ටෙක්ලාගේ අහිංසක බලාපොරොත්තුව | දිනමිණ

ටෙක්ලාගේ අහිංසක බලාපොරොත්තුව

මේ සතියේ අපේ තුන්වැනි පිටුව හැඩ කරන්න එකතු කරගත්තේ නිවේදිකාවක්. ඇයට හැමෝම ආදරේට කතා කරන්නේ 'ටිකී' කියලා. ටිකී අපිට මුණ ගැසුණු මොහොතේ කියූ දේවල්වලින් අද රසඳුන තුන්වැනි පිටුව හැඩවෙනවා.

කොහොමද නිවේදන වැඩකටයුතු ?

ස්වර්ණවාහිනියේ සුපුරු පරිදි වැඩසටහන් ටික කරගෙන යනවා.

ටෙක්ලා 'ටිකී' වුණේ කොහොමද?

ටෙක්ලා කියන කෙනා එන්නේ ටෙලිනාට්‍ය හරහා. පසුකාලීනව එයා 'ටිකී' බවට පත්වෙන්නේ '100% Live' කියන music වැඩසටහනෙන්.

ටිකී ස්වර්ණවාහිනියත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද?

ෂර්ලි පී. දෙලංකාවල මහත්මයාගේ 'දෙගම්මැදියාව' මුහුරත් උළෙලදී බුද්දික කුලසේකර මහතා මුණගැසෙනවා. ඊට පස්සේ ඔහු කතා කරලා මෙහෙම වැඩසටහනක් කරන්න තියෙනවා පුළුවන්ද කියලා ඇහුවා. ඒ '100% Live ' වැඩසටහන. ඒ වැඩසටහන ඔස්සේ 2007 දී මුලින්ම ස්වර්ණවාහිනියත් එක්ක සම්බන්ධ වෙනවා.

ඔබේ ආරම්භය සිදු වෙන්නේ සිරස නාළිකාවෙන්.

ඔව්. 2006 දී තමා මුලින්ම සිරසට එන්නේ. ඒ සිරස කුමරිය තරගය හරහා. එතැනදී ඒ අය මේ තරගෙට හිටපු අයගෙන් කිහිපදෙනෙක්ව තෝරා ගන්නවා නිවේදන වැඩවලට. ඒ අවස්ථාවේදී මම හීනෙකින්වත් හිතුවේ නැහැ මම තේරේවි කියලා. එතැනදී තමා මම දැන ගත්තේ මට මේක කරන්න පුළුවන් කියලා. ස්කොලේ යන කාලෙදිවත් මම හිතුවේ නැහැ නිවේදිකාවක් වෙයි කියලා. මොකද නිවේදිකාවක් කියන්නේ අද වෙනකොට ඇවිදින ශබ්ද කෝෂයක්. එතකොට එයාට තියෙන දැනුම උපරිමයෙන්ම තියෙන්න ඕන වැඩසටහනක් කරනකොට. මට ඒ කාලේ බය හිතුණා මම ඒ තැන හිටියද කියලා මොකද මම ක්‍රීඩිකාවක් නිසා. ඒ දවස්වල කතා කරන්න ලොකුවට පුළුවන්ද කියන ප්‍රශ්නේ තිබුණා. හැබැයි කාලයත් එක්ක ඒක මට මාධ්‍ය හදලා දුන්නා. මම ඒක වැඩිදියුණු කරගත්තා.

ඇයි එදා සිරස කුමරියට සම්බන්ධ වෙන්න හිතුණේ?

මෙහෙමයි ඒ තරගය තිබුණු විදිය සහ ඒක පවත්වන ආකාරය පිළිබදව සිරස ටිවී එකේ ප්‍රචාරය වෙනකොට මට ඒ දේට ආසාවක් ඇති වුණා.එතැනදී රූපය මුලින්ම බලනවා, රූපය හා සමානව බුද්ධිය බලනවා, බුද්ධිය හා සමානව හැකියාවන් බලනවා. මට හිතුණා ඒ දේවල් මට ඇති කියලා. තරග නියෝජනයක් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා හිතුන නිසා මම ඉල්ලුම් පත්‍ර දැම්මා. කෙනකුට මාධ්‍යට අවතීර්ණ වෙන්න මොනයම් හෝ හේතුවක් තියෙන්න ඕන නේ. එහෙම හිතිලා තමා දැම්මේ.

ටෙක්ලා නිළියක් වෙන්නේ 'ටෙක්ලා' කියන චරිතය තුළින්ම යි?

