ඉබ්බාගමුවේ සර්වාගමික පිරිවෙන | දිනමිණ

ඉබ්බාගමුවේ සර්වාගමික පිරිවෙන

විශේෂයෙන්ම නායක හාමුදුරුවෝ අපට අවශ්‍ය පහසුකම් සැලැස්සුවා. මං ගණිත ගුරුවරයෙක් වුවත්, උන්වහන්සේ මට කතෝලික ආගම ඉගැන්වීමත් භාර කළා. එය මට ලොකු අභියෝගයක් වුණත් අද මං පිරිවෙනෙහි ක්‍රිස්තියානි ආගම උගන්වන්නෙ මම. බෞද්ධ ආගමික පරිසරයක් තුළ කිතුනු දහම ඉගෙනගන්නා අයටත් අපේ නායක හිමියෝ ඉඩ හදලා තියෙනවා. අද අපි මොනතරම් ඉහළට ගියත් පිරිවෙන දාලා වෙනත් තැනකට යන්න කැමැතිත් නෑ.

වසර ගණනාවක ජනවාර්ගික ගැටුම අවසන් කරන්නට විවිධ පුද්ගලයන් විවිධ ආකාරයෙන් දායක වෙද්දී වසර තිහකට අධික කාලයක් ජාතීන් අතර සාමය, සමගිය ඇති කරන්නට අධ්‍යාපන රටාවක් වෙනස් කරන්නට උත්සාහ ගත් පිරිසක් ගොකරැල්ල, පොල්ගොල්ල ශ්‍රාස්ත්‍රාරවින්ද පිරිවෙනෙන් වාර්තා වේ.

වසර 30කට අධික කාලයක් බෞද්ධ පිරිවෙනක දමිළ ජාතික, හින්දු භක්තික ගුරුවරයෙක්, මුස්ලිම් ජාතික ඉස්ලාම් භක්තික ගුරුවරයෙක් සහ කිතුනු භක්තික ගුරුවරු දෙදෙනෙක්, බෞද්ධ පිරිවෙනක ගුරුවරු වූහ. ඔවුන් සාමණේර හිමිවරුන්ට සහ බෞද්ධ දරුවන්ට දෙමළ භාෂාව, ගණිතය වැනි විෂයන් ඉගැන්වූ අතර, දමිළ සහ මුස්ලිම් දරුවන්ටත් බෞද්ධ පිරිවෙනක ඉගෙන ගැනීමට අවස්ථාව සැලසිණි.

මේ සියලු දේ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර පණ්ඩිත හිමියන්ගේ අදහසකට අනුව ක්‍රියාත්මක විණි. බොදු දරුවන් භාෂාව, විනය, දැනුම, සංස්කෘතිය සහ ආකල්පවලින් පෝෂණය කළ පරිද්දෙන්ම මුස්ලිම්, දෙමළ, කිතුනු දරුවන් මෙම පිරිවෙනෙහි සිසුන් ලෙස ඇතුළත් කරමින් සහසම්බන්ධයක් උන්වහන්සේ ඇති කළහ. පිරිවෙනෙහි වසර 30ට වැඩි කාලයක් සේවය කරන එම අන්‍ය ජාතික, අන්‍ය ආගමික ගුරුවරු සොයාගිය ගමනේදී එක් ගුරුවරයෙක් වන එම්. රම්ෂර් මහතා අප සමඟ මෙසේ කතාබහට එක්විය.

