ඌව පළාතට ඖෂධ මිලදී ගැනීමට මිලියන 2000ක් වෙන් කළා | දිනමිණ

ඌව පළාතට ඖෂධ මිලදී ගැනීමට මිලියන 2000ක් වෙන් කළා

පළාත් කෘෂි ඇමැති අනුර විදානගමගේ

රටේ සාක්ෂරතාව ඉහළ වුණත් දේශපාලන සාක්ෂරතාව බිංදුවයි 
- සමන්ත විද්‍යාරත්න (ජවිපෙ)

ඌව පළාතට ඖෂධ මිලදී ගැනීම සදහා බදුල්ල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1200ක් සහ මොනරාගල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 800ක් ලෙස රුපියල් මිලියන 2000ක මුදලක් වෙන්කර ගැනීමට හැකිවීම ඌව පළාතේ ජනතාව ලද විශාල භාග්‍යයක් ලෙස තමන් දකින්නේ යැයි ඌව පළාත් කෘෂිකර්ම ඇමැති අනුර විදානගමගේ මහතා පැවැසීය.

පසුගිය ඌව පළාත් සභාවේ මහ සභා රැස්වීම පසුගිය දා සභාපති ඒ.ඇම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම් ශාලාවේදී පැවැත්විණි. න්‍යායපත්‍රානුකූලව පෙරවරු 9.30ට රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබුණත් සභාපති මුලසුනට පැමිණියේ පෙරවරු 10ට ය. මහ ඇමැතිවරයා විසින් 2018 වර්ෂයේ වාර්ෂික මුදල් ප්‍රකාශය පළමුවෙන්ම ඉදිරිපත් කළ අතර අනතුරුව ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සුබ සාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනුණි.

මෙහිදී ඌව පළාත් සභා ඉතිහාසයේ පළමු වතාවට විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ප්‍රධාන ඇමැතිවරයාගේ අත්තනෝමතික පාලනයට විරෝධය පාමින් අය-වැය විවාදයට සහභාගී නොවී සභා ගර්භයෙන් පිටව ගියේය. ඉන් පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක ර.මු.රත්නායක මහතා යහපාලන ප්‍රතිපත්තීන්ට අනුගතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම පළාත් සභාව වන ඌව පළාත් සභාවේ මහ ඇමැතිවරයා අත්තනෝමතික තීන්දු තීරණ ගනිමින් රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ උවමනා සපුරමින් දෙබිඩි පිළිවෙතක පිහිටා කටයුතු කිරීම හෙළා දකින බව පවසා සිටියේය.

කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා (ජවිපෙ) -

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අපේ නොසතුට, අප්‍රසාදය, කනගාටුව සියල්ල පළකර සිටිනවා. ජනතා ඡන්දයෙන් තේරී පත්වෙලා අයවැයට කරුණු දක්වන්න එන්නේ යම් අපේක්ෂාවක් ඇතුවයි. එහෙත් ඒ අවස්ථාව සපුරන්න බහුතරයකට උවමනාවක් නෑ. අපේ දැඩි විරෝධය මධ්‍යයේ අද තීන්දු ගත්තා සියලු අමාත්‍යාංශ වැය ශීර්ෂ සාකච්ඡා කරලා ඡන්ද විමසන්න. බහුතරයේ කැමැත්ත හින්දානෙ සියල්ල අනාගන්නෙ? අදත් වැඩ සිද්ධ වෙන්නේ බහුතරයේ කැමැත්තටයි. අපි සූදානම් වෙලා ආවේ අද දවසේ විවාදයට පමණයි. ඒ නිසා අද අනෙකුත් අමාත්‍යාංශ සඳහා අපි දෙන්නා කරුණු දක්වන්නේ නෑ. සමස්ථ අයවැයටම අපේ විරෝධය ප්‍රකාශ කර සිටිනවා.

