පොත් බෙදීම! | දිනමිණ

පොත් බෙදීම!

 මැතිවරණ නීති අකුරට ම ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබේ. අප එසේ කියනුයේ මාතලේ සිද්ධිය හා තවත් සිදුවීම් කිහිපයක් පාදක කරගෙන ය. මාතලේ සිද්ධිය සම්බන්ධයෙන් නම ගෑවී ඇත්තේ නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේය. ලක්ෂ්මන් වසන්ත පෙරේරා පදනම මාතලේ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක දී පාසල් පොත් හා උපකරණ බෙදාදීමේ උත්සව සංවිධාන කර තිබිණි. මාතලේ, ගලේවෙල හා ලග්ගල යන නගරවල දී මේ උත්සව පැවැත්වීමට සියල්ල සංවිධාන කර තිබිණි. එය ප්‍රචාරාත්මක වැඩසටහනක් බව අමුතුවෙන් කිව යුතු නැත. මේවා පළාත් පාලන මැතිවරණයේ ඡන්දයට බලපාන බවද අමුතුවෙන් කිව යුතු නැත. අදාළ උත්සව වහාම නවත්වා ඇත.

මැතිවරණ කොමිසම නීතිය අකුරට ම ක්‍රියාත්මක කරන බව සාමාන්‍ය ජනතාවට දැනෙන්නට පටන් ගත්තේ පසුගියදා ප්‍රතික්ෂේප වූ නාම යෝජනා ලැයිස්තු සම්බන්ධ සිද්ධියත් සමඟ ය. නිවැරැදි ලෙස පුරවා නැති ඉල්ලුම් පත්‍ර මෙන් ම නියමිත ලෙස භාර නොදුන් නාම යෝජනා පත්‍ර ද 24ක් ප්‍රතික්ෂේප විය. මෙය රටට ලබා දුන් මහඟු ආදර්ශයක් ලෙස ද සලකන්නට පුළුවන. මැතිවරණයක් යනු රටේ පාලනයට සම්බන්ධ ප්‍රධාන සංසිද්ධියකි. තව අතෙකින් එය මහජන මතය ප්‍රකාශ වන ප්‍රධාන අවස්ථාවකි. මේ දෙක ම රටේ පවත්නා නීතියට අනුව යුක්ති සහගත ලෙස සිදුවිය යුතුය. දේශපාලන ඉතිහාසය ගතහොත් බොහෝ අවස්ථාවල දී එය යුක්ති සහගත ලෙස සිදුවී නැත. දැන් මෙය වෙනස් වී තිබීම හැම අතින් ම යහපත් ය.

මාතලේ සිද්ධියෙන් තවත් කරුණු දෙකක් පැහැදිලි වෙයි. ඉන් එක කරුණක් වන්නේ මැතිවරණ කොමිසම රජයට හෝ රජයේ පාර්ශ්වයට හෝ නම්‍යශීලී බවක් නැතහොත් පක්ෂපාතී බවක් දක්වන්නේ නැති බව ය. ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා රජයේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැතිවරයා ය. ඔහුට ද නීතිය ක්‍රියාත්මක වී ඇත. මෙයින් පැහැදිලි වන අනෙක් කරුණ වන්නේ මැතිවරණ කොමිසමට බලපෑම් කිරීමට රජය ඉදිරිපත් වී නැති බව ය. ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා හෝ සිද්ධිය වෙනතකට ගෙන යන්නට උත්සාහ දරා නැත. බලපෑම් සිදු කර නැත. මේ සියල්ල සිදු වන්නේ මැතිවරණ කොමිසම බලගැන්වීම නිසා යැයි සිතන්නට පුළුවන. කොමිසම බලගැන්වූයේ වත්මන් ආණ්ඩුව යි.

රාජ්‍ය බලය, පොලිස් බලය, පිරිස් බලය, සල්ලි බලය මැතිවරණ සඳහා යොදාගත් ආකාරය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී හොඳ හැටි අත්දකින්නට ලැබිණි. එදා සිදු වූ බලවත්ම වරද වන්නේ මහජන මුදල් මැතිවරණ ජයග්‍රහණය සඳහා වක්‍ර ලෙස යොදා ගැනීම ය. බැසිල් රාජපක්ෂ මහතා ජනපතිවරණය සඳහා දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදලින් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කළේ ය. එම ලිත්වල ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක් ද මුද්‍රණය කර තිබිණි. මීට අදාළ නඩුව දැන් විභාගවෙයි. මේ සමයේ සිල් රෙදි බෙදාදීමක් ද සිදු විය. සිද්ධියට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දෙදෙනාට සිරබත් කන්නට සිදු විය. ඒ මහජන මුදල් අවභාවිත කිරීම නිසා ය.