“කොයි දරුවත් අ‍පේය කියලා හිතලා දරුවන්ට යහමග පෙන්වනවානම්; ඔවුන් යහමග යද්දී අපේ දරුවො ඉබේම යහමග යනවා. හැදෙනවා සහ රැකෙනවා” වසර 31ක් පිරිවෙනෙහි සාමණේර හිමිවරුන්ටත් බෞද්ධ දරුවන්ටත් රම්ෂර් මහතා දමිළ භාෂාව උගන්වා තිබේ. එපමණක් නොව, ඔහු වසර 17ක් තිස්සේ පිරිවෙනෙහි විනයභාර ගුරුවරයා ලෙසත්, මුස්ලිම් දරුවන් සඳහා ඉස්ලාම් ආගමත් ඉගැන්වූ ගුරුවරයා ය. උපතින් මුස්ලිම් ජාතිකයකු වූ ඔහු සිංහල බෞද්ධ පිරිවෙනක ගුරුවරයකු ලෙස කටයුතු කිරීමට ලැබීම ජීවිතයේ වාසනාවකැයි කියයි. එමෙන්ම භික්ෂූන්වහන්සේලා ඇසුරේ සිට සිංහල භාෂාව සහ බුදු දහම ඉගෙන ගැනීමට ලැබීම ද භාග්‍යයක් කොට සලකයි. වසර 31ක කාලයක් පුරාවට ඔහු දමිළ භාෂා ගුරුවරයකු ලෙස පමණක් නොව, ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය දක්වා අවශ්‍ය සිංහල භාෂාව පිළිබඳව දැනුම ද ප්‍රගුණ කළේය. ඒ නිසා ඔහු ඉතාමත් පැහැදිලිව සිංහලෙන් අප සමඟ කතාබහ කළේය. “මම මූලික අධ්‍යාපනය ලැබුවෙ මාවනැල්ල සහිරා විද්‍යාලයෙන් දමිළ මාධ්‍යයෙන්. ඒත්, 1986 සැප්තැම්බර් පළවෙනිදා සිට මේ පිරිවෙනෙහි දමිළ භාෂා ගුරුවරයා, මට දැන් ගණිතය උගන්වන්නත් පුළුවන්. බුදු දහම පිළිබඳ පුළුල් දැනුමකුත් මට තියෙනවා. ගාථා, ශ්ලෝක කටපාඩම්, ඒවායෙහි තේරුමත් පැහැදිලි කරන්න මට අවබෝධයක් තියෙනවා.

මම මේ පිරිවෙනට එද්දි මෙහි පරිවෙණාධිපතිවරයා ලෙස කටයුතු කළේ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර පණ්ඩිත හාමුදුරුවෝ. උන්වහන්සේ මේ සමාජය හදන්න ජාති, ආගම් භේදයකින් තොරව කටයුතු කළා. ගුරුවරයකුට අවශ්‍ය දැනුම මුවහත් කරගන්න සෑමවිටම අවස්ථාව සලසා දුන්නා. ඒ විතරක් නෙවෙයි, මේ රටේ පැවති යුදමය තත්ත්වය උඩ මනුෂ්‍යත්වයේ නාමයෙන් අපිව ආරක්ෂා කළා. අපේ පිරිවෙනේ පද්මනාදන් කියලා දමිළ ගුරුවරයෙක් ඉන්නවා. පද්මනාදන් එයාටත්, මටත් මේ පිරිවෙනෙහි රැකවරණය දුන්නෙ අපේ නම් වෙනස් කරලා. මගේ රම්ෂර් කියන නම වෙනුවට රම්‍යසිරි කියලත්, පද්මනාදන් කියන නම වෙනුවට පද්මසිරි කියලත් නම වෙනස් කළා. ඉතිං අපිට මේ පිරිවෙන හැමදේම ඉගෙන ගනිමින් දරුවන් යහමග යවන්නට සුදුසු තෝතැන්නක් බවට පත්වුණා.

