අධිකරණ පද්ධතියට කිසිවකුගේ බලපෑමක් නෑ | දිනමිණ

අධිකරණ පද්ධතියට කිසිවකුගේ බලපෑමක් නෑ

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය අද වනවිට කිසිවකුගේ බලපෑමකින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වන බව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අවධාරණය කරයි. ඒ අනුව රටේ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සතුටට පත්විය හැකි බවද ඒ මහතා පෙන්වා දෙයි.

අගවිනිසුරුවරයා මේ බව සඳහන් කළේ කොළඹ ගලදාරී හෝටලයේ දී ඊයේ (18) පැවැති අධිකරණ සේවා සංගමයේ වාර්ෂික සම්මේලනය අමතමිනි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සම්මේලනය පැවැත්විණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රියසාද් ඩෙප් මහතා පෙන්වා දුන්නේ අද වනවිට අධිකරණ පද්ධතිය තුළ ස්වාධීනත්වයක් පැවතුණ ද නඩු ප්‍රමාදයන් දක්නට ලැබෙන බවත් මේ තත්ත්වය සම්බන්ධයෙන් අධිකරණයට පමණක් චෝදනා කළ නොහැකි බවත්ය. රටපුරා සිදුවන අපරාධ ඉහළයාම, අධිකරණයන්හි ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම මෙන්ම ප්‍රමාණවත් විනිසුරුවරුන් නොමැතිවීම ආදිය මේ වෙනුවෙන් බලපා තිබෙන බවද ඒ මහතා සදහන් කළේය.

මෙවැනි කරුණු සම්බන්ධයෙන් සොයැ බැලීම සඳහා පාර්ලිමේන්තු කමිටුවක් පත්කර තිබෙන බව පෙන්වාදුන් අගවිනිසුරුවරයා එම කමිටුවට මේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් තිබෙන බවද අද වනවිට මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙන අතර ඊට සමඟාමීව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම වෙනුවෙන් පියවර ගතයුතු බවද පැවසීය.

විනිසුරුවරුන් අධිකරණය තුළ හොඳින් කටයුතු කළයුතු බව පෙන්වාදුන් ප්‍රියසාද් ඩෙප් මහතා ඒ තුළ අධිකරණය සම්බන්ධයෙන් රටේ මහජනතාව තුළ විශ්වාසයක් ගොඩනැඟෙන බවද අධිකරණවල පවතින නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීම අවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය.

මේ වෙනුවෙන් මැලේසියාවේ අධිකරණ පද්ධතිය තුළ භාවිතා වන තාක්ෂණය සම්බන්ධයෙන් අවධානය යොමු කළයුතු බව පසදහන් කළ ඒ මහතා ඒ මඟින් නඩු ප්‍රමාදයන් විශාල වශයෙන් අවමකර ගැනීමේ හැකියාව පවතින බවද ප්‍රකාශ කළේය.

අධිකරණ ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරාල, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්.එම්.ආර් අධිකාරී, අධිකරණ සේවා සංගමයේ සභාපති රංග දිසානායක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...