රේල්ලු‍ෙව් ලොක්කෝ වැඩියි | දිනමිණ

රේල්ලු‍ෙව් ලොක්කෝ වැඩියි

දුම්රිය මෙහෙයුම් අධ්‍යක්ෂ/දු. මෙ. අ. නි. වෘත්තීය සමිති කැඳවුම්කරු, ලාල් ආරියනන්ද

දුම්රිය වර්ජනය අවසන්ව ඇතත් ඒ තාවකාලිකවද යන්න පැහැදිලි නැති සේය. වර්ජනය විසින් ඇති කළ කම්පනයද තවමත් ඉතිරිව පවතී. දුම්රිය මෙහෙයුම් අධ්‍යක්ෂ, දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු, දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියනන්ද මහතා එහා ඉවුරට කැඳවුයේ එහෙයිනි.

දුම්රිය වැඩ වර්ජනය නිසා සතියක් පුරා මහජනතාව අසීරුතාවයට පත්වුණා. ඒත් ජනතාවට කන් දෙනවාට වඩා දුම්රිය සේවකයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් ඔබලා සටන් කළා. එවැනි ගැටුමක් නිර්මාණය වුණේ ඇයි?

මේ ගැටුම අද ඊයේ පටන් ගත්තු එකක් නෙවෙයි. මේ ගැටලුවට ප්‍රධාන හේතුව මතු වුණේ 6/2006 චක්‍රලේඛයේ අපි නිසි තැන නොතිබ්බ නිසයි. ඊට පස්සේ කාලයක් පුරා අපිට සටන් කරන්න සිදු වුණා. ඒ අතර යම් වැටුපක් දිනා ගන්නත් හැකි වුණා. සාමාන්‍යයෙන් රාජ්‍ය සේවයේ ප්‍රාථමික, ද්විතීක, තෘතිය, විධායක කියන ශ්‍රේණි තියෙනවා. ඒ අනුව තමයි වැටුප් තල බෙදීලා තියෙන්නේ. 2015දී කැබිනට් පත්‍රිකාවකින් අප යටතේ පාලනය වන ප්‍රාථමික මට්ටමේ සියලුම පිරිස් අපේ ද්විතීක වැටුප් තලයට ඇතුළත් කළා. ඒ නිසා තමයි අපිට මේ අරගලය කරන්න සිදු වුණේ.

ප්‍රාථමික ශ්‍රේණිය නියෝජනය කරන සේවකයින්ටත් ඔබ නියෝජනය කරන ද්විතීක ශ්‍රේණිය නියෝජනය කරන අවස්ථාව තිබිය යුතු නේ ද?

මෙතන වුණේ ඔවුන් අපේ ශ්‍රේණියට දැම්මට පස්සේ රාජකාරිය කරගෙන යන්න බැරි විදිහට බාධා ඇති වුණ එකයි. උදාහරණයක් විදිහට දුම්රිය රියැදුරෙකුට හිටපු සහයක දුම්රිය රියැදුරුවරයා එන්ජින් රියැදුරාගේ අණ නොතකා කටයුතු කරන්න ගත්තා. හැම අංශයකම මේ ප්‍රශ්නය ආවා. ඔවුන්ට අපි යම් කාර්යයක් කරන්න කිව්වම, ඔවුන් කියනවා ඕගොල්ලොයි අපියි එකම වැටුපේ ඉන්නෙ කියලා. අන්තිමේ දී අදාළ රාජකාරිය කරන්න කෙනෙක් ඉතුරු වුණේ නෑ. ඒ නිසා තමයි කියන්නේ මේක වෘත්තීය මට්ටමෙන් නිරන්තරයෙන් ගැටුම් ඇති කරන ප්‍රශ්නයක් කියලා. දුම්රියන් විශාල වශයෙන් ප්‍රමාද වෙන්නත් මේ හේතුව තමයි බලපාලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මේ අර්බුදය මඟ හරින්න අපිට තෘත්‍රික මට්ටම දෙන්න කිව්වේ. එතැනත් ඒ ශ්‍රේණියේ ඉහළ වැටුප් තලය අපි ඉල්ලුවේ නෑ, ඉල්ලුවේ ආරම්භක වැටුප් තලය විතරයි.