තවත් සිදුවීම් ගණනාවක් කෙරෙහි මැතිවරණ කොමිසමේ අවධානය යොමු වී ඇත. පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා භාරගත් අවසන් දිනයේ ස්ථාන ගණනාවක දී නීති විරෝධි පෙළපාලි පවත්වා ඇතැ’යි කොමිසමේ සභාපතිවරයා වෙත පැමිණිලි ලැබී ඇත. එදින ම මාතලේ නගරයේ රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති ඝෝෂා කර ඇතැ’යිද, එය අ.පො.ස.සා/පෙ. විභාග අපේක්ෂකයන්ට බලවත් හිරිහැරයක් වී ඇතැ’යිද පැමිණිලි ලැබී තිබේ. මේ සම්බන්ධයෙන් වහා ම වාර්තාවක් ලබා දෙන ලෙස කොමිසමේ සභාපතිවරයා පොලිස්පතිට දන්වා ඇත. විශේෂයෙන්; මැතිවරණ පැවැත්වීම දරුවන්ගේ අධ්‍යාපනයට බාධාවක් නම්; ඒ ගැන දැඩි අවධානක් යොමු කළ යුතු ය. ජනාධිපතිවරයා වරක් කියා සිටියේ ප්‍රසිද්ධ විභාග පැවැත්වෙන අවස්ථාවල දී මැතිවරණ කටයුතු යොදාගැනීම නො කළ යුතු බව ය.

පළාත් පාලන මැතිවරණයේ උණුසුම් සිදුවීම් ද වාර්තා වන්නට පටන්ගෙන තිබේ. හොරණ ප්‍රදේශයේ දී නාම යෝජනා ලැයිස්තුවක් පැහැරගෙන ගොස් ඇත්තේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුගේ බෙල්ලෙන් අල්ලා ඔහු යටත් කරගැනීමෙන් පසු ය. පක්ෂය කුමක් වුව මෙබදු සිදුවීම් සාධාරණ මැතිවරණයකට බාධාව කි. ඇතැම් පක්ෂ හා දේශපාලන ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ සිය මැර බලය මොනවට ප්‍රදර්ශනය කරමින් ය. විශේෂයෙන් නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී විවිධ ගැටුම් ඇතිවීමට පුළුවන. මේවා ගැන පොලීසිය ද සෙවිල්ලකින් පසු විය යුතුය. මැතිවරණ කටයුතුවලට අදාළ වෙන ම පොලිස් ඒකකයක් ද පිහිටුවා ඇතැ’යි කියති. එම ඒකකය මේවා ගැන අවදියෙන් සිටිය යුතු ය. නාම යෝජනා ලැයිස්තුවක් පැහැරගෙන යෑම යනු බරපතළ සිද්ධියකි. ඊට සමාවක් තිබිය නො හැකිය.

පක්ෂ මාරු කිරීම, අලුත් සාමාජිකයන් බඳවා ගැනීම හා දේශපාලනයට බලපාන තවත් බොහෝ දේවල් සිදුවෙමින් පවතී. ඒවා නැවැත්විය හැකි දේවල් නොවේ. දේශපාලනය සම්බන්ධයෙන් තීරණ ගැනීම අතිශය පෞද්ගලික කාරණයක් සේ සැලැකිය හැකි ය. ඊට නිදහස තිබිය යුතුය. එහෙත් මේවා සිදුවිය යුත්තේ නීතියට අනුව ය. මැතිවරණ නීති වෙන ම පවතී. රටේ පොදු නීතිය වෙන ම පවතී. මේ දෙක ම ක්‍රියාත්මක බව ද සියලු දෙනා මතක තබා ගත යුතුය. මැතිවරණයට මුවා වී කෙනකුගේ චරිත ඝාතනයට ඉඩක් ලබාදිය යුතු නැත. එහෙත් මේ දිනවල එය සිදුවන්නට පුළුවන. මැතිවරණ කාලයේ දී සාරධර්ම අමතක වෙයි. ආචාර ධර්ම අමතක වෙයි. එය අන්තිම භයානක ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ක්‍රියා කලාපය අගය කළ හැකි ය. ඔහු හැම අතකින් ම සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උත්සුක වන බව පෙනී යයි. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සුබදායක ය. යහපාලනයටත් සුබදායක ය.

නව අදහස දක්වන්න