දැන් මේ අය-වැය ලේඛන සකස් කරන්නේ නිලධාරී මහත්තුරුයි. මාස ගාණක ඉඳලා සූදානම් වෙනවා ඇති. කොච්චර සාකච්ඡා තියලා ඇද්ද? කොච්චර මහන්සි වෙලා ඇද්ද? නිලධාරීන්ගේ මහන්සියට ස්තුතිවන්ත වෙනවා. එහෙත් මහජන නියෝජිතයන්ට අවශ්‍යතාවක් ඇති බවක් පේන්න නෑ. ඒක මුළු රටේම තත්ත්වය. අපි නිදහස ගත්තෙ 1948. දැන් අවුරුදු 70 ක් විතර වෙනවා. අවුරුදු 70 ක් පාර්ලිමේන්තු අය-වැය සංකච්ඡා කරලා තියෙනවා. පළාත් සභා අය-වැයත් සාකච්ඡා කරලා තියෙනවා. අපි ආපස්සට හැරිලා බැලුවට පස්සෙ සාම්ප්‍රදායික විධියට හිතන්නේ නැතිව පුරුදු වෙච්ච රටාවට හිතන්නේ නැතිව අපි ආපු ගමන රටට හොඳද? ගැලපෙනවද?හරි විමර්ශනයක් කළොත් කාටත් පිළිගන්න පුළුවන් වේවි ආ ගමන නිවැරැදිම නෑ. රටක් විධියට ආපස්සට බැලුවොත් අපි තාම සෞඛ්‍ය අතින් දුප්පත්. අපේ රටේ සුක්කානම තියෙන්නෙ පාලකයන්ගෙ අතේ. ප්‍රතිපත්ති තීන්දු කරන්නේ ඔවුන්. රට යන දිශානතිය තීන්දු කරන්නේ ඔවුන්. ඒ ගිය පාරේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නෙ.

අපේ සාක්ෂරතාව ඉහළයි. එහෙත් කනගාටුවෙන් කියන්නට ඕන අපේ රටේ දේශපාලන සාක්ෂරතාව බිංදුවයි. සමහර ආචාර්ය, මහාචාර්යවරුන්ගේ වුණත් දේශපාලන සාක්ෂරතාව බිංදුවයි. පනහේ දශකය, හැටේ දශකය, හැත්තෑවේ දශකය, අසූවේ දශකය ගත්තම අපි ලබා තියෙන දියුණුව මොකක්ද? රටේ නිරෝගිමත් සමාජයක් ඇති කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් බෑ. කොටසක් අධ්‍යාපන අමාත්‍යාංශයටත් යනවා. කොටසක් සංස්කෘතික අමාත්‍යාංශයටත් යනවා. සංවර්ධනය දෙවැදෑරුම් වෙනවා. පාරිසරික මිතුරු සංවර්ධනය හා පාරිසරික සතුරු සංවර්ධනය. සතුරු සංවර්ධන ව්‍යාපෘති වැඩියි. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙහෙවර ප්‍රකාශය ගත්තොත් නරක නෑ. අපි අදහස් කරන සංවර්ධනය බොහෝ දෙනා දකින සංවර්ධනය නෙමෙයි. කාපට් පාරවල් හදන එක, අධිවේගී මාර්ග හදන එක, දැවැන්ත ගොඩනැඟිගලි හදන එක සංවර්ධනය කියල සමහරු අර්ථකථනය කරනවා. ඒ යට තියෙන කොමිස්, ඒකට යටින් තියෙන ණය, ඒක යට තියෙන පගා, ඒක යට තියෙන දූෂණය, නාස්තිය නොදකිනවානම් එහි සැබෑ සංවර්ධනයක් නෑ . පාලකයන්ගේ සුඛ විහරණය සඳහා වූ සංවර්ධනයකුත් තියෙනවා. අපේ රටේ ජනතාවාදී සංවර්ධන ව්‍යාපෘති අඩුයි. මහා පරිමාණ ව්‍යාපෘති යට මහා පරිමාණ කොමිස්, දූෂන පවතින රටක් මේක.

ඌව පළාත් කෘෂිකර්ම ඇමැති අනුර විදානගමගේ මහතා -

සම්මුතිවාදී ආණ්ඩුවක කොටස්කරුවන් වන මේ පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම මගේ අමාත්‍යාංශයේ විවාදයට සහභාගී නොවී පිටව ගියා. මං කනගාටු වෙනවා. මගේ නිලධාරීන් කණ්ඩායම දැඩි වෙහෙස මහන්සියක් අරගෙන පොත් හදල ඊළඟ වර්ෂයේ ක්‍රියාත්මක සැලැස්ම එළිදක්වන්නයි හිටියෙ. මේ අවස්ථාවේ නැගිටල යෑම පළාතේ ජනතාවට කරන ලොකුම අගෞරවයක් හැටියටයි මං දකින්නෙ.

මගේ අමාත්‍යාංශයට විෂය පථයන් පහක් අයත් වෙනවා. ඒ එක් එක් විෂය පථයන් අනුව 2017 වර්ෂයේ අප විසින් සිදුකළ සංවර්ධන කටයුතු මොනවද? කියන දේත් 2018 වර්ෂයේ අපේ ඉලක්ක මොනවද? කියන දේත් ඉතාමත්ම කෙටියෙන් මම ඉදිරිපත් කරන්න කැමතියි.