අපේ දක්ෂතා හඳුනාගෙන සුදුසු ගුරුවරු සුදුසු තැන්හි තබන්නට නායක ස්වාමීන් වහන්සේ කටයුතු කළා. ඒ අනුව තමයි මං වසර 17ක්ම මේ පිරිවෙනෙහි විනයභාර ගුරුවරයා බවට පත්වුණේ. අද ගොඩක් පාසල්වල විනය ප්‍රශ්න පිළිබඳ කතා කරනවා. ඒත් 3000ක් විතර ඉගෙනුම ලබන මේ පිරිවෙන් භූමියෙහි විනය පිළිබඳ ගැටලු මතුවෙන්නෙ නෑ. හොඳම උදාහරණය තමයි පාසල් ළමුන් හා සසඳා බලද්දි අපේ පිරිවෙනෙහි පිරිමි දරුවන් සියල්ලගේම කොණ්ඩය එක සමානවයි තියෙන්නේ. මේ පසුබිම පිරිවෙන් අධ්‍යාපන ආයතන තුළින් ගොඩනැඟිලා තියෙන්නෙ ඉස්සර ඉඳලාමයි. අපේ පණ්ඩිත හාමුදුරුවන්ගේ අදහස් හා තීරණවලටයි මේ විදිහට අපි වැඩකළේ. මං දැකපු හොඳම ස්වාමීන්වහන්සේ උන්වහන්සේ තමයි. දැනට මේ පිරිවෙනේ සිංහල බෞද්ධ දරුවන් විතරක් නෙවෙයි, මුස්ලිම්, දෙමළ දරුවනුත් ඉගෙන ගන්නවා. ක්‍රිස්තියානි දහම, ඉස්ලාම් දහම සහ හින්දු දහම අදහන දරුවොත් ඉන්නවා. මේක ජාතික සමගිය ඇතිකළ හැකි හොඳ කාරණයක්.

එකිනෙකා අතර අදහස් හුවමාරු කරගැනීමට භාෂාව උපයෝගී වන පරිදිම ජීවිතය සමබර කිරීමට ක්‍රීඩාවද උපයෝගී වේ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දරුවන් අතරින් තෙල්ගොල්ල පිරිවෙනෙහි දරුවන් සැහැල්ලු පන්දු ක්‍රීඩාවෙන් ප්‍රමුඛස්ථානයට ගෙන එන්නට කටයුතු කළ ගුරුවරයා නිශාන්ත පෙරේරා මහතාය. ඔහු පොල්ගොල්ල පිරිවෙනෙහි ගණිතය සහ ක්‍රීඩා විෂය සඳහා පැමිණිය ද 1983 මාර්තු පළවෙනිදා සිට මේ දක්වා වසර 34ක් බෞද්ධ පිරිවෙනක ගුරුවරයකු වීමට හැකිවීම පිළිබඳ තමා මහත් සතුටට පත්වන බව අප සමඟ කීය.

“මම මුලින්ම අධ්‍යාපනය ලැබුවේ කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයෙන්. මම මේ පිරිවෙනට සම්බන්ධ වුණේ ගණිත ගුරුවරයෙක් විදිහටයි. 1986 සිට ක්‍රීඩාවත් උගන්වනවා. ඒ කාලෙ මේ පිරිවෙනෙහි ක්‍රීඩාපිටියක් තිබුණෙ නෑ. පොල්ගස් මැද්දෙ ඇඳපු ට්‍රැක්වල තමයි ළමයි දිව්වෙ.

අද අපේ පිරිවෙ‍ෙනහි දරුවො ජාතික මට්ටම දක්වා දක්ෂතා පෙන්වලා තියෙනවා. මම වෘත්තීමය පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවකු ලෙස කටයුතු කරනවා. 2008 අවුරුද්දේ 19න් පහළ තේරීම් කමිටුව නියෝජනය කළා. 2009දී 19න් පහළ ජාතික කණ්ඩායම දකුණු අප්‍රිකාවේ තරගාවලියකට රැගෙන ගියා. මේ විදිහට බාහිර වැඩවලටත් මට සහයෝගයක් ලැබුණා.

විශේෂයෙන්ම නායක හාමුදුරුවෝ අපට අවශ්‍ය පහසුකම් සැලැස්සුවා. මං ගණිත ගුරුවරයෙක් වුවත්, උන්වහන්සේ මට කතෝලික ආගම ඉගැන්වීමත් භාර කළා. එය මට ලොකු අභියෝගයක් වුණත් අද මං පිරිවෙනෙහි ක්‍රිස්තියානි ආගම උගන්වන්නෙ මම. බෞද්ධ ආගමික පරිසරයක් තුළ කිතුනු දහම ඉගෙනගන්නා අයටත් අපේ නායක හිමියෝ ඉඩ හදලා තියෙනවා. අද අපි මොනතරම් ඉහළට ගියත් පිරිවෙන දාලා වෙනත් තැනකට යන්න කැමැතිත් නෑ. ඒ මහතා කීය.

