නාම යෝජනා! | දිනමිණ

නාම යෝජනා!

ඇතැම් දේශපාලකයන්ගේ ද එම පක්ෂවල ද දැනුම හා විචක්ෂණය නිරීක්ෂණය කරන විභාග පරීක්ෂණයක් ලෙස අපට මේ පළාත් පාලන මැතිවරණය පෙනී යයි. අප එසේ කියන්නේ පක්ෂ කිහිපයක මැතිවරණ නාම යෝජනා ලැයිස්තු නිසි ලෙස පුරවා නැති බැවින් ද නිසි ලෙස භාර දී නැති බැවින් ද ප්‍රතික්ෂේප වී ඇති නිසා ය. මෙලෙස ප්‍රතික්ෂේප වූ ලැයිස්තු ගණන 24 කි. පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ පළමු අදියර පෙරෙයිදා අවසන් වූ අතර එහි දී ඉහත කී ලැයිස්තු 24ක් ප්‍රතික්ෂේප වී ඇත. මෙයින් පෙනී යන්නේ ඇතැම් පක්ෂවල සමහර කණ්ඩායම්වලට නාම යෝජනා ලැයිස්තුවක් හෝ නිවැරැදි ලෙස සකස් කර ගත නොහැකි බව ය.

නාම යෝජනා ලැයිස්තු වැඩි ගණනක් ප්‍රතික්ෂේප වී ඇත්තේ ශ්‍රී ලංකා මහජන පෙරමුණෙන් ය. මහජන පෙරමුණ පොහොට්ටුව ලෙස ද ජනතාව අතර ප්‍රකට ය. පොහොට්ටුව පිපෙන්නටත් පෙර පෙති හැලී යන බවක් නාම යෝජනා කතාන්දරයෙන් පෙනී යයි. බදුල්ල, මහියංගනය, අගලවත්ත යන ප්‍රාදේශීය සභා මෙලෙස පොහොට්ටුවට අහිමි වී ඇත. වැලිගම, මහරගම යන නගර සභාද මෙලෙස පොහොට්ටුවට අහිමි වී ඇත. මේ පක්ෂයේ නායකයා මහාචාර්යවරයෙකි. නීති විශාරදයෙකි. එහෙත් ඔහු පක්ෂයේ නාම යෝජනා භාරදීම නිවැරැදි ලෙස සංවිධානය කර නැත. මෙබඳු පක්ෂයක් ප්‍රාදේශීය සභා පාලනය කරන්නේ කෙසේ ද? නගර සභා සංවර්ධනය කරන්නේ කෙසේ ද?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය; එක්සත් ජනතා නිදහස් සන්ධානය නැතහොත් බුලත් කොළයෙන් ඡන්දයට එන සංවිධානය ද අවස්ථා දෙකක දී නාම යෝජනා වැරැදි ලෙස සම්පූර්ණ කර භාර දී ඇත. එම නාම යෝජනා ද ප්‍රතික්ෂේප වී ඇත. එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා භාරදීමේ වැරදි නිසා ද, අපේක්ෂකයන් දෙදෙනකුට තම ඡන්ද අපේක්ෂකත්වය අහිමි වී ඇත. සමස්තයක් ලෙස ගත් කල මේ සියල්ල කාගේත් අවධානයට ලක් විය යුතුය. නාම යෝජනා ලැයිස්තු සකස් කිරීමේ දී හා ඒවා භාරදීමේ දී මෙලෙස සාවද්‍යතා ඇතිවන්නේ මන් ද? නොසැලකිල්ල නිසා ද? අනවබෝධය නිසා ද? ඒ කිසිවකට සමාවක් ලබාදිය නොහැකි ය.

ඇතැම් නාම යෝජනා ප්‍රතික්ෂේප වී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති නිසා ය. නිදසුනක් ගතහොත් පළාත් පාලන මැතිවරණය සඳහා නිශ්චිත කාන්තා නියෝජනයක් සටහන් කර තිබිණි. සමහර ලැයිස්තුවල එම කාන්තා නියෝජනය නැත. තව ලැයිස්තුවල අස්සන් නැත. තව ලැයිස්තුවල ස්ත්‍රී/පුරුෂභාවය සටහන් කර නැත. තවත් ලැයිස්තුවල දිනය සටහන් කර නැත. මේවා සුළු වැරැදි ලෙස සැලැකිය නොහැකිය. මැතිවරණයක් යනු තීරණාත්මක අවස්ථාවකි. ඊට අදාළ නීති - රීති අකුරටම සම්පූර්ණ විය යුතුය. එලෙස ම පිළිපැදිය යුතුය. මේ ලැයිස්තු සකස් කිරීම සඳහා ඕනෑතරම් කාලය ද තිබිණි.