පළාතක් සංවර්ධනය කරද්දී ඉතිමත්ම වැදගත් සහ විශේෂ අවධානයක් යොමු කළයුතු විෂයයන් දෙකක් තමයි අධ්‍යාපනය සහ සෞඛ්‍ය කියන විෂයයන් දෙක. සෞඛ්‍ය විෂය මගේ අමාත්‍යාංශයට අයත් විෂයයක්. ඒ නිසා පළාතේ ජනතාව සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත්කිරීමේ වගකීමක් මට පැවරිලා තියෙනවා.

ඌව පළාත් සභාව හරහා රෝහල් වගේම වෙනත් සෞඛ්‍ය ආයතන 129 ක් පාලනය වෙනවා. මේ ආයතනවල 2016 වර්ෂයේ 5028 ක සේවක සංඛ්‍යාවක් සේවය කළ අතර වඩාත් ඵලදායී සේවාවක් ලබාදීමේ අරමුණ ඇතිව පුරප්පාඩු තනතුරු සඳහා 2016 සහ 2017 වර්ෂවල සිදුකළ බඳවා ගැනීම් එක්ක මේ වනවිට 5139 ක සේවක සංඛ්‍යාවක් පළාතේ ජනතාව සෞඛ්‍ය සම්පන්න පිරිසක් බවට පත්කිරීමේ කටයුත්තට එකතු කර ගන්න අපට හැකිවෙලා තියෙනවා.

2017 වර්ෂයේදී වෛද්‍ය නිලධාරීන්, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, වෛද්‍ය රසායන කාර්මික විද්‍යාඥ, ඖෂධවේදී හා පාසල් දන්ත චිකිත්සක පුරප්පාඩු තනතුරු සඳහා අලුතින් 59 දෙනකු බඳවා ගැනීමට අපට හැකියාව ලැබුණා. 2017 වර්ෂයේදී රාජ්‍ය සේවය පිළිබඳ අවිනිශ්චිත භාවයෙන් යුතුව සේවය කළ සේවකයන් 120ක් සේවයේ ස්ථිර කරන්නත් 260 දෙනකුට සේවයේ උසස්වීම් ලබාදීමටත් අපට හැකිවෙලා තියෙනවා.

2017 වර්ෂයේ මගේ අමාත්‍යාංශයට වෙන්වූ මුදල් ප්‍රතිපාදන වලින් වැඩිම මුදලක් වෙන්කළේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු සදහායි. එම මුදල රුපියල් මිලියන 677.191ක්. එම ප්‍රතිපාදනවලින් රෝහල්වල රෝගී සත්කාරක සේවා වැඩිදියුණු කිරීම යටතේ මහියංගණය, දියතලාව, වැලිමඩ, බිබිල, වැල්ලවාය, සියඹලාණ්ඩුව සහ බණ්ඩාරවෙල රෝහලේත් විශාල සංවර්ධන කටයුතු රැසක් නිම කරන්න අපට හැකිවුණා. ඒ වගේම අනෙකුත් රෝහල්වල හදිසි ප්‍රතිකාර ඒකක, සුවදිවි මධ්‍යස්ථාන, ඖෂධ ගබඩා, වාට්ටු ගොඩනැඟිලි ආරම්භ කිරීමත් අනෙකුත් උපකරණ ලබා දෙන්නත් කටයුතු කරලා තියෙනවා.

2014 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ක්‍රියාත්මක වන දෙවැනි සෞඛ්‍ය ක්ෂේත්‍ර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රුපියල් මිලියන 1584.8ක් ආයෝජනය කරන්න සැලසුම් කරලා තියෙනවා.

ඒ යටතේ මේ වනවිට හදිසි ප්‍රතිකාර ඒකක 25ක්, සෞඛ්‍ය තොරතුරු ඒකක 33ක්, මාතෘ හා ළමා හදිසි ප්‍රතිකාර සායන 44ක්, සුවදිවි මධ්‍යස්ථාන 36ක්, තත්ව කළමනාකරණ පද්ධති 3ක්, ඖෂධ ගබඩා 32ක් ස්ථාපනය සහ අලුත්වැඩියා කරන්න කටයුතු කළා. ඒ වගේම මේ කටයුතුවල අධීක්ෂණ කටයුතු පහසු කර ගැනීම සඳහා අවශ්‍ය වාහන දෙකක් මිලදී ගන්නත් හැකිවුණා.