මේ වැටුප් තලය නොදෙන්නේ ලක්ෂ ගණනින් ඔබ නිලධාරින් වැටුප් ලබන නිසා නේ ද?

පළමුවෙන් කියන්න ඕන ඔය දුම්රිය රියැදුරෙක් ඉදිරිපත් කරලා තියෙන පඩිපතේ තියෙන්නේ මූලික වැටුප නෙවෙයි. ඒ රියැදුරාගේ පඩිපතේ සටහන් වෙලා තියෙන්නේ මාස දෙකක අතිකාල දීමනාවත් එකතු කරලා. අපිට අතිකාල කියලා දෙයක් නෑ. අපි කරන්නේ රාජකාරි ආවරණයක්. ඒ කියන්නේ එක්කෙනෙක් එනතුරු අනෙකාට යන්න බෑ. කොහොම නමුත් දැන් අපේ තියෙන වැටුප තමයි දහසය දාස් පන්සියය. තෘත්‍රික මට්ටම පටන් ගන්නේ දහසය දාස් අටසිය විස්සෙන්. මෙතැන තියෙන්නේ තුන්සිය විස්සක වෙනසක්. අපිට ඒ තුන්සිය විස්ස අවශ්‍යයත් නෑ. අපිට ඕන මේ ශ්‍රේණිය වෙනස් කරගෙන ඔළුව කෙලින් තියාගෙන වැඩ කරන්න. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු බලධාරින්ට විසඳුමක් දෙන්න බැරි වුණා. ඊට පස්සේ අපි වැටුප් කොමිසමට ගියා. එතැනදීත් සාධාරණත්වයක් ඉටු වුණේ නෑ. වැටුප් කොමිසම මාස දෙකකට පස්සේ අපි ගන්න වැටුපටත් වඩා අඩු වැටුප් තලයක තිබ්බා. ඒ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් වෘත්තිය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කළේ.

වෘත්තීය ක්‍රියාමාර්ගය අතර තුරු පාලකයන් ලබාදුන් විසඳුම්වලට ඔබ සංගම් එකඟ වුණේ නැත්තේ ඇයි?

වැටුප් කොමිසමෙන් සාධාරණත්වයක් ඉටු වුණේ නැති නිසා අග්‍රාමාත්‍ය ලේකම්වරයා මේ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරලා ගැටලුව විසඳන්න ඕන කියලා කිව්වා. ඊට පස්සේ අගමැතිවරයාගේ හා ප්‍රවාහන අමාත්‍යවරයාගේ අත්සනින් මේ වැටුප් තල වෙනස් කරලා කැබිනට් පත්‍රිකාවක් යොමු කළා. ඒ වගේම එහි, දුම්රිය දෙපාර්තමේන්තුවේ සියලුම වැටුප් ව්‍යුහයන් වෙනස් කරනවා කියලා සඳහන් වුණා. අපි මේ කාරණාවලට එකඟ වුණා. ඊට පස්සේ කැබිනට් මණ්ඩලයේ දී මේ පත්‍රිකාව දීර්ඝ කරන්න කටයුතු කළා. ඊට පස්සේ අපිට මතුවුණ ප්‍රශ්නය තමයි, දීර්ඝ කිරීමට හේතුව මොකක් ද කියලා. ප්‍රවාහන ඇමැතිවරයා මාධ්‍යයට ඇවිත් කිව්වා වෙනත් දෙපාර්තමේන්තුවක වෘත්තිය සමිතියක් මේකට විරුද්ධයි කියලා.ඒ පුද්ගලයාගේ විරෝධයට ඇයි අපේ ඒවා කල් දාන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා හෝ අගමැතිතුමා හෝ මේ ගැටලු විසඳනතුරු අපි සියලු වෘත්තිය සමිති එකතුකරගෙන වැඩ වර්ජනයට ගියේ.

