පෙට්ටි කඩේ ඡන්ද කතා | දිනමිණ

පෙට්ටි කඩේ ඡන්ද කතා

බණ්ඩි රාල

පෙට්ටිකඩේ, කළු ජෙමා අද උදේ කඩේ අරින්න ආවම හරිම ජරමරයක් වෙලා තියෙන්නේ. ඊයේ රෑ කඩේ වැහුවම රෑට ඡන්ද ප්‍රචාරණ වැඩක ගිය කට්ටියක් දොර ලෑල්ලත් එක්කම තියලා පෝස්ටරයක් ගහලා ගිහින්. ඊට පස්සෙ ඒකට උඩින් තවත් එකක්. ඒකට උඩින් තවත් එකක්. ඔය විදිහට වැදුණු පෝස්ටර් තොගයක් හින්දා ලෑලි කඩේ දොර ලෑල්ල හොයාගන්නවත් බැරුව, හොයාගත්තු දොර ලෑල්ල වටේ පෝස්ටර් ඉක්මනින් ඉරාගන්න බැරිව මනුස්සයට යකා වැහිලා.

"මං වගේ එදාවේල යම්තමට ගැටගහගන්න දුප්පත් පෙට්ටිකඩ කාරයෙක් ගැනවත් කිසිම හැඟීමක් දැනීමක් නැති මුන්ට තව කතිර ගහලා බලය දුන්නොත් කොහොම හිටීවිද? යකෝ ගමේ එකා අඳුරන්නෙ නැතිව රටේ ලෝකෙ උන් අඳුරයිද?

උදේ පෙට්ටි කඩේට ගොඩවෙලා ආප්පයක්, ලැවරියක්, වඩයක් කාලා, ප්ලේන්ටියක්, ටී එකක්, දුම්වැටියක් ඇදලා බස් එකට දුවන හැමෝටම අද දකින්න ලැබුණේ ජෙමාගෙ සතුටු හිනා මූණ වෙනුවට තව තවත් කළු ගැහිච්චි මුහුණක්. ජෙමා කේන්තිය හවස් වෙනකල්ම නිවිලා තිබුණේ නෑ. ඒ නිසාම කඩේ ළඟට එන කා එක්ක හරි මොනව හරි දෙයක් කියලා කතාවට ඇදලා අරන් තමන්ගෙ කේන්තිය වචනවලින් පිටකරගන්න ජෙමා උත්සාහ කරා. ඔය අතරේ හවස් වෙද්දී එතනින් යන්න ආව වඩු මාමා ගෙනාව ආරංචියෙන් ජෙමාගෙ මූණෙ මල් පිපුණා.

"කීප තැනකම නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා කියලා ප්‍රවෘත්තිවලට කීවා. ඔය මොන මොනවද වෙබ් වගයක ඒවායෙ වැඩි විස්තර දාලලු. මට ඉතිං වැඩි විස්තර ඕන නෑනෙ. අපේ ප්‍රාදේශීය සභාවෙත් නාමයෝජනා වැරදි තැනක අත්සනක් කරලා තිබිලා ඒකත් කුණු කූඩේට ගිහින්"

වඩු මාමා ඒක කියද්දී ජෙමා, ගනුදෙනුකාරයකුගෙන් සල්ලි ගන්න එකත් නවත්තලා 'පස්සෙ දීපන්' කියලා කූඩුවෙන් එළියට ආවා.