මනුස්සයකු යනු උසස් මනසක් ඇත්තා යැයි සැළකේ. ඔහු උසස් වන්නේ උත්පත්තියෙන්, ජාතියෙන් හෝ ආගමෙන් නොවේ, කරනු ලබන ක්‍රියාවෙන් උසස් පුද්ගලයකු බවට පත්වේ. පොල්ගොල්ල පිරිවෙනෙහි නිර්මාතෘ රඹුක්වැල්ලේ පඤ්ඤාසාර පණ්ඩිත ස්වාමීන්වහන්සේගේ සියලු ජාතීන් හා ආගම් සඳහා සමතැන දීම කොතෙක් සාධාරණදැයි අප හැඳිනගත්තේ; වසර 31ක් දෙමළ භාෂා ගුරුවරයකු ලෙස කටයුතු කළ නඩේෂන් පද්මනාදන් මහතා සමඟ කළ කතාබහේදීය.

“කොළඹ කොටහේන ප්‍රදේශයේ දේවපාල විද්‍යාලය නමින් දෙමළ මාධ්‍ය පාසලක් තිබිලා තියෙනවා. 1983දී මේ පාසල කරගෙන ගිය කෙනා පාසල වහලා දාලා එංගලන්තෙට යන්න ලෑස්තිවෙලා. අපේ නායක හාමුදුරුවන් මීට මැදිහත්වෙලයි ඒ පාසල මෙහෙට ගෙනැවිත් තියෙන්නෙ. අඩු වූ ළමුන් ගණන පුරවන්න වතු දමිළ ළමයින් යොදවාගෙන තියෙනවා. ඔය අතරතුරදී මම වතු පාසල් විභාගය කරලා සමත් වෙලයි හිටියෙ. ඒත් වතු පාසල්වල සේවය කරන්න මං සුදුසු නෑ කියලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ප්‍රතික්ෂේප වුණා. මගේ මාපියන් හෝ සහෝදරයින් වතු සේවයේ නොයෙදීමත්, එකල තොණ්ඩමන් පාර්ශ්වයේ නොවීමත් නිසා මට වතු පාසල්වල රැකියාව ලැබුණෙ නෑ.

ඊට පස්සෙ තමයි අපේ නායක හාමුදුරුවන්ගේ උදව් ඇතිව මං පිරිවෙනේ ගුරුවරයෙක් ලෙස සේවයට ආවේ. මං මුලදි ඉගැන්නුවෙ ගණිතය. පස්සෙ නායක හාමුදුරුවො මට දෙමළ භාෂාව උගන්වන්නට පැවරුවා. මං සිංහල පාසලක ඉගෙනගත්ත නිසා මට දෙමළ ඉගැන්වීමේ හැකියාව තිබුණේ නෑ. ඒත් නායක හාමුදුරුවෝ මට ගුරු පුහුණුවටත්, අධ්‍යාපනවේදී ඩිප්ලෝමා දක්වාත් ඉගෙන ගැනීමට අවස්ථා සලසා දුන්නා. ඒ නිසා මං වසර 32ක් ගණිතය විෂයට අමතරව දෙමළ භාෂාවත් උගන්වනවා. මේ පිරි‍වෙනේ මගේ මුළු සේවා කාලය වසර 32ක්. අද මං සතුටුවෙන කාරණා වගේම දුක්වෙන කාරණාත් තියෙනවා. මම වසර 22ක් අංශ ප්‍රධානි ලෙසත් කටයුතු කළා. ඒ තනතුර ලැබුණෙත් දෛනික පැමිණීම සලකා බලායි‍. වසරක් තුළ පාසල පැවැති දින 280ක් වූ අතර, බොහෝවිට පද්මනාදන් මහතා දින 270ක් වත් පැමිණ තිබුණේය. මේ පිළිබඳ සලකා බැලූ නායක හාමුදුරුවෝ ඔහු අංශ ප්‍රධානි තනතුරෙහිම තැබූහ. ඔහුට පිරිවෙන කෙරෙහි ඇති අනෙක් සතුටට කාරණය නම් ඔහු ගුරු සේවයට එනවිට උන්වහන්සේ අටවන ශ්‍රේණියේ ඉගෙනගත් සාමණේර හිමියන්ය. උන්වහන්සේ අද එම පිරිවෙනෙහි පරිවේණාධිපති ධුරය හොබවති. නඩේෂන් මහතාගේත්, රම්ෂර් මහතාගේත් එකල ගෝලයෙක්ව සිටි දුණු‍ෙක්දෙණියේ කුසලම්ම හිමියෝ විදග්ධ පඬිවරයෙක්ව එහිම ප්‍රධානියා ලෙස කටයුතු කරනවා දැකීම භාග්‍යයකැයි ඔවුහු කියති.