වැඩ වර්ජනය ආරම්භ වුණේ, දුම්රිය රියැදුරන් බඳවා ගැනීමේ අර්බුදයක් කියලා නේද, ඊට පස්සේ නේද මේ වැටපු ප්‍රශ්නය ඉස්සරහට දා ගත්තේ?

මේක පටල ගන්න එපා. දුම්රිය රියැදුරෝ වැඩ වර්ජනය කරලා ඒ ගැටලුව නිරාකරණය කර ගත්තා. වැටුප් ප්‍රශ්නය වෙනම එකක්, වැටුප් ප්‍රශ්නයට දුම්රිය රියැදුරු සංගමය, ස්ථානාධිපතිවරු, දුම්රිය පාලකවරුන් හා දුම්රිය නියාමකවරු සම්බන්ධ වුණා. වැටුප් ප්‍රශ්නයට තමයි මේ තරම් දීර්ඝ කාලයක් අපිට වැඩ වර්ජනය කරන්න සිදු වුණේ.

දිගින් දිගටම දුම්රිය වැඩ වර්ජන නිසා මහජනතාව අසීරුතාවයට පත් වුණා. ඔවුන්ට දුම්රිය දෙපාර්තමේන්තුව ගැන කලකිරීමක් ඇති වෙලා. ඒ නිසා මේවා පුද්ගලීකරණය කරන්න ඕන කියලා කියනවා?

මෙතැන වැරැදි අර්ථකථනයක් තියෙනවා. දිගින් දිගටම වැඩ වර්ජනයක් සිදු වුණේ නෑ. අපි අවුරුදු දෙකහමාරකට පස්සේ තමයි සියලු වෘත්තිය සංගම් එකතු වෙලා මේ වැඩ වර්ජනය කළේ. අපිට තියෙන අනෙක් චෝදනාව තමයි සාමාන්‍ය පෙළ විභාගය තියෙද්දී වැඩ වර්ජන කළා කියන එක. අපි වැඩ වර්ජනය පටන් ගත්තේ හත් වෙනිදා, අපි දොළොස් වෙනිදට ඉස්සර වෙලා ආණ්ඩුව මේ ගැටලුව විසඳයි කියලා. කොහොම නමුත් අපි තීරණය කරලා තිබුණේ 11 වැනිදා විභාගයට යන දරුවන් අරන් යන්න දුම්රිය ධාවනය කරන්න. ඒත් අවාසනාවට පාලකයෝ අපිට තර්ජනය කළා. තර්ජනය කරලා කිව්වා, මේක අත්‍යවශ්‍ය සේවාවක් කියලා. ගැසට් නිවේදනයක් නිකුත් කළා. සේවය අතහැර ගියා කියලා ලිපි නිකුත් කළා. විශ්‍රාමික සේවකයන් සේවයට බඳවා ගත්තා. අපිට තර්ජනය කරලා, ගර්ජනය කරලා සේවයට වාර්තා කරන්න කියලා කිව්වා.

ආණ්ඩුව නිකුත් කළ ගැසට් නිවේදනය බලාත්මක නෑ කියලද ඔබ කියන්නේ?