දවසේ වැඩ රාජකාරිය ඉවරවෙලා මං හවස් වෙද්දී ගෙදරට එද්දී ඡන්ද උණුසුමයි, සමහර තැන්වල නාමයෝජනා ප්‍රතික්ෂේපවීමේ උණුසුමයි ගෙදරටත් දැනිලා. මායියයි, පොඩි එකයි ඒ ගැන දැවැන්ත සංවාදයක්. පොඩි එකා කියන්නෙ එයාලගෙ වමේ පක්ෂයට ඡන්දය දෙන එක තමයි මේ වෙලාවෙ කරන්න තියෙන හොඳම දේ කියලා. එතකොට මායියා කියන්නේ ගමට එන පාර අබලන් හින්දයි, බෝක්කුව කැඩිලා පැත්තකින් වතුර ටික කුඹුරු යාය මැදින් යන හින්දයි ඒක හදවාගන්නට හැකි ගමේ කෙනෙකුට ඡන්දය දෙන එක වටිනවා කියලා. කොයි පක්ෂය, කොයි පාට වුණත් මේ වගේ හැම ඡන්දයකදීම ඡන්දදායකයින්ට තියෙන දැවැන්ත උභතෝකෝටිකය මේකයි. සමාජ ක්‍රමය වෙනස් කරන්න හීන දකින කට්ටිය, පවත්නා ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඡන්දය නොදිය යුතුයි කියලා හිතනවා. ඒත් එක්කම ගමේ තියෙන බෝක්කුව, පාලම හදාගන්න නම් ඒ ප්‍රධාන පක්ෂයක ගමේ හෝ අසල්වැසි ගමක නියෝජිතයා කවුරු වුණත් මනුස්සයාට හයිය දීලා වැඩේ කරගන්න බලනවා. ඉතිං මේ අරමුණු දෙකම එකට ඉටුකරගන්න කවදාවත් ඉඩ ලැබෙන්නෙ නෑ. මොකද ගමේ හෝ අසල්වැසි ගමේ එකා පත්කරගන්න ගියාම ඒකා වගකියන මහ පක්ෂයේ මහ නායකයින් බාරගන්නේ ඒක තමන්ගේ ප්‍රතිපත්ති මහ ඉහළින් පිළිඅරන් ජනතාව දෙන ජන වරමක් කියලයි. අනික් අතට සමාජ ක්‍රමයටම විරුද්ධයි කියන අයත් දෙන ලද ධනපති නීතියේ නීති රෙගුලාසි වලටම අවනත වෙලා නාමයෝජනා දීලා ඡන්දය ඉල්ලන්න ගියාම ඒ අයත් සමාජක්‍රමයටම අවනතා වුණා වෙනවා. ඒ විතරක්ම නෙවෙයි, ඒ අයට බලය තහවුරු කර ගැනීමට තරම් බලයක් නොඑන බව දන්නා නිසාම බෝක්කුව, පාලම හදාගන්න නම් ඒ අයගෙන් හැකියාවක් ලැබෙන්නෙ නැති බව දන්නා නිසාම ඒ අයට දෙන ඡන්දය අපතේ යාමක් හැටියට සලකනවා. මේ උභතෝකෝටිකය මේ කාටවත් මේ සම්මජ්ජාතියේ නම් බේරාගන්න වෙන්නේම නෑ.

"අප්පච්චි කාටද මේ සැරේ ඡන්දය දෙන්නේ?" පොඩි එකා අහනවා.

"තාම තීරණය කරලා නෑ. නාමයෝජනා බාරගත්තා විතර නොවැ" මං කීවා.

"මං නම් දැන්මම තීරණය කරලා ඉවරයි" පොඩි එකා කියනවා.

"ඒකට නොවැ ඉතිං ප්‍රජාතන්ත්‍රවාදෙ කියන්නෙ." මං කීවා.

"මේ පුතාට පිස්සු. තමන්ගෙ වටිනා ඡන්දය, ගඟට ඉණි කැපුවා වගේ අපතේ යවනවා" මායියා එහෙම කියාගෙන කුස්සිය පැත්තට ගියා.

"කොහොමත් ඉතිං කාගෙත් ඡන්ද අන්තිමට එහෙම තමයි. එහෙව් එකේ කල්තියා ඒක දැනගෙන මේ මොහොතේ අනාගතය ගැන හිතලා තීන්දුවක් ගන්න එක හොඳයි" පොඩි එකා කියනවා.

"හැමෝම අනාගතය ගැන නම් හිතනවා තමයි. ඒත් ඒ හිතන විදිහ වෙනස්" මං කීවා.

පොඩි එකා මගේ මූණ දෙස කෙලින්ම බලා නිහඬ වුණා. තමන්ට දැනෙන තැනින්, තමන් බාර ගන්නා තැනින් ඒක එහෙම තමයි. මං කරබාගෙන කාමරයට ගියා. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...