මස් මඩුවෙන් සෙවණගලට | දිනමිණ

මස් මඩුවෙන් සෙවණගලට

 මෙරට ගව සම්පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් රාජ්‍ය මට්ටමින් විවිධ අණ පනත් නිකුත් වි ඇති නමුත් ඒවා කුමන අයුරකින් ක්‍රියාත්මක වෙනවාද යන්න කිසිවකුත් නොදනී. මේ නිසාම ගව සම්පත ආරක්ෂා කරගැනීම උදෙසා භික්ෂුන් වහන්සේ මෙන්ම විවිධ සිවිල් සංවිධානද පෙරට ආ අවස්ථා එමටය. ඒ අතරේ රට පුරා විටින් විට ගව ඝාතනයට එරෙහිව පෙළපාලි, උද්ඝෝෂණ සහ පා ගමන්ද හිසේ කෙස් ගාණට පැවැත් වී තිබේ. අදටද එහි අඩුවක් නොමැත. ගව ඝාතනය නතර කරන්නැයි ඉල්ලා දළදා වහන්සේ ඉදිරිපිට දී භික්ෂූන් වහන්සේනමක් සිය සිරුරට ගිනි තබාගෙන අපවත් විය. මේ අයුරින් විවිධ සටන් පාඨ කියමින් විවිධ පෙළපාලි යමින් ගව ඝාතනය නතර කරන ලෙසට සියලු රජයන් වෙත විවිධ පාර්ශ්ව ඉල්ලීම් කළද ගව ඝාතනයේ නම් අඩුවක් නැත.

මේ නිසා තමන් විසින් ඒ සඳහා යමක් කළ යුතුය යන්න අදිටන් කරගත් රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක ඕමල්පේ සෝභිත නාහිමියන් වහන්සේ සිය දායක දායිකාවන්ගේ ද සහාය ඇතිව මරණයට කැප වූ ගවයින් මුදාගෙන දුප්පත් පවුල් වෙත ලබාදීමට පළමුවෙන්ම ආරම්භ කෙරුණේ 2004 වර්ෂයේදීය.

මෙලෙස උන්වහන්සේට ලැබෙන පුදපඩුරු සහ දායක දායිකාවන්ගේද සහාය ඇතිව මස් කඩයට යන ගවයින් මුදා ගැනීම දිගින් දිගටම සිදු කරගෙන ආවේ උදාර වූ අරමුණු තුනක්ද ඇතිවය. මෙලෙස මරණයට කැපවූ ගවයින් මුදා ගැනීම දිගින් දිගටම සිදු කරගෙන ආ උන්වහන්සේ ගවයින් වෙනුවෙන් ගව අනාථාගාරයක් ඉදිකිරීමටද සිහින දැක්කේය. ඒ සිහිනය මල්ඵල ගන්වන්නට උන්වහන්සේට ඒ හැටි කාලයක් ගත නොවුණේ අරමුණ උදාර වූ නිසාවෙනි. ඒ අනුව සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ අක්කර 100ක භුමි භාගයක මෙම ගව අනාථාගාරය ඉදිකිරීමට උන්වහන්සේට හැකි වූයේ විදේශීය දානපතියන්ගේද සහාය ඇතිවය. 2008 වසරේ මාර්තු මස 05 වන දින ලොව ප්‍රථම ගව අනාථාගරය ලෙසින් මෙය විවෘත වූයේ ගවයින් 80 දෙනකුගෙන් යුතුවය.