ඔව්. අනුර ජයවර්ධන මහත්තයාගේ 'රජ කඩුව' කියන ටෙලි නාට්‍යයෙන් තමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. එතැනදී මට ලැබෙන්නේ'ටෙක්ලා' කියන චරිතය. එතැනදී තමා මාව ගොඩක් අය දන්නේ. හැබයි එතැනින් පටන් ගත්ත ගමන, ඒ සාර්ථකත්වය මම හොඳට භුක්ති විදිනවා. මොකද පසුගිය අවුරුද්දේ හොඳම නිළියට 'සිග්නීස්', ඒ වගේම 'රාජ්‍ය සම්මාන උළෙලේ නිර්දේශ වෙනවා මාව. බලාපොරොත්තුව කියන දේ එතැනින් එහාට වෙනම විදියකට යනවා. ඒ නිවේදිකාවක් කියන තැනින් මම සම්මානයකට යන එක. ඒ ඇගයීමට මම හරි කැමැත්තෙන් ඉන්නවා. ඒ දේට ගොඩක් මහන්සිවෙලා වැඩකරන්න ඕන. දැන් තියෙන ඉලක්කය ඒක.

ටිකී ගේ ලොකුම බලාපොරොත්තුව 'නිවේදිකාවක්' ලෙස සම්මානයට යන එක

ජීවිතේ එක බලාපොරොත්තුවක් කියන තැන තියෙනවනම් ඒක එකක්. හැබැයි ඒ තැනට එන්න හොඳ වැඩසටහනක්, ඒ වගේම ඒ වැඩසටහන් තුළ හොඳ යමක් කරන්න ඕන. එතැනදියි මාව ඇගයීමකට ලක්වෙනවා නම් ලක්වෙන්නේ. ඒකට මම මහන්සි වෙන්න ඕන.

ඒ තැනට යන්න නම් වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී තෝරා බේරා ගෙන වැඩ කරන්න සිදු වෙනවා?

මම නිවේදන ක්ෂේත්‍රයේ ඉන්නවා නම්, මට කරන්න තියෙන වැඩේ හොඳ ද නරකද කියන දේ නෙමෙයි, ඒ වැඩේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මොකද නිවේදකයෙක් වෙන්න පුළුවන්, නිවේදිකාවක් වෙන්න පුළුවන් එයා දෙන දේ එක්ක තමා ඒ වැඩසටහන හොඳ ද නරකද කියන දේ තීරණය වෙන්නේ ? ඉතින් ඒක වගකීම තියෙන්නේ නිෂ්පාදකවරයා,අධ්‍යක්ෂකවරයා සහ එතැන වැඩ කරන කෙනා අතර තියෙන බැදීම එක්ක.

ටිකීව හඳුන්වනවට කැමැති නිවේදිකාවක් විදියට ද නැත්නම් රංගන ශිල්පිනියක් විදියට ද ?

මෙහෙමයි, ඔය දේ ඇවිල්ලා දකුණයි වමයි වගේ ප්‍රශ්නයක්. දකුණ කියන්නේ හොඳටම පුරුදු අත. ඒ අතින් වැඩ කරනවා කියන්නේ නිවේදිකාවක් විදියට මට වැඩ කරන්න පුළුවන්. ඒ සම්බන්ධව හොඳ දැනුමක් තියෙනවා. වම් අත කියන්නේ අපි කරන කාර්ය බොහොම සාර්ථකව නිම කරන්න ඕන , හැබැයි ඒකට හොඳ විදියට අපිට වැඩ කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අනුව රංගන ශිල්පිනියක් විදියට වැඩ කරනකොට තෝරා බේරාගෙන , තමන්ට ගැලපෙන දේ හරියට කරන්න පුළුවන් වෙන්න ඕන. අද වෙනකොට මිනිස්සු මාව ගොඩක් දන්නේ නිවේදිකාවක් විදියට. මොකද ටිකී කියන චරිතෙට මිනිස්සු ගොඩක් ආදරේ කළේ 'මියුසික්' කියන වැඩ සටහන තුළින්.

දැන් ටිකී ආදරණීය අම්මා කෙනෙක්. ඒ සතුට මොනවගේද?

මගෙයි මහත්තයගෙයි ලොකුම බලාපොරොත්තුව තිබුණේ දුවකුට. ඒ බලාපොරොත්තුව සාර්ථක වුණා. අපිට ලස්සන දුවෙක් ඉන්නවා. එයා නිකිණි ගවුරවනි ජයසිංහ. හැබැයි එයාට අපි ආදරේට කියන්නේ 'නිකී' කියලා. 

(නිලු­පුලි සඳ­කැ­ලුම්)

නව අදහස දක්වන්න