සෝපානය | දිනමිණ

සෝපානය

ඉන්දීය ලේඛක සංජෙ හවනුර්
1්වැනි කොටස

ඉන්ද්‍රප්‍රසාද් පාරේ වානිජ්‍ය භවාන් සංකීර්ණයේ ප්‍රධාන ශාලාවේ සෝපානය ළඟා වන තෙක් නොඉවසිල්ලනේ පසු වන්නන්ගේ පෝලිමකි. නව දිල්ලියේ පිටත විශාල විවෘත ප්‍රදේශය සෙල්සියස් අංශක 45 ක උෂ්ණත්වයෙන් ගිනියම් වී තිබේ. පුවත්පතකින් පවන් සලා ගනිමින් ගජන්නාරා ඕ පෝලිමේ ඉදිරියෙන්ම සිටියි. පරිගණක උපදේශක සේවා ජාත්‍යන්තරයේ ආරම්භක කළමනාකාර අධ්‍යක්‍ෂවරයා මෙන්ම ප්‍රධාන වැඩසටහන් සම්පාදක ද වන ඔහු වායු සමනය කරන ලද මැදිරියේ යන්ත්‍රය වෙත යාමට දැඩි උනන්දුවකින් පසු වෙයි. තම සිතිවිලිවල ගිලී සිටින කිමතිලාල් ඔහු පසුපසින් සිටගෙන සිටියි. තමා අත ඇති අවසන් රුපියල් සියය ඔට්ටුවට තබන්නේ කුමන අශ්වයාගේ වාසනාවන්ත අංකයටද යන්න ඔහුගේ ප්‍රධාන කල්පනාවයි. විශේෂයෙන් වැදගත් තරගවල දී තමන්ට දිව්‍යමය ඉඟියක් ලැබෙන තුරු ඔහු සාමාන්‍යයෙන් බලා සිටියි. වරක් ඔහු මුහුණ දුන් සිද්ධියක් වුයේ තරුණියන් නව දෙනකු තුරඟ තරග පිටිය හරහා ගමන් කරනු දැකීමයි. ඔහු වහාම නවවන අශ්වයා වෙනුවෙන් රුපියල් අසූ එකක් ඔට්ටු තැබුවේය. එතැන් පටන් ඔහු අංක ගුප්ත විද්‍යාව පිළිබඳ හදාරන්නකු විය. අද ඔහුට දක්නට ලැබුණේ සෝපානයේ සියලුම බොත්තම් ඔබා ඇති බවයි. සංඛ්‍යා අනුපිළිවෙළ අනුව ඉගියක් ලබා ගැනීම ඔහුගේ අපේක්‍ෂාව විය.

"ටි‍්‍රම්”බිත්තියේ වු රතු බල්බය දැල්විණ. සෝපනය පැමිණ තිබේ. දොර විවෘත වේවා!!! ගජන්නාරා ඕ සුපුරුදු ප්‍රාර්ථනය කළේය. කෙසේ වෙතත් දොර එහිම උත්සාහයෙන් විවෘත විය. ගජන්නාරා ඕ ඇතුළට ගොස් දොර විවෘතව තබා ගැනීමේ බොත්තම එබුවේ තම යුතුකම ඉටු කිරීමක් වශයෙනි. පෝලිමේ සිටි අය එකිනෙකා පසුපස ඇතුළට ගියහ. හය දෙනක් පමණයි. නිවේදනය දර්ශනය විය. පවන් සලා ගනිමින් දිවගෙන පැමිණි සරධාරිනී අටවෙනි සාමාජිකයා වශයෙන් ඇතුළු වුවාය. "බස් හෝ ගයා ජි”(එපමණයි) දොර විවෘත කිරීමේ බොත්තම තද කරගෙන සිටින බියසුළු මිනිසුන් දෙස බලමින් ඇය කීවාය.

"ඔව් සෝපානය පිරිලා”ඇය දෙස ඇස් කොනින් බලමින් කෙනෙක් කීවේය. කිමතිලාල් සෝපානයේ බොත්තම් පුවරුව දෙස බැලුවේ එහි බොත්තම් ඔබා ඇති ආකාරය මතකයට නගා ගනිමිනි. තට්ටු 16 යි. මිනිසුන් අට දෙනයි. දෙක...තුන....පහ...හත සහ එකොළහ බොත්තම් ඔබා ඇත. "දහ තුන” කොනක සිටි කෙනෙක් ඉල්ලීමක් කළේය.

