වර්ජනය විසඳන්න ජනපති මැදිහත් වෙයි | දිනමිණ

වර්ජනය විසඳන්න ජනපති මැදිහත් වෙයි

සමන්මලී ප්‍රියශාන්ති

අමුණුගම-රාජිත-අකිල-මද්දුම බණ්ඩාරගෙන් යුත් කමිටුවක්

දුම්රිය නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරුවන් විසින් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට පාදක වූ වැටුප් විසමතා ගැටලුව විසදීම සදහා ජනාධිපති මෛත්‍රීපාල මහතා විසින් ඊයේ කැබිනට් අනුකාරක සභාවත් පත් කර ඇත.

ඊයේ පෙරවරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සෙවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් වර්ජනය පිළිබදවත් දැනට මහජනතාවට මේ නිසා මුහුණ දීමට ඇති තත්වය පිළිබදවත් කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම කැබිනට් අනුකාරක සභාව පත් කර ඇත.

අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම අනුකාරක සභාවේ අනෙකුත් සාමාජිකයන් වන්නේ රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ අකිල විරාජ් කාරියවසම් යන අමාත්‍යවරුය. ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ මෙම ගැටලුව පිළිබදව කරුණු සමාලෝචනය කර විසදුම් ලබාදීමට මෙම කමිටුව කටයුතු කරන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

කැබිනට් අනුකාරක සභාව සමග මෙම ගැටලුව විසදීම සදහා පත් කළ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, ජාතික වැටුප් හා සේවක සංඛ්‍යාත කොම්සමේ සභාපති, ආයතන අධ්‍යක්ෂ ජනරාල්, දුම්රිය සාමාන්‍යාධිකාරී, කළමනාකරණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක ජනරාල්, අග්‍රාමාත්‍ය මහජන සම්බන්ධතා නිලධාරී කේ. දඩල්ලගේ මහතා යන නිලධාරීවරුන්ගෙන් සැදුම්ලත් කොමිසම් සභාව ඒකාබද්ධව මෙම ගැටලුව විසදීමට ඉදිරියේදී කටයුතු කරනු ඇත. ඒ අනුව වර්ජනයට එක්ව ඇති සියලුම වෘත්තීය සමිති තම ගැටලුව පිළිබදව මෙම කමිටුව ඉදිරියේදී කරුණු ඉදිරිපත් කර විසදා ගනු ඇතැයි අමාත්‍යවරයා බලාපොරොත්තු වේ.

ඒ අනුව වෘත්තීය සමිති වෙත දන්වා සිටින්නේ ප්‍රවාහන අමාතයවරයා ලෙස තමන් මෙම ගැටලුව විසදා ගැනීම සදහා පූර්ණ වශයෙන් දායකත්ව සහ සහාය ලබාදුන් බවයි. ඒ නිසා සියලුම වෘත්තීය සමිති වර්ජන ක්‍රියාමාර්ග අතහැර සාකච්ඡා මට්ටමින් මෙම ප්‍රශ්නය විසදා ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...