විදුලිබල මණ්ඩලය ශූරතාව දිනයි: ශූරියෝ ගුවන් හමුදාවෙන් | දිනමිණ

විදුලිබල මණ්ඩලය ශූරතාව දිනයි: ශූරියෝ ගුවන් හමුදාවෙන්

පිරිමි ශුරතාව දිනා ගත් විදුලිබල මණ්ඩල කණ්ඩායමේ නායකයා සහ කාන්තා ශුරතාව දිනා ගත් ගුවන් හමුදා කණ්ඩායමේ නායිකාව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා අතින් ශූරතා ලබා ගත් අයුරු.

ටී.කේ.මහින්ද වැලිගම සමූහ සෙනෙවිරත්න කහටපිටිය බොරලැස්ගමුව සමූහ

ජාතික තරුණ සේවා සභාව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික රූපවාහිනිය එක්ව 31 වැනි වරට සංවිධාන කරනු ලැබු "තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තරගාවලියේ සුපර්ලීග් අවසන් තරගයෙන් ජයගැනීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත්වූ අතර කාන්තා ශුරතාව ගුවන් හමුදාවට හිමි විය.

මහරගම තරුණ මධ්‍යස්ථාන ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පසුගියදා නිමාවට පත්වූ මේ තරගාවලියේ සුපර්ලීග් අවසන් මහා තරගය ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර විදුලිබල මණ්ඩලය හා යුධහමුදාව අතර දෝලනය වන තරගයක් බවට එය පරිවර්තනය විය. ශිල්පීය ක්‍රම මැනවින් උපයෝගී කර ගත් මේ තරගය විදුලිබල මණ්ඩල පිල ලකුණු 15-25, 22-25, 25-23, 26-24 සහ 18-16 ලෙස නිමාව සටහන් වූ අතර ඒ අනුව වට 3-2 ක් ලෙස ජය හිමි කරගනිමින් පළමුවරට තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් ශුරතාව දිනා ගැනීමට විදුලිබල මණ්ඩල කණ්ඩායම සමත් විය.

උණුසුම් මුහුණුවරක් ගත් කාන්තා අවසන් තරගයේ ශුරතාව අඛණ්ඩව දෙවැනි වරටත් දිනාගැනීමට ගුවන් හමුදාව සමත්වූයේ ප්‍රතිවාදී නාවික හමුදා කණ්ඩායම පරාජයට පත්කරමිනි. වට තුනකින් නිමාවට පත් වූ මේ තරගය පිළිවෙළින් 25-24, 25-23, 34-32 ක් ලෙස තීරණාත්මක අවසන් වටයේ තරගයෙන් තියුණු ජයක් ලබා ගැනීමට ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

විවෘත අංශයේ පිරිමි ශුරතාව ​සඳහා අනුරාපුර සිංහ කණ්ඩායම හා පුත්තලම දම්මිස්සර කණ්ඩායම තරග වැදුණු අතර 25-19.26-28,23-25, 25-18,15-7 ක් ලෙස ශුරතාව දිනා ගැනීමට නාත්තන්ඩිය දම්මිස්සර

යොවුන් සමාජ කණ්ඩායම සමත් විය. කාන්තා විවෘත ශුරතා අවසන් තරගය මීට පෙර පවත්වා තිබිණි.

කෑගල්ල බෝයගමුව සුපර්සෙවන් හා පුත්තලම මාඔස්සාඔය රතනපාල කණ්ඩායම් අතර පැවැති එම තරගයෙන් 3 -0 ලෙස බෝයගමුව සුපර්සෙවන් ශුරතාව දිනා ගත්තේය.

සමස්ථ තරගාවලියට දිවයිනේ සියළු දිස්ත්‍රික් නියෝජනය කරමින් කණ්ඩායම් 2000 කට වැඩි ප්‍රමාණයක් සහභාගිවීම කැපී පෙනුණි.

ශ්‍රී ලංකා වොලි‍බෝල් සම්මේලනයේ සභාපති පුනර්ජීවන හා බලශක්ති ඇමැති රංජිත් සියඹලාපිටිය, ජාතික තරුණ සේවා සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ එරන්ද වැලිඅංගේ, ජාතික රූපවාහිනී සාමන්‍යධිකාරී අධ්‍යක්ෂ ජනරාල් නිතිඥ තුසිර මැලැව්වේතන්ත්‍රී, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් ඒ.එස් නාලක, ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂවරුන් වන ජගත් අධිකාරී සහ සුනිල් කරුණාරත්න මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ තරගාවලිය පැවැත්විණි. 

 

නව අදහස දක්වන්න