ගජන්නාරා ඕ අවසානයේ පාලක පුවරුව වෙතින් ඇගිල්ල ඉවතට ගත්තේය. දොර හෙමිහිට වැසීයත්ම සෝපානය මුළුමනින්ම අඳුරු විය. විදුලි බල්බය සහ විදුලි පංකා බොහෝ කලකට පෙර සොරාගෙනය. හදිසියේ ඇති වූ අන්ධකාරය බිය උපදවන සුළු විය. ඇතුළත ඇති බියජනක පරිසරයට මුසු වූ දහදිය ගඳ සහ ලාබ සුවඳ විලවුන්වල සුවඳ දරාගත නොහැකි තරම් විය. සෝපානයේ ගමන ආරම්භ විය.

අපවිත්‍ර දේශපාලනය, දකුණු ගොඩනැගිල්ල වැනි කතා නතර කළ ඔවුහු තනි තනිවම කතා කර ගත්හ. දිල්ලියේ යතුරු ලේඛක රැකියාවක් සොයා ගැනීම මෙතරම් දුෂ්කර බව කිසිවකු මට නොකීවේ ඇයි? ජොයිසි පුදුම විය. මට මේ ගොඩනැගිල්ලෙන්ම එකක් සොයා ගන්නට ලැබේවි. තට්ටු 16 තුළ විවිධ ආයතන දක්නට ලැබේ. පරිගණක උපදේශක සේවා, ජාත්‍යන්තර ආයතනය, වයිසනෝ ආනයන සහ අපනයන සමාගම්, බෝතල් සම්බන්ධ කර්මාන්තය, ඉන්දියන් කොනික්‍රල් පුවත්පත ආදිය පවා ඉතාම ප්‍රියජනකය. රැකියාව සිත් ඇදගන්නා සුළුය. අනෙක වැටුප අද දවසේ හැටියට නරක නැත.

දිනකාර් චෛතන්‍යා පසු දින කර්තෘ වාක්‍ය සිතේ සැලසුම් කරමින් සිටියේය. ඉන්දියන් ක්‍රොනිකල් පුවත්පතේ කතුවරයා වශයෙන් ඉතාම නීරස කාර්යය සෑම දිනකම ආරම්භ කිරීමට ඔහුට සිදුව තිබේ. සම්භාව්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් ජාතික සහ ජාත්‍යන්තර කාරණා දිගට ලිවීම, බාග විට කුඩා අප්‍රිකානු රටක ඒකාධිපතියකු බහුජාතික සමාගම් විසින් පරාජය කරනු ලැබීම, සෝවියට් මැදිහත් වීම, නොබැඳි ව්‍යාපාරයේ මධ්‍යස්ථභාවය තම තමන්ගේ පෞද්ගලික සිතිවිලිවල ගිලෙමින් සිටියදීම සෝපානය දෙවන මහළට ළඟා විය. එය එහි ළඟා වීමට බොහෝ වෙලාවක් ගත වූ බව කිසිවකුගේ අවධානයට ලක් නොවීය. සරධාරිනීගේ කර්කශ හඬින් සියල්ලෝම අවදි වුහ. "මේ මළ ඉලව් සෝපානය නතර වෙනවද එහෙම නැත්නම් අපව ආකාසයේ රඳවාගෙන ඉන්නවද?”එක්වරම අවබෝධ වූයේ සෝපානය ඉහළට නොනගින බවයි.

"ඇයි අපි පහළට යන්නෙ?”ජොයිසි බියට පත්ව යටිගිරියෙන් මොර දුන්නාය. ගජන්නාරා ඕ එක්වරම තිගැස්සුණ නමුත් වහාම යථා තත්ත්වයට පත් විය. "කරුණාකරල බයවෙන්න එපා බිහෙන්ජි. සෝපානයේ පාලක පුවරුවේ වරදක් වෙලා. අපි ඉහළට ගිහින් දැන් පහළට එනවා. අපි පහළට බැස්සහම දොරවල් විවෘත වේවි. කොහොම වුණත් අපි පහළට බහින්නෙ ඉතා හෙමින්. කඩා වැටීමක් නෙවෙයි”ඔහු ඉතාම සන්සුන් හඬින් පැවසුවේය.

"මගෙන් අහනව නම්......”සරධාරිනී නොහික්මුණු ලෙස බාධා කළාය. "මේ සෝපානය ඉහළට ගියෙ නැහැ. පටන් ගත්ත වෙලාවෙ ඉඳලම ඒක පහළටයි ගියෙ”

"ආහ්.....එහෙම නම් අපි පෘථිවියෙ මධ්‍යයට යන ගමන ආරම්භ කරලා. ඒ ගැන කිව්වට ඔබට ස්තුතියි” ඇගේ අඥාන ප්‍රකාශයට සමච්චල් කරමින් කෙනෙක් කිවේය. සරධාරිනී අඳුරේම ඔහු දෙස බැලුවාය. "මේ යක්කු කාන්තාවකට කතා කරන හැටි දන්නෙ නැහැ. නැහැදිච්චකම”

"ඒත් ඇයි පෘථිවියෙ මධ්‍යයෙ නතර වෙන්නෙ? දිනකර් සතුටින් එකතු කළේය. "අපි මෙහෙම දිගටම ගිහින් අනිත් කෙළවරින් පිටතට එමු. සමහර විට ඇමෙරිකාවෙන් හරි කැනඩාවෙන් හරි. ඒක අපුරු දෙයක් නෙවෙයිද?”

ගජන්නාරා ඕ හැර අනෙක් සියල්ලෝම සිනාසුණහ. කෙසේ වෙතත් සරධාරිනී නිවැරදි බවත් විසඳිය නොහැකි ගැටලුවක් ඇති බවත් ඔහුගේ සහජ ඥානයට වැටහිණ. සෝපානය පොළොව මට්ටමින් ඉහළට නොනගින බව පැහැදිලිය. එහෙත් එය යන්නේ කුමන අපායටද? වානිජ්‍ය භවාන් ගොඩනැගිල්ලේ බිම් මහලක් නැත. සෝපානය තුළ ඇති අඳුරත් සමඟ ගජන්නාරා ඕගේ නැ‍ඟී එන භීතිය ඔහුගේ තර්කානුකුල සිහි බුද්ධිය ගිල දැමුවේය. ගැටලුව වූයේ සෝපානය තවමත් පාලනය කළ හැකි තත්ත්වයේ තිබේද? නොඑසේ නම් වෙනත් දිශානතියකට ගමන් කරන්නේද යන්නයි. එය භෞතිකව පාලනය කළ හැකි ආම්පන්නවලින් නිදහස්ව තිබේද? එය අපව ගෙන යන්නේ කුමන නොදන්නා ආගාධයකටද?

හදිසියේම සෝපානය නතර විය. ගමනේ අවසානයයි. ආලෝකය සතුටින් පිළිගනිමින් දොර විවෘත විය. තමන් යළිත් වානිජ්‍ය භවාන්හි සුපුරුදු ශාලාවටම පැමිණ ඇති බව දැන ගැනීමෙන් ගජන්නාරා ඕ තරමක අපහසුතාවකට පත් විය.

"ඇමෙරිකා..... අපි ඇවිත් තියෙන්නෙ”ජොයිසි වෙත සිනාවක් යොමු කිරීමට අවස්ථාව ලබා ගනිමින් දිනකාර් පැවසුවේය. "ආපහු පහළ මාලයට පැමිණීමට ලැබීම සහනයක්”ඇය හරස් කපමින් කීවේ ඇගේ දීර්ඝකාලීනව පවතින සුන්දර සිනාව පිරිස වෙත යොමු කරමිනි.

එක් වරම විනිවිද යන භයානක විලාපයක් නගමින් සරධාරිනී සෝපානයේ බිම පතිත වූවාය. මිනිස්සු දිව ආහ. මුලින්ම ඉදිරියට පැමිණි නිර්භීත මිනිසෙක් සරධාරිනීගේ මුළු සිරුරම ඔහුගේ භාරයට ගත්තේය. ඔහු පසුපස පැමිණි අය සෝපානය තුළ තවමත් සිටින මිනිසුන් අතරින් ඔහුට පිටවීමට ඉඩ සැලැස්වූහ. අලුතෙන් පැමිණි සමහරු එක්වර සිරුරු තුන හතරක් බදා ගත්හ.

ඔවුන්ගේ ආගන්තුකයෝ බියෙන් සලිත වූහ. ඔවුන් තවමත් ජීවත්ව සිටිනවාද? නැතිනම් මිය ගොසින්ද? නොඑසේ නම් එය තව දුරටත් වැදගත් කාරණයක් නොවෙයිද? මිනිත්තු කිපයක් පැවැති ඔවුන් අට දෙනාