මාදැල් අදින්න ට්‍රැක්ටර් භාවිතයට අවසර | දිනමිණ

මාදැල් අදින්න ට්‍රැක්ටර් භාවිතයට අවසර

බුද්ධිකා ඉඹුලාන
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා හා රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා ඇතුළු පිරිස වින්ච් උපකරණය පරික්ෂා කළ අයුරු.

මාදැල් ඇදීම සදහා යොදාගන්නා වින්ච් උපකරණයට ධීවර දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිවී ඇත.

මා දැල් කර්මාන්තයේ යෙදෙන ධීවර කාර්මිකයින් මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුවක් වන ශ්‍රමික ඌනතාවයට පිළියමක් වශයෙන් මා දැල් ගොඩට ඇදීම සඳහා ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවි කරන වින්ච් උපකරණය භාවිතා කිරීමට මා දැල් ධීවර කාර්මිකයෝ මාස ගණනක් තිස්සේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

එහෙත් ට්‍රැක්ටර් යොදා ගැනීම මගින් මුහුදු වෙරළට හානි සිදුවන බැවින් ඊට අනුමැතිය ලබා දී නොතිබිණි. දැනට මා දැල් ධීවර කර්මාන්තයේ පවුල් 400ක් පමණ යෙදී සිටින අතර එම කර්මාන්තයේ යෙදෙන ධීවර පිරිස 18,000 ඉක්මවයි.

ඔවුන් විසින් ඉදිරිපත් කළ ඉල්ලීම් සළකා බලමින් දැඩි කොන්දේසි යටතේ වින්ච් උපකරණයට අනුමැතිය ලබා දීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ට්‍රැක්ටර් යන්ත්‍රවලට සවි කරන වින්ච් උපකරණය මගින් අඩු ශ්‍රමයකින් මාදැල් ගොඩට ඇදීමට හැකි අතර, වෙරළට හානි නොවන අයුරින් කටයුතු කිරීමට අදාල මා දැල් ධීවර කාර්මිකයින් විසින් පියවර ගත යුතු යැයි ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා දැඩි ලෙස උපදෙස් දී ඇත.

ඒ අනුව මා දැල් ධීවර කර්මාන්තකරුවන්ගේ 40 වන සංවත්සරය හලාවත උඩප්පුවේ දී පැවැති අවස්ථාවේදී උඩප්පුව වෙරළේ දී වින්ච් යොදා මාදැල් ගොඩට අදින ආකාරය ඇමැතිවරයා නිරික්ෂණය කළේය. මෙහිදී එම ධීවර පිරිස හමුවු ඇමැතිවරයා වෙරළට හානි නොවන අයුරින් කටයුතු කරන ලෙසත්, යම් හෙයකින් ධීවරයන් ට්‍රැක්ටර් යොදාගෙන වෙරළට හානි වන අයුරින් කටයුතු කළ හොත් ඊට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය ඇමැති දිලිප් වෙදආරච්චි මහතා, ධීවර අධ්‍යක්ෂ ජනරාල් ක්‍රිස්ටිලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක් සහභාගි වුහ.

 

නව අදහස දක්වන්න