පිබිදෙන ලෙනදොර වෙහෙර | දිනමිණ

පිබිදෙන ලෙනදොර වෙහෙර

දිගු ඉතිහාසයකට උරුමකම් කියන බලංගොඩ, වැලිගෙපොල ලෙනදොර ලෙන් විහාරස්ථාන භූමියේ බුදු සිරිතෙහි එක් එක් අවස්ථා මෙන්ම ශාසන ඉතිහාසයෙහි විවිධ අවස්ථා දැක්වෙන දැවැන්ත නිර්මාණ රැසක් ඉදිවෙමින් තිබේ. මෙම සද්කාර්යය සිදුකරනු ලබන්නේ ප්‍රදේශවාසි දානපතියකු වූ ලෙනදොර ලාල් මහතාගේ පුර්ණ දායකත්වය මතය. එහි ඉදිකෙරුණු සමාධි බුද්ධ ප්‍රතිමාවට නේත්‍රා තැබීමද සිදුකර තිබේ. මෙම ඉදිකිරිම් කටයුතු ආරම්භ කෙරුණේ ඉකුත් වසරේ ඇසළ පෝය දිනයි. මෙම විහාර කර්මාන්තය සඳහා වැයකරන මුදල රුපියල් ලක්ෂ හාරසිය පනහකි.

මෙම ලෙන් විහාරය වළගම්බා රජුගේ මෙහෙසියක වන සෝමාදේවිය විසින් ඉදිකරන ලද්දක් බවට ජනප්‍රවාදවල සඳහන් වේ. බලංගොඩ, පල්ලෙබැද්ද මාර්ගයේ වැලිගෙපොලින් හැරි කපුගල, සමනළවැව ජලවිදුලි බලාගාරය තෙක් වැටී ඇති මාර්ගය පසෙක මෙම පුරාණ ලෙන් විහාරස්ථානය පිහිටා තිබේ. කොටිඉඹුල්වල රාජමහා විහාරස්ථානයට අයත් මේ පුදබිම කලක් ජරාවාසව පැවැතිණි. සමාධි බුද්ධ ප්‍රතිමාවට අමතරව මෙම පුදබිමෙහි අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ප්‍රතිමා ඉදිකිරිමද සිදුවෙමින් පවතින අතර අඩි හතළිහක පමණ උසින් යුතු චෛත්‍යරාජයාගේ ඉදිකිරිම් කටයුතු ද නිමවෙමින් ඇත. කළුතර සෑ රදුන්ගේ අාකෘතිය අනුව සෑ ගැබට පිවිසිය හැකි පරිදි මේ ඉදිකිරිම් සිදුවන අතර ඒ තුළ දහඅට රියන් බුද්ධ ප්‍රතිමාවක්ද ඉදිකෙරේ.

මීට අමතරව ජාතක කථාවල එන සුජාතා සිටුදේවිය සිදුහත් තවුසාට කිරිපිඩු පිළිගැන්විම ඇතුළු බුදු සිරිතෙහි විවිධ අවස්ථා මෙන්ම මහරහතන් වහන්සේ මෙරටට බුදුදහම ගෙන ඒමෙන් පසුව ලංකා ශාසන ඉතිහාසයෙහි විවිධ අවස්ථාද මේ වන අරණේ නිර්මාණය වෙයි. උඩවලව අභය භූමියට පිවිසිය හැකි නව මාර්ගයක්ද මේ ආසන්නයෙන් ආරම්භ වන බැවින් මෙකී වැඩකටයුතු නිමවීමෙන් පසු වැඩි සංචාරක ආකර්ශනයකට ලක්වනු ඇත.

මෙම විහාර කර්මාන්තය සඳහා ධනය, කාලය, නිර්මාණ දායකත්වය ලබාදෙන සියපත පදනමේ නිර්මාතෘ ලෙනදොර ලාල් මහතා මෙම පුදබිම ආසන්නයේම ඉපිද හැදී වැඩී දුෂ්කරතා මැද ජිවිතය ජයගත් අයෙකි. ගොවිතැන් බතින් ජිවිතය ඇරඹූ ඔහු අද ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවෙකි. හෙතෙම පැවසුවේ මෙම විහාර කර්මාන්තය සඳහා රුපියල් ලක්ෂ හාරසිය පනහක් පමණ වැයකරන බවත් එම ඉදිකිරිම් කටයුතු ඉතා ඉක්මණින් නිමකර බැතිමතුන්ගේ වන්දනා මානයට ඉඩ සලසන බවත්ය.

රූපිකා කේ.බණ්ඩාර
කුරුවිට සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...