මහවැලි c ගොවීන්ට යන්ත්‍ර මඟින් ගොයම් සිටුවීමට පුහුණුව | දිනමිණ

මහවැලි c ගොවීන්ට යන්ත්‍ර මඟින් ගොයම් සිටුවීමට පුහුණුව

මෙවර මාස් කන්නයේදී මහවැලි සී කලාපයේ වී වගාවෙන් අපේක්ෂිත වී අස්වනු ඉලක්කය වනුයේ හෙක්ටෙයාරයකින් වී කිලෝග්‍රෑම් 5000 ඉක්මවීමයි.

සෑම ගෙවත්තකම ගෘහ පරිභෝජනයට ගතහැකි ආහාර භෝග වගාකරවීමටත් ඊට අමතර ගෘහ අවශ්‍යතා සඳහා යොදාගත හැකි දේශීය ඔසු පැළෑටි වගා කරවීමටත් ගොවීන් යොමුකොට තිබෙනවායැයි යන්ත්‍ර මගින් ගොයම් පැළ සිටුවීම පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම වෙනුවෙන් මහවනාවෙල කොට්ඨාසයේ ඩී4 බෙදුම් ඇළ ගොවි සංවිධාන කෙත්යායේ පැවැති ගොයම් පැළ සිටුවීමේ අවස්ථාවට එක්වෙමින් මහවැලි සී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කේ.ඒ.සී.විමල් කුමාර මහතා පැවැසීය.

එහිදී විමල් කුමාර මහතා මෙසේද පැවැසීය.

මහවැලි සී කලාපයේ උල්හිටිය මහා ජලාශයෙන් පෝෂණය වන කුඩා වැව් 52ක් තිබෙනවා. මේ වන විට එම වැව් සියල්ලම පාහේ ජලයෙන් පුරවා ඇති අතර මඩ වැඩ සඳහා වර්ෂා ජලය යොදා ගැනීමටද අවස්ථාව ලැබුණු බැවින් වැව් වල ඇති ජලය ඉදිරි කන්නය සඳහා ප්‍රමාණවත් මට්ටමක පවතිනවා. සී කලාපයේ වාරි ජලයෙන් වගාකෙරෙන කුඹුරු ඉඩම් හෙක්ටාර් 22802ක් ද වැසි ජලයෙන් වගාකෙරෙන හෙක්ටාර් 3600ක් පමණ ද මේ කන්නයේදී වගා කිරීමට සූදානම්කර තිබෙනවා. වාරි ජලය ලබාගත නොහැකි බිම්වල බඩ ඉරිඟු, මෑ, මුං,කව්පි, කුරහන්, මෙන්ම එළවළු වර්ග වැවීමට ද ගොවීන්ව දැනුවත් කර තිබෙනවා. යන්ත්‍ර මගින් පැළ සිටුවීමේ ක්‍රමයේ ප්‍රධානම වාසිය වනුයේ වැයවන කාලයත්, වැයවන මිනිස් ශ්‍රමයත්, වැයවන මුදල් ප්‍රමාණයත්, අපතේ යන පැළ ප්‍රමාණයත් අවම කර ගැනීමයි.

වී පමණක් වගා කරන ගොවීන් වසරේ වැඩි කාලයක්ම රැකියාවක් නොකර සිටීම නිසා අපතේ යන කාලය ඵලදායී කටයුත්තක යෙදවීමෙන් තම ආර්ථිකය ශක්තිමත් කරගැනීමට අවස්ථාව සලසා දීම වෙනුවෙන් සී කලාපයේ වැඩ සටහන් කිහිපයක්ම සැලසුම් කර තිබෙනවා.

මහවනාවෙල කොට්ඨාස කළමනාකාර ආර්.එම්.එස්. රත්නායක‍, ශෂ්‍ය විද්‍යාඥ යූ.එල්.ඒ.එස්.කුලරත්න මහත්වරුන් ඇතුළු මහවැලි නිලධාරීන්ද කෘෂි තාක්ෂණ පාඨමාලා හදාරන අභ්‍යාසලාභී තරුණ තරුණියන් කණ්ඩායමක්ද ප්‍රදේශයේ ගොවි සංවිධානවල නියෝජිත වරු ද මේ අවස්ථාවට එක්වී සිටියහ.

ගිරාඳුරුකෝට්ටේ සමූහ
සෝමදාස සමර ගුණරත්න

නව අදහස දක්වන්න