මේ නිසාම වර්තමාන පරිවේණාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත දුණුකේදෙණියේ කුසලධම්ම ස්වාමීන් වහන්සේ සමඟ අපි කතාබහ කළෙමු.

“අපි වැඩකරන්නෙ සියලුම දරුවන් අපේමයි ලෙස සලකලයි. එහෙම වුණාම දරුවන් අතර ඇති සහ සම්බන්ධයක් එක්ක අපේ අරමුණුවලට යන්න පුළුවන්. ඒ අරමුණු කරා යන්නට අපේ දුරුවො දැනුම, යහගුණ, කුසලතාව විතරක් නෙවෙයි විවිධ භාෂා ඥානයන්ගෙනුත් සම්පූර්ණ විය යුතුයි.

ඒ අදහස් අපේ නායක හාමුදුරුවන්ගෙ. උන්වහන්සේ බලාපොරොත්තු වූ ගමන කරා යන්නට අපේ විද්‍යායතනයේ මේ ගුරුවරු විශාල මෙහෙයක් කරනවා. මං කුඩා අවධියෙහි රම්ෂර් ස්ර්, නඩේෂන් සර්, නිශාන්ත සර් එහෙම මගෙත් ගුරුවරු. මං ගණිතය, දමිළ භාෂාව ඉගෙන ගත්තෙ ඒ ගුරුවරුන්ගෙන්. මේ විද්‍යායතනයේ දැනට ඇතිවෙලා තියෙන දියුණුවට ඒ ගුරුවරු ඇතුළු සමස්ත ගුරුවරුන්ගේම සහයෝගය ලැබුණා. මගේ ගුරු හාමුදුරුවන්ට එතුමන්ලා දුන් සහයෝගය එලෙසින්ම මමත් දෙනවා.

අද ඇතැම් පිරිස් ජාතිවාදී, ආගම්වාදී ගැටලු මතුකරන්න උත්සහ කරනවා. ඒත් සැබෑ මුස්ලිම්වරයා, දමිළ ජාතිකයා, සිංහල ජාතිකයා ඒ තත්ත්වයට පත්වෙන්නෙ නෑ. ක්‍රිස්තියානි ආගමේ වුණත් ගරු මර්සලින් ජයකොඩි පියතුමා වගේම වර්තමානයේ අගරදගුරු කාදිනල් පියතුමා වැනි අයට අපි ගරු කරනවා. ආගම, දහම හරියට ‍ඉගෙන නොගත් අය තමයි මූලධර්මවාදීන් ලෙස ගැටුම් ඇතිකරන්නෙ. එවැනි ගැටුම් ඇති නොවෙන්න සුදුසු පරිසරයක් තමයි අපේ නායක හාමුදුරුවෝ ගොඩනැඟුවෙ. ඒනිසා වර්තමානයේ මේ පිරිවෙනෙහි සාමණේර හිමිවරු නෙවෙයි ගැහැනු, පිරිමි මිශ්‍ර පාසලක් ලෙසත් ඒ අතර සියලුම සිංහල, දමිළ, මුස්ලිම් ජාතිකයන් මෙන්ම සියලුම ආගම්වල දරුවන් ද ඉගෙනුම ලබනවා.