මෙම ගව අනාථාගාරය පිළිබඳව අදහස් දැක්වූ එහි නිර්මාතෘ රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක, සිංගප්පුරුව හා මැලේසියාවේ පිහිටි බෞද්ධ මධ්‍යස්ථානාධිපති, ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනාධිපති, ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමියන් වහන්සේ - "මහත්තයෝ ගව ඝාතනය නවත්වන්න කියලා මම දන්න කාලේ ඉඳලා මේ රටේ හාමුදුරුවරු විවිධ සිවිල් සංවිධාන කොතෙකුත් නම් විරෝධතා පා ගමන් පවත්වලා ඇති. නමුත් අපි දන්න තරමින් මේ වෙනුවෙන් පැහැදිලි යමක් වෙලා නැති තරම්. දිනෙන් දින හරක් මස් කඩවලට මරන්න ගෙනියන ගවයින් සංඛ්‍යාව වගේම දිනකට ඝාතනය වෙන ගවයින් සංඛ්‍යාව දිහා බැලුවම පුදුම හිතෙනවා. මේක බෞද්ධ රටක්ද කියලා හිතෙනවා. මේ නිසා තමයි මං ගව අනාථාගාරයක් හදන්න ඕනේ කියලා තීරණය කළේ. ඒ අනුව තමයි කොවුල්ආරේ අක්කර 100ක භූමි භාගයක් ලබාගෙන ගව අනාථාගාරය පටන් ගත්තේ. මේකේ ඉන්න ගවයින් පිළිබඳව අපි නිතරම සොයා බලනවා. අඩුම තරමේ මේ ඉන්න ගවයින්ගෙන් කිරි ටිකක්වත් අපි ගන්නේ නෑ. මේ සතුන්ට අවශ්‍ය බෙහෙත් හේත් ලබාදීම පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරතුරුවම සිදු කරනවා. මේ ඉන්න සතුන්ගෙන් නීරෝගී සතුන් පමණක් පශු වෛද්‍යවරුන්ගේ නිර්දේශයෙන් පසු අසරණ පවුල් වෙත ලබා දීමට අපි කටයුතු කරනවා. ලෙඩ දුක් තියෙන සතුන්ට මේ අනාථාගාරයේ රැඳී සිටීමට අවශ්‍ය පහසුකම් අපි සලසා දෙනවා. මේ දවස්වල අපි මේ සතුන්ට නොතෙමී ඉන්න පුළුවන් ස්ථානයකුත් සකස් කරමින් යනවා. මිනිස්සු නොතෙමී ඉන්න අකමැති වගේම සතුනුත් කැමතියි නොතෙමි ඉන්න. ලෝකේ කොහේවත් මේ විදියේ ගව අනාථාගාරයක් නෑ. තියෙන්නේ ගොවි පොළවල් විතරයි. මෙහි ඉන්න සතුන් මැරෙනකම්ම කන්න බොන්න දිලා, ලෙඩට දුකට බෙහෙත් දීලා බලා ගන්නවා. ඒකයි මෙහි තියෙන වෙනස."

2008 වසරේ ඉඳලා අද වෙනකොට දිවයින පුරා වැඩසටහන් 195ක් පවත්වලා කිරි ගවයින් 9680 දෙනකු අඩු ආදායම් ලාභී පවුල් වෙත ලබා දී තිබෙනවා. ගව ප්‍රතිලාභීන් දකුණු අත පපුවට තබා ගවමස් නොකන බවටත්, තමා වෙත ලැබෙන එළදෙන ආරක්ෂා කරන බවටත් ප්‍රතිඥා දිය යුතුයි. එහෙමයි අපි මේ ගවයින් බලාගන්න ජනතාවට ලබා දෙන්නේ. මේ දෙන එක් කිරි ගවයෙක් සඳහා අවම වශයෙන් වැය කෙරෙන මුදල රු. 20,000ක් පමණ වෙනවා. මරන්න මස් කඩයට ගෙන ගියාම ඒ අය කිය කිව්වත් අපි ඒ ගාණ දෙන්න ඕනේ. එහෙම නිදහස් කරගන්න සතුන් තමයි ජනතාවට බෙදා දෙන්නේ.

රටේ ඉන්න සියලුදෙනා මේ පින්කමට එකතු වුණොත් ගව සම්පත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්. මේ සඳහා මට මගේ දෙස් විදෙස් දායක දායිකාවන්ගෙන් පුදුම සහායක් ලැබෙනවා යැයි උන්වහන්සේ අපත් සමඟ පැවසීය.