අපි ඒ නිවේදනය ගණන් ගත්තේ නෑ. අපි අපේ වෘත්තීය සමිති අරගලය දිගටම කරගෙන ගියා. අපේ සාමාජිකයෝ සියල්ලම එකහෙළා කිව්වා, අපේ සටන අත්හරින්න බෑ කියලා. ඒ නිසා අපි අපේ එකමුතුවෙන් සටන ඉස්සරහට අරන් ගියා. අපි ජනාධිපති ලේකම්වරයාට පැහැදිලිව කිව්වා සාමාන්‍ය පෙළ ළමයි හින්දා අපිට වැඩට යන්න ඕන, මේ ප්‍රශ්නයට මොකක් හරි විසඳුමක් දෙන්න කියලා. එතකොට එතුමා කිව්වා සාමාන්‍ය පෙළ අපිට අදාළ නෑ කිව්වා. මව්පියෝ සල්ලි දීලා දරුවන් ටියුෂන් අරන් යනවා නම් ඒ අය විභාගයට ගෙනියන්නත් දැන ගන්න ඕන කියලා තමයි ලේකම්වරයා කිව්වේ. මේ ප්‍රශ්නය මේ තරම් දිග දුර ගියේ පාලකයන්ට මේ ප්‍රශ්නය විසඳන්න වුවමනාවක් නොතිබුණ නිසයි.

අත්‍යවශ්‍ය සේවාවක් විදිහට දුම්රිය සේවය පත් කරනවාට විරුද්ධයි ද?

අපි විරුද්ධ නෑ. මේ ගැසට් නිවේදනයෙන් අපේ රාජකාරියට කිසිසේත් බාධාවක් එල්ල වෙන්නේ නෑ. අත්‍යවශ්‍ය සේවා රාජකාරියක් කළාම කරන්න පුළුවන් එකම දේ තමයි අපගේ රාජකාරිය වෙනුවට වෙනත් පුද්ගලයෙක් යෙදවීම. නමුත් මේ වැඩවර්ජනයට එකතු වුණ පුද්ගලයන්ට වෙනත් පුද්ගලයෙක් ආදේශ කරන්න බෑ. ඒ කියන්නේ දුම්රිය රියැදුරෝ පුහුණු කරලා නෑ, පාලකවරු නෑ, දුම්රිය ස්ථානාධිපතිවරු නෑ. ගහෙන් ගෙඩි එන්නා වගේ මේ තැන්වලට කවුරුත් දාලා කරන්න බෑ. මේ අත්‍යවශ්‍ය සේවා කියන දේ අපට කොහොමවත් බලපාන්නේ නෑ.

කොහොම නමුත් මගී ජනතාවට ඇපයට තබා ගනිමින්, ඒ වගේම මහජනතාවට බිල්ලට තබමින් අසාධාරණ වැටුප් ඉල්ලීම් කරනවා කියලා විද්වතුන් පෙන්වා දෙනවා?

අපිට එල්ලවන චෝදනාව තමයි මගී ජනතාව අපහසුතාවයට පත් කරලා වැඩ වර්ජන කරනවා කියන එක.අපි හය වෙනිදා පටන් ගෙන හත්වැනිදා දුම්රිය වර්ජනය කළා නම් එහෙම කිව්වට කමක් නෑ, මේ ප්‍රශ්නය එන්නේ 2006 ඉදලා. අපි 2015ත් මේ ගැන මතක් කළා. මේ ප්‍රශ්නය කියන්න ඕන හැමෝටම කිව්වා, යන්න ඕන හැම තැනම ගියා. ඒත් අපිට කවුරුත් ඇහුම්කන් දුන්නේ නෑ. මේ මහජන පීඩාව ගැන ආණ්ඩුව භාර ගන්න ඕන.

දුම්රිය දෙපාර්තමේන්තුව වැනි පාඩු ලබන ආයතනයක් එවැනි තත්ත්වයක් තුළ තිබියදී මෙවැනි වැටුප් වැඩිවීම් ඉල්ලා වර්ජනය කිරීම අසාධාරණයි නේද ?