කෘෂිකාර්මික පළාතක් නිසා රසායනික පොහොර භාවිතය සෑහෙන්න වැඩියි. ඒ නිසා වකුගඩු රෝගය පැතිර යාමේ ප්‍රවණතාවක් අපේ පළාතේ තියෙනවා. එම තත්ත්වය අවම කර ගැනීම සඳහා මධ්‍යම රජයේ අරමුදල් මත මිලියන 60.42ක වියදමින් ගිරාඳුරුකෝට්ටේ සහ වැල්ලවාය රෝහල්වල වකුගඩු ප්‍රතිකාර ඒකක ඉදිකරන්නත් මහියංගණය සහ ගිරාඳුරුකෝට්ටේ දැනට තිබෙන වකුගඩු ප්‍රතිකාර ඒකක ප්‍රතිසංස්කරණය කිරීමට මිලියන 15.86 ක් යොදවන්නත් එම ඒකකවලට අවශ්‍ය උපකරණ මිලියන 36.31 ක මුදලක් යොදවා මිලදී ගන්නත් කටයුතු කළා.

අපේ පළාතේ ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබාදීම සම්බන්ධයෙන් අපේ විශේෂ අවධානය යොමු කරමින් බදුල්ල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 1200 ක් සහ මොණරාගල දිස්ත්‍රික්කයට රුපියල් මිලියන 800 ක් ලෙස රුපියල් මිලියන 2000 ක මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කළා.

ඌව පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අනුබද්ධව ආයුර්වේද රෝහල් සහ වෙනත් ආයතන 31 ක් ක්‍රියාත්මක වෙනවා. එම ආයතනවල සේවකයින් 468 දෙනෙක් සේවයේ යෙදෙනවා. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් බුත්තල, වැලියාය, දියතලාව, මස්පන්න, කරමැටිය, කිරිඉබ්බන්වැව සහ බතලයාය යන ආයුර්වේද රෝහල්වල සංවර්ධන කටයුතු 2017 වර්ෂයේදී සාර්ථකව ක්‍රියාත්මක කළා.

දියතලාව සහ මැදගම ආයුර්වේද රෝහල් ආශ්‍රිතව විශේෂ පංචකර්ම ප්‍රතිකාර ක්‍රම ප්‍රචලිත කිරීම, ග්‍රාමීය ජනතාවගේ නිරෝගී දිවි පැවැත්ම උදෙසා ගෙන්ගෙට සුවය නම්න් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නත් ඔසු වගා ව්‍යාපෘති පවත්වන්නත් ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන් පවත්වන්නත් කටයුතු කළා.

ලබන වර්ෂයේදී රුපියල් මිලියන 92.5ක් ආයුර්වේදය සදහා ආයෝජනය කිරීමට නියමිතයි.

පරිවාස දෙපාර්තමේන්තුව යටතේ ආයතන 21ක සේවකයන් 379ක් සේවයේ යොදවලා තියෙනවා. ළමයින් 706ක් රැකවරණය ලබනවා. මේ වර්ෂයේ සේවකයන් 35 ක් බඳවා ගන්න හැකියාව ලැබුණා. රජයේ ළමා නිවාස 7ක් සහ ස්වේච්ඡා ළමා නිවාස 8ක් පාලනය වෙනවා. මේ ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන් 706 කගේ අනාගතය සාර්ථක කරදීමේ වගකීම අප සතුයි.

ඌව පළාතේ වැඩිහිටියන්ට සහ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අවශ්‍ය පරිදි රැකවරණය හා සුභසාධනය සපුරාලීමේ අරමුණින් පිහිටුවා ඇති පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ මේ වනවිට වැඩිහිටි නිවාස 6 ක් ද, ළමා නිවාස හා අඳ-බිහිරි පාසල් 4 ක්ද තිබෙනවා.

මීට අමතරව උඩුවර මත්ද්‍රව්‍ය නිවාරණ පුනරුත්ථාපන මධ්‍යස්ථානය ක්‍රියාත්මක කරන්නේ පළාතේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහායි. මෙතෙක් රැඳවියන් නොමැති මට්ටමකට වැටී තිබූ මේ මධ්‍යස්ථානය නව මුහුණුවරකින් යුතුව පවත්වාගෙන යමින් ඉතාමත්ම කෙටි කාලයක් තුළ රැඳවියන් රඳවා තබා ගනිමින් සාර්ථක මට්ටමකට පත් කරන්න හැකිවීම විශාල ජයග්‍රහණයක්. මේ වනවිට එහි රැඳවියන් පස් දෙනකු සේවාලාභීන් ලෙස සේවය ලබනවා.

ඌව පළාතේ වැඩිහිටි නිවාසවල මේ වනවිට වැඩිහිටියන් 183ක් ද, ළමා නිවාසවල නේවාසික ළමයින් 341 ක් ද රැකවරණය හා ආරක්ෂාව ලබනවා. 

බණ්ඩාරවෙල සමූහ ආනන්ද හපුගොඩ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...