සිත තුටින් පුරවන නත්තලේ සංකේත | දිනමිණ

සිත තුටින් පුරවන නත්තලේ සංකේත

ගවලෙන් සම්ප්‍රදාය ඇතිකිරීමට මුල් වූවායි සැලකෙන්නේ අසීසියේ සාන්ත ෆ‍්‍රැන්සිස් මුනිතුමායි. එතුමා ශුද්ධෝත්තම පියතුමාගේද අවසර ගෙන ජීවමාන මිනිසුන් සහ සතුන් යොදාගෙන 1223 නත්තල් රැයේ ඉතාලියේ එතුමාගේ දේවස්ථානය පිටත පළමු ගවලෙන නිර්මාණය කළේය. මේ අදහස ඉතා ඉක්මණින් ලෝ පුරා ව්‍යාප්ත විය. සමහර රටවල ගවලෙන සඳහා ලී කැටයම් පවා උපයෝගි කොට ගත් බව කියවේ. නත්තල් දින සන්ධ්‍යාව වනතුරු ජේසු බිළිඳාව ගවලෙනේ නොතැබූ අතර රජතුන් කට්ටුව ගවලෙනේ තබන ලද්දේ රජතුන් කට්ටුවේ ( ජේසු බිළිඳුන් රජුන්ට ප්‍රත්‍යක්ෂ වීමේ) මංගල්‍යය දින දී ය.

නත්තල් ගස

අද පවතින පිළිගැනීම අනුව නත්තල් ගස සමාජයට එකතු වූයේ 16 වන සියවසේ දී පමණ ජර්මනියෙනි. එනමුත් නත්තල් ගසේ ආරම්භය පිළිබඳ විවිධ ජනප්‍රවාද ජර්මනියෙන්ම අපට දැනගන්නට ලැබේ.

ජේසුතුමාගේ උපතටත් පෙර සිටම සිසිර කාලයේ දී ජර්මානු වැසියන් නොයෙකුත් උත්සව අවස්ථා සඳහා සදාහරිත ශාක සැරසීම කර ඇත. සාන්ත බොනිෆස් තුමා ජර්මනියේ සිටි මිෂනාරිවරයෙකි. එතුමා නත්තල් ගසේ ලක්ෂයන් 3 (ත්‍රිකෝණාකාර) ශුද්ධවූ ත්‍රීත්වයට සමාන කර තිබේ. එක් ජනප්‍රවාදයක පැවසෙන අන්දමට දෙවියකු ලෙස ඕක් ගසට වැදීම් පිදීම් කරන පිරිසක් ළමයකු බිලිපූජා කිරීමට යන අවස්ථාවේ දී ඒ පිළිබඳ සාන්ත බොනිෆස් තුමාට දැනගන්නට ලැබී ඇත. දරුවාව බේරා ගැනීමට බොනිෆස් මුනිතුමා එම ඕක් ගස කපා බිම හෙලා ඇත. ගස බිම පතිත වෙත්ම එයින් සුදු ලොම් සහිත අතු ඇති ගසක් මතුවී ඇති අතර බොනිෆස් මුනිතුමා මෙය ඇදහිල්ලේ සංකේතය ලෙස හඳුන්වා ඇත. මෙමගින් සංකේතවත් වන්නේ අසත්‍ය දෙවිවරුන් වෙනුවට කිතුදහම පැමිණි ආකාරයයි.

16 වන සියවසේ දී මාර්ටින් ලූතර් නත්තල් දින සැඳෑ මෙහෙයකින් අනතුරුව නිවස බලා එමින් සිටිය දී සදාහරිත ශාක අතුරින් ගලා ආ තරු එළිය දැක පුදුමයට පත් වී ඇත. එම ආලෝකය දැකීමෙන් ජේසුස් වහන්සේව ඔහුගේ සිතට පැමිණ තිබේ. ඔහු එම ගසෙන් අත්තක් නිවසට ගෙන ගොස් ඔහු දුටු එම චමත්කාර දර්ශනය පුනරාවර්ජනය කිරීමට, එහි දැල්වූ ඉටිපහන් සවි කළ බව තවත් ජවප්‍රවාදයකි.

ජර්මනියේ සෑම වසරකම දෙසැම්බර් 24 වන දින රඟ දක්වන ලද ආදම් සහ ඒව පිළිබඳ නාට්‍යයක පාරාදීසයේ ගස ලෙස රංග භාණ්ඩයක් තිබී ඇත. සිසිරයේ දී ඇපල් ගස්වල ඵල හා පත්‍ර හට නොගන්නා නිසා සදාහරිත ශාකවල ඇපල් ගෙඩි එල්ලා ඇත. පසුකාලීනව ඇපල් වෙනුවට දිව්‍ය සත්ප්‍රසාදය සංකේතවත් කිරීමට වේෆර්ස් එල්ලා ඇත. කල්යත්ම වේෆර්ස් වෙනුවට මේවායේ රසකැවිලි එල්ලා ඇති බව කියවෙන ජනප්‍රවාදයක්ද වේ.

1800 ගණන්වල දී රෙපරමාදු සභාව, ගස කුරුස ගස ලෙසටත්, සදාහරිත ශාක සදාකාලික ජීවිතයටත් සමාන කළහ. ඔවුන් ෂාරොන්හි රෝස සිහිවන්නට එය රෝස මලින් සරසා, ජේසුස් වහන්සේ ලෝකයේ ආලෝකය බව පිළිඹිබු කිරීමට මුදුනේ දැල් වූ ඉටිපහනක් සවිකර තිබුණා යන්න අතීතයෙන් ඇසෙන තවත් ජනප්‍රවාදයකි.

 

සා. නිකුලස් මුනිතුමා

නත්තල් සමයේ දී නත්තල් සීයා යනු නැතිවම බැරි කෙනෙකි. නත්තල් සීයාගේ නම ඇසූ පමණින් අප සිහියට නැඟෙන්නේ සාන්ත නිකුලස් මුනිතුමාවයි. 4 වන සියවසේ දී තුර්කියේ උපන් එතුමා තම ළමා කාලයේ සිට ඉතා කීකරු, භක්තිමත් කිතුනුවකු විය. එසේම එතුමාගේ දෙමාපියන් මිය ගියේ එතුමාට විශාල වස්තුවක් උරුම කරමිනි. එතුමා මෙයින් දිළින්දන්ට උදව් උපකාර කිරීමට කිසිලෙසකින් පසුබට වූයේ නැත. එතුමාගේ මෙම පරිත්‍යාගශීලිභාවය නිසාම එතුමා ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්විය. නමුත් රෝමානුවෝ එතුමාව සිරගත කර නොයෙකුත් වධහිංසා පැමිණවූහ.

කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා රෝම අධිරාජ්‍යයා ලෙස පත් වූ පසු එතුමාට නිදහසේ දොර කවුළු විවර වුණි.

කොන්ස්තන්තීනු අධිරාජ්‍යයා කිතුනුවකු බවට පත්වීමෙන් පසු ක්‍රි.ව. 325 දී කැඳවනු ලැබූ පළමුවන මන්ත්‍රණ සභාවට ද සාන්ත නිකුලස් මුනිතුමා සහභාගි වූ බව කියැවේ.

සාන්ත නිකුලස් මුනිතුමා කුඩා දරුවන්ට බොහෝ සේ ආදරය කළ බව ද ඔවුන්ට උදව් උපකාර කළ බව ද ප්‍රකට කරුණකි. එබැවින් එතුමා කුඩා දරුවන්ගේ මුනිවරයා ලෙසද, නාවිකයන්ගේ, අවිවාහක යුවතියන්ගේ, බෙහෙත් කඩ හිමියන්ගේ, බේකරි කරුවන්ගේ, සිරකරුවන්ගේ, සිවලුන්ගේ ද, සිසිලියේ, ග්‍රීසියේ සහ රුසියාවේ අරක්ගත් මුණිවරයා ලෙසද හැඳින්වේ.

ඕලන්ද වැසියෝ සාන්ත නිකුලස් මුනිතුමාව ඉංග්‍රීසි බසින් ඇමතුවේ Sint Nikolaas කියාය. පසුකාලීනව මෙය Sinter klaas වී අවසානයේ දී Santa Claus බවට පත්ව ඇතැයි විශ්වාස කෙරේ.

අද අප නත්තල් සීයාව දකින්නේ රතු ඇඳුමක් ඇඳගත්, සුදු රැවුලක් ඇති, තරබාරු පුද්ගලයෙක් ලෙසටය. නමුත් සාන්ත නිකුලස් මුනිතුමාව මුල්කාලීන සිතුවම්වල දකින්න ලැබෙන්නේ කෙසඟ සිරුරක් ඇති පුද්ගලයෙක් ලෙසටය.

1809 වසරේ දී වොෂින්ටන් අර්වින් සාන්ත නිකුලස් මුනිතුමා අසු පිටින් පැමිණීම සඳහන් කර තිබේ. 1823 දී ක්ලෙමන්ට් සී. මූවර් The Night Before Christmas

ලෙස ප්‍රකට A Visit from Saint Nicholas ග්‍රන්ථය රචනා කළේය. 1860 ගණන්වල දී කාටුන් ශිල්පී තෝමස් නාස්ට් මේ සියල්ලක්ම සැලකිල්ලට ගෙන අද අප දකින නත්තල් සීයාව සිතුවමට නඟන ලදී. නත්තල් සීයාව මෙතරම් වර්ණවත් ලෙස ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතික හැඩන් සන්ඩ්ලෝම් විසිනි.

අසේල ප්‍රියංකර


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...