නාම යෝජනා භාරදිය හැකි කාල සීමාවන් මෙන් ම එලෙස භාර දිය හැකි පුද්ගලයන් ද නිවැරැදි ලෙස සඳහන් කර තිබිණි. මේ උපදේශන පත්‍රිකා සියලු පක්ෂ වෙත ලබා දී තිබූ බවද සත්‍යයෙකි. එහෙත් ඇතැම් නාම යෝජනා භාරදීම සඳහා පැමිණ ඇත්තේ පිළිගත් නිල පුද්ගලයන් නොවේ. එබඳු අවස්ථාවක් විග්‍රහ කළ හැක්කේ දේශපාලන පක්ෂවල ඇති නොසැලකිල්ල හැටියටය. මෙලෙස මැතිවරණය නොසලකා හරින පුද්ගලයන් ජනතාව නොසලකා හරින්නේ යැයි සහතිකයක් දිය හැකි ක්‍රමයක් නැත. බොහෝ විට තමන්ට වාසිදායක පසුබිමක් ඇති තැන්වලදී පවා දේශපාලන පක්ෂ වැඩ වරද්දාගෙන ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙයින් සනාථ වන්නේ ඇතැම් දේශපාලන පක්ෂ හා ව්‍යාපාර අඳුරේ අතපත ගාමින් සිටින බව ය.

මැතිවරණය කල්යෑම ගැන විවිධ චෝදනා පැවැතිණි. ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණය ඉල්ලා විශාල විවේචනයක් ගෙන ගිය අතර පාරට බහින බවට තර්ජනයක් ද ඉදිරිපත් කර තිබිණි. පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කරන බවට වැඩියෙන් ම උද්දාම වාක්‍ය ප්‍රකාශ කර ඇත්තේ ද ඒකාබද්ධ විපක්ෂය යැයි කිව හැකිය. එහෙත් දෛවයේ සරදමකට මෙන් නාම යෝජනා වැඩියෙන් ම ප්‍රතික්ෂේප වී ඇත්තේ ද ඒකාබද්ධ විපක්ෂයෙන් ය. නැතහොත් පොහොට්ටුවෙන් ය. කිසිදු දේශපාලන භේදයකින් තොරව සලකා බැලුවද පළාත් පාලන මැතිවවරණය නිසා ඒකාබද්ධ විපක්ෂය යම් දේශපාලන චලනයකට හසු වී ඇති බව පෙනෙයි. ඒකාබද්ධ විපක්ෂයේ කිහිප දෙනකු යළි ශ්‍රීලනිපයට යන්නේ ද, එහි සාමාජිකත්වය නැවත ලබා ගන්නේ ද මේ තත්ත්වය යටතේ ය.

පොදුවේ ගත් කල සියලුම දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන් මේ සිද්ධියෙන් පාඩම් උගත යුතුය. නාම යෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප වීම යනු දේශපාලන පක්ෂයකට හොඳ දෙයක් නොවේ. පක්ෂයේ විනය, සංවිධානාත්මක බව හා නීතියට ගරු කිරීම පිළිබඳ යම් කුකුසක් මෙයින් මතුවේ.

අයදුම් පත්‍ර පිරවීම, රාජකාරි ලිපි ලිවීම පමණක් නොව; දුරකථන සංවාදයකට හවුල්වීම වැනි සිද්ධීන් සම්බන්ධයෙන්ද අභ්‍යාස භාෂා අධ්‍යයන විෂයයට අයත් වේ. මේවා පිළිබඳ විධිමත් පාඩම් 9 – 10 – 11 වසරවල සිංහල , ඉංග්‍රීසි, දෙමළ භාෂා අධ්‍යයනයට ඇතුළත් ය. නාම යෝජනාවලට අදාළ අයදුම් පත්‍රවල වැරැදි සලකා බලන විට හැ‍ඟෙන්නේ දේශපාලකයන් ඉහත කී අභ්‍යාසවලට මුහුණ දී නැති ද යන්න ය. ජනවාරි වෙනස ලෙසින් හඳුන්වන දේදුනු විප්ලවයේ දී පුරවැසි සංවිධාන කියා සිටියේ උගත් - අවංක පුද්ගලයන් පමණක් දේශපාලනයට සම්බන්ධ කර ගත යුතු බව ය. ‍එලෙස උගත් - අවංක පුද්ගලයන් පළාත් පාලන මැතිවරණය සඳහා තෝරා ගත්තේ නම් මෙබඳු අලකලංචියක් සිදුවිය හැකි ද?

ප්‍රතික්ෂේප වූ නාම යෝජනා සම්බන්ධයෙන් නඩු මඟට බසින බවට ද සමහරු පාරම්බාති. ඕනෑම කෙනකුට උසාවියට යා හැකි ය. නඩු පැවරිය හැකි ය. එහෙත් යුක්තිය ඉටු වන්නේ නඩු විභාගයකින් පසුව ය. අපට හැ‍ඟෙන පරිදි මැතිවරණ කොමිසම තමන්ගේ රාජකාරිය අකුරටම සිදුකර ඇත. නාම යෝජනා ලැයිස්තු 24ක් ප්‍රතික්ෂේප වන්නේ ද ඒ නිසා ය.

නව අදහස දක්වන්න