුවිය. කොකෝවා වගා කරන රටවලට මෙයින් බරපතළ පාඩු සිදුවිය.

ඉතා දිළිදු ජනතාව ලෙස සැලකෙන ජන කණ්ඩායම 2017 දී දසලක්ෂ 750 දක්වා ඉහළ නැග ඇතැයි පවසන මෙම වාර්තාව මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව 2016 දී දසලක්ෂ 815 කැයි ද, 2015 දී එය දසලක්ෂ 777 ක් වී යැයි ද කියයි. 2030 වනවිට ඉතාම දිළිදු මට්ටමට වැටෙන සංඛ්‍යාව දසලක්ෂ 650 ක් පමණ වේ යැයි අනුමාන කර තිබේ.

2017 පසුබැසීම්

අප්‍රිකා මහද්වීපයේ දිළිදුකම ක්‍රමයෙන් අඩුවෙමින් පවතී. 1980 දී අප්‍රිකාවේ ජනගහණයෙන් සියයට 40ක් අධික දිළිදුභාවයේ නිමග්නව සිටියත් 2030 වනවිට එය සියයට 25 දක්වා අඩුවීමට ඉඩ තිබේ. එහෙත් ඒ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග අනුගමන කළ යුතුවේ.

දේශපාලනමය ගැටුම් ද 2017 ලෝක ආර්ථිකයට බලපා තිබේ. කොරියා අර්ධද්වීපයේ පවත්නා නොසන්සුන්තාවය, ඉරානය සහ සවුදිය අතර පවතින ගැටුම්වලට අමතරව ඒ ඒ කලාපයන්හි ගැටුම් නිසා අයෝජන අවස්ථා හීනවේ. එසේම ලොව පුරා සිටින විවිධ ආයෝජකයෝ මේ නිසා දුර්මුඛ වෙති. 2017 දී මෙවැනි ගැටුම් රැසකි.

මැද පෙරදිග වූ ගැටුම් ඉන්ධන ප්‍රවාහනයට බාධා පැමිණවීය. කොන්ගෝ, නයිජීරියා, සෝමාලියා, දකුණු සුඩාන සහ යේමනයේ අවි ගැටුම් 2017 ආර්ථික සංවර්ධනයට බලපෑ ගැටුම් කීපයකි.

2017 සිදු වූ ස්වභාවික විපත් නිසා ලෝක ආර්ථිකයට වූ හානිය සුළු පටු නොවන බවද එක්සත් ජාතීන්ගේ වාර්තාව කියයි.

කඳු කඩා වැටීම්, ගංවතුර, නියඟ සහ සුළි සුළං වැනි ආපදා රැසකින් සිදු වූ හානි නිසා මිනිස් ජීවිත ද, දේපොළ සමූහයක් ද අප රටට ද අහිමි විය. සංවර්ධනය වන රටකට නොදැරිය හැකි තරම් දේපොළ හානි 2017 වසරේ ශ්‍රී ලංකාවට ද අත්විඳීමට සිදුවිය. ආර්ථික වැවිලි විනාශ වූවා සේම ආහාර නිෂ්පාදනයට හානි සිදු වූ ආහාර ද්‍රව්‍ය අපනයනය කරන තරමට ශ්‍රී ලංකාවේ පාරිසරික විපත් බරපතළ විය.

දළ වශයෙන් මේ වසරේ මෑත කාලයේ සිදු වූ පරිසර විපත් මකා ගැනීම සඳහා රුපියල් කෝටි 12,500 ක් වැයවන බවට රජය ගණන් බලා තිබුණි. 2017 මැයි 18 – 19 ගංවතුර ආපදාවෙන් පුද්ගලයෝ ලක්ෂ 6ක් අවතැන් වූහ. පසුගිය දෙසැම්බර් 4 වනවිට ද, වසර අග සිදු වූ ස්වභාවික ආපදා නිසා පුද්ගලයෝ 4442 ක් ආරක්ෂක කඳවුරු 57 ක වෙසෙති. 2017 වසරේ ස්වභාවික ආපදා මගින් මේ වනවිට දැනට ඇමෙරිකාවට සිදුව ඇති ආර්ථික පාඩුව ඇමෙරිකා ඩොලර් බිලියනය ඉක්මවා ඇත. ඇමෙරිකාව දැනට ලෝකයේ දැවැන්තම ආර්ථිකයයි.

කරුණාරත්න අමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...