කිරිගවයින් නිදහස් කිරීමේ සම්බන්ධීකාරක, ඇඹිලිපිටිය බෝධිරාජ මහ පිරිවෙන්හි නියෝජ්‍ය පරිවේනාධිපති විජයවියේ විමල ස්වාමීන් වහන්සේ - "අපේ ඕමල්පේ නායක හාමුදුරුවන් වහන්සේ මරණයට කැපවූ ගවයින් බේරාගැනීම වෙනුවෙන් පුදුම වෙහෙසක් මහන්සියක් දරනවා. මේ වෙනකොට මරණයට කැපවු ගවයින් 9680කුට පමණ උන්වහන්සේගේ මැදිහත් විම ඇතිව අභයදානය හිමි වෙලා තියෙනවා. උන්වහන්සේ හැමදාමත් කිව්වේ ගව සම්පත කියන්නේ අපිට තියෙන වටිනාම සම්පතක් කියලයි. ඒ වෙනුවෙනුයි උන්වහන්සේ සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ ගව අනාථාගාරයක් ආරම්භ කළේ. මරණයට කැපවුණු ගවයින්ගේ ජිවිතය රැක ගැනීමට, අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරිමට හා විදේශීය කිරිපිටි භාවිතය නවත්වාලිම වෙනුවෙනුයි මෙය ආරම්භ කළේ.

ගවයින්ට අභය දානය දීමේ වැඩසටහනට ඕනෑම පින්වතකුට ද සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම මේ කටයුත්ත සඳහා බෝධිරාජ පදනමේ ලේකම්, විද්‍යාවේදී, ආචාර්ය අශෝක කන්නංගර හා ප්‍රසාත් මහත්වරු ඇතුළු අපේ දායක දායිකාවන් රැසක්ද විශාල සහායක් දක්වනවා".

රටේ නන් දෙස මරණයට කැපවෙන ගවයින්ට අභයදානය දීමෙන් පසු ඔවුන් රැගෙන විත් කොවුල් ආර පිහිටි ගව අනාථාගාරයට යොමු කරනු ලබයි. අක්කර 100කින් සමන්විත මෙම ගව අනාථාගාරයේ අක්කර 35ක භුමි භාගයක් වෙන් කර ඇත්තේ ගවයින්ගේ ආහාර වෙනුවෙන් තණකොළ වැවීම සඳහාය. මෙහි දිනපතා සේවකයින් සිවු දෙනකු වැඩ කරන අතර ඔවුන්ට පැවරී ඇත්තේ දිනපතා ගවයින්ට ආහාර, ජලය ලබා දීම හා ඔවුන්ට රැකවරණය ලබා දීමයි. එමෙන්ම නිරන්තරයෙන් මේ ස්ථානය මෙන්ම ගවයින් ඕමල්පේ සෝභිත නාහිමියන්ගේ අධික්ෂණයටද ලක්වෙයි. මේ වන විට අභයදානය හිමි වූ ගවයින් තුන්සියයක් පමණ මෙහි රඳවා ඇති අතර ඔවුන්ට දිනපතා රු. 5000ක මුදලක් වියදම් කර පිටතින්ද තණකොළ සැපයීම සිදු කරනු ලබයි.

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් රැගෙන එන ගවයින් මෙම ස්ථානයට එක් රැස් කිරීමෙන් පසු මාසිකව අඩු ආදායම් ලාභීන්ට ලබා දෙනු ලබයි.

මේ කටයුත්ත සඳහා දායක වීමට යම් අයෙක් කැමැත්තෙන් සිටී නම් පහත දුරකතනවලට ඇමතීමෙන් ඒ සඳහා සහභාගි විය හැකිය. 077-6564124 - බෝධිරාජ පදනමේ ලේකම් අ‍ශෝක කන්නංගර මහතා හෝ කිරිගවයින් නිදහස් කිරීමේ සම්බන්ධීකාරක 0771060262 විජයවියේ විමල හිමි.

සටහන සහ ඡායාරූප
සුරියවැව නුවන් ජයසේකර 

 

නව අදහස දක්වන්න