අපි වැටුප් වැඩිවීම් ඉල්ලුවේ නෑ. දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන්න නම් වැඩ කරන සේවකයෝ සතුටින් ඉන්න ඕන. ඒ වගේම ඔවුන්ට නිදහසේ රාජකාරි කරන්න ඉඩ දෙන්න ඕන. දැන් වෙලා තියෙන්නේ දුම්රිය සේවයේ නියතු සියලු මට්ටම්වල සේවකයෝ එකට දාලා අනලා වැඩේ අවුල් කරලා. දැන් ඔක්කොමලා ලොක්කො. වැඩ කරන්න කවුරුත් නෑ. අපි කරපු වැඩ වර්ජනය කළේම මෙන්න මේ ගැටුම විසඳගන්න. අපිටත් ඕන දුම්රිය දෙපාර්තමේන්තුව ලාභ ලබන තැනට ගෙන යන්න. එහෙම නැතිව දෙපාර්තමේන්තුවට ලාභ ලබන්නවත්, පාඩු කරන්නවත් හිතාගෙන අපි වැඩ වර්ජනයට ගියේ නෑ. හොඳ මානසිකත්වයකින් සේවය කරන්න හැකි පරිසරයක් හදලා දෙන්න කියලා කියන්නයි වැඩ වර්ජනය කළේ.

ජනාධිපතිවරයා කැබිනට් අනුකමිටුවක් දාලා ගැටලුව නිරාකරණය කරන්න සාකච්ඡා කළා නේ ද?

කැබිනට් අනුකමිටුවට මේ ගැටලුව සර්ව සාධාරණ විඳිහට විසඳන්න එකඟ වුණා. අපි ස්තූති වන්ත වෙනවා ජනාධිපතිතුමාට කැබිනට් අනුකමිටුවක් පිහිටවපු එකට. ඒ වගේම අපි හිතුවටත් වඩා සාධනීය විසඳුමකට යන්න රාජිත සේනාරත්න ඇමැතිතුමා මැදිහත් වුණා. අකිල විරාජ් ඇමැතිවරයාත් එහෙමයි. අපට විශ්වාස කරන්නත් බැරි ආකාරයට සරත් අමුණුගම මහතාත් මේ ප්‍රශ්නය විසඳන්න ඕන කියන තැන හිටියා. අපි නොඉල්ලපු විසඳුමක් පවා දෙන්න කැබිනට් අනුකාරක කමිටුවට පුළුවන් වුණා. ඒ ගැන වෘත්තීය ක්‍රියාධරයන් විදිහට අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා. මේ අර්බුදයෙන් පස්සේ සෞඛ්‍ය, අධ්‍යාපනය, දුම්රිය කියන දෙපාර්තමේන්තු තුනම සංවෘත්ත දෙපාර්තමේන්තුවක් බවට පත් කරනවා කිව්වා. එහෙම කළාම අපේ වැටුප් වැඩිවීම් අනෙකුත් දෙපාර්තමේන්තුවලට ප්‍රශ්නයක් වෙන්නේ නෑ.

කොහොම නමුත් වර්ජනය අතරතුර දුම්රියන් කීපයක් ධාවනය වුණා. විශ්‍රාමික හා දුම්රිය සහයක රියැදුරෝ ධාවනය කළා කියලයි ආරංචි වුණේ. කොහොම ද ඒක වුණේ?

විශ්‍රාමික දුම්රිය රියැදුරෝ ආවේ නෑ. දුම්රිය රියැදුරු සංගම් 3ක් තියෙනවා. ඒ තුනෙන් දෙකයි වැඩ වර්ජනයේ හිටියේ. අපේ වැඩ වර්ජනය යන අතරතුර අධීක්ෂණ කළමනාකරුවන්ගේ වෘත්තීය සමිති සන්ධානය අපේ වැඩ වර්ජනයට සහයෝගය දෙනවා කියලා කිව්වා. අපි කිව්වා, ඒ අයට කැමැති දෙයක් කරන්න කියලා. කොහොම හරි ඔවුන් වැඩ වර්ජනයෙන් ඉවත් වෙනවා කියලා මාධ්‍ය වාර්තා පළ වුණා. ඔවුන් වැඩ වර්ජනයට ආව අය නෙවෙයි. අපි ඔප්පු කරලා පෙන්වනවා කොළමට ආව ගිය දුම්රිය ගණන 13ක් හෝ පහළොවක් කියලා.