ඉංග්‍රීසි මාධ්‍ය පාසලත් මේ විද්‍යාලයටම අනුබද්ධව කරගෙන යනවා. අනෙකුත් රජයේ පාසල්වලට සාපේක්ෂව පිරිවෙන මූලික කරගෙන පැවැත්වෙන නිසා මෙම විද්‍යායතනය ඉහළ සාධනීය මට්ටමක තිබෙනවා” යැයි උන්වන්සේ කීහ.

ජාතීන් අතරත්, ආගම් අතරත් ඉතාමත් සහයෝගයෙන් වැඩ කිරීමෙන් යහපත් සමාජයක් ගොඩනැ‍ඟෙනවාය යන්න ඔප්පු කරන්නට පොල්ගොල්ල පිරිවෙනට හැකියාව ලැබී ඇත. ඒනිසාම ඔවුනොවුන් අතර භාෂා ඥානය දියුණු වූවා සේම, අදහස් ප්‍රකාශ කරගැනීමේ හැකියාව මත ගැටලු මතුවී නැත. එකිනෙකාගේ ආගමට දහමට ගරු කරමින් යහපත් පුරවැසියන් බවට පත්වන්නට අවැසි කුමක්ද යැයි පෙන්වා ඇත. ඒ සඳහා පරිවේණාධිපති ස්වාමීන් වහන්සේ බඳවාගත් මානව සම්පත දැනුමෙන් හා කුසලතාවෙන් පරිපූර්ණ කරවීමට සහයෝගය දුන්හ. ඒනිසාම එම ගුරුවරු පිරිවෙනට නොව බොහෝදෙනකුට සම්පත් බවට පත්ව ඇත. දැනට රම්ෂර් සහ නඩේෂන් යන ගුරුවරු දෙදෙනා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ උපදේශකවරු ලෙස කටයුතු කරන අතර නඩේෂන් මහතා 2004 වසරේ සිට විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරනු ලබයි. නිශාන්ත පෙරේරා මහතා ක්‍රිකට් පුහුණුකරුවකු ලෙසත්, ජාතික තේරීම් කමිටුවේත් නිලධාරියකු ලෙසත් කටයුතු කරයි.

මේ පිරිවෙනෙහි සංගීත ආචාර්යවරයා ලෙස වසර 15ක් ඉගැන්වීම් කටයුතු කරන ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරයකු වන විශාරද ඩැනිස්ටර් පෙරේරා මහතා ද සුවිශේෂිය. ඔහු ද කිතුනු භක්තිකයෙක්. 2015 වසරේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සමනල සංධ්වනියෙන් සම්මානයට පාත්‍රවූ එතුමා ද මෙම පිරිවෙන බබළවයි.

පිරිවෙන නිමවෙද්දී ගැයෙන යෝවද තම්පව රෝමණු යේසු - සාක්‍ය මුනීභගවාකත කිච්චෝ ගාථාව ගැයෙන්නේ ද ඔහුගේ හඬිනි. මෙතරම් දක්ෂ සහ ජාතික සම්පත් බඳු පිරිස් අවුරුදු 30 කටත් අධික කාලයක් එකම ආයතනයක ‍සේවය කරති, මේ පිළිබඳව ඔවුන් කියා සිටියේ “අපි අද ඉන්න තැනට යන්න අඩිතාලම පරිවෙනෙන් වැටුණු නිසා මොන ඉල්ලුම තිබුණත් තවත් තැනකට නොයන බවය.

ඉබ්බාගමුව සමූහ-කුමාරි දිසානායක
ඡායාරූප නිරෝෂ් බටේපොළ,ඉබ්බාගමුව සමූහ

නව අදහස දක්වන්න