ජනතාව රජයට කියනවා දුම්රිය දෙපාර්තමේන්තුව පුද්ගලීකරණය කිරීමකට හෝ අර්ධරාජ්‍ය සේවයකට යටත් කරන්න කියලා ඒ ගැන ඔබ මොකක් ද කියන්නේ?

අද ජනතාවට ලැබෙන දුම්රිය සේවය ලබා ගන්න පුද්ගලීකරණය කළොත් අවස්ථාව ලැබෙන්නේ නෑ. අනෙක් කාරණය තමයි මේක කවුරුහරි ගන්න එනවා නම් එන්නේ මේ සම්පත් විකුණාගෙන කන්නයි. වෙන අරමුණක් නෑ. මේක අධිකාරියක් කරන්න යනකොටත් අපි දැඩිව විරුද්ධ වෙලා ඒවා නැවැත්තුවා. අද ඔය කියන දේවල් කරන්න අපි දුම්රිය සේවයේ ඉන්න කල් ඉඩ දෙන්නේ නෑ. එහෙම වුණොත් මීට වඩා ප්‍රබල වෘත්තීය ක්‍රියාමාර්ගවලට ගිහින් අපි ඒවා වළක්වනවා. ජනතාව කල්පනා කරන්න ඕන මේක පුද්ගලීකරණය කරන්න නෙවෙයි. ඒ අයට කොයිතරම් සහනයක් තියෙනවා ද කියන එකයි.

ජනතාවගේ පැත්තෙන් ඔවුන් කියන කාරණා සාධාරණයි. කොළඹට ආව ගිය දුර පළාත්වල මගීන් පවා මේ සිද්ධියේ දී අසරණ වුණා. එනිසා ඔවුන්ගේ චෝදනා ගැන මොනව ද හිතෙන්නේ?

ජනතාව කියන කාරණා ඇත්ත. දුම්රියෙන් පොඩි ප්‍රමාණයක් නෙවෙයි කොළඹට යන්නෙ එන්නේ. ඒ අයට සාධාරණ කේන්තියක් තියෙන්න පුළුවන්. අපි හැම වෙලාවෙම ජනතාව අපහසුතාවයට පත් නොකර ගැටලු විසඳගන්න බැලුවා. ඒත් හැම වෙලාවෙම ආණ්ඩුව මඟ හැරියා. අපිට වෙන කරන්න දෙයක් නෑ. කරන්න පුළුවන් එකම දේ වැඩවැරුම පමණයි. ඒත් ජනතාව වෙලාවට දුම්රිය පොළවල්වලට ගෙනියන්න අපි කරන මෙහෙය ගැන කවුරුත් දන්නෙ නෑ. ඒවා ගැන වෙනම කතා කරන්න ඕන. සියලුම මගීන් වෙලාවට ගෙනියන්න අපියි මහන්සි වෙන්නේ. මේ රේල් පීලි දෙක උඩ දවසට කොච්චර දුම්රියන් ප්‍රමාණයක් යනවද? ඔය කතා කරන ජනතාව එක්කෙනයි දෙන්නයි. සිය දහස් ගාණක් මේවගේ යනවා. ඒ හැමෝම යන්න ඕන. තමන් විතරක් දුම්රියේ වෙලාවට ගියා කියලා හරියන්නේ නෑ. මේ ලක්ෂ ගාණම අපි වෙලාවට අරන් යන්න ඕන. ඒ නිසා ජනතාවගේ කේන්තියට මොනවා කිව්වත් අපිට කමක් නෑ. අපි ඔවුන් වෙනුවෙන් ඊට වඩා දිවා රෑ වෙහෙසෙනවා. ඒ ගැනත් හිතුවා නම් මේවගේ කතා ඔවුන් කියන්නේ නෑ.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප නිරෝෂ් බටේපොළ

නව අදහස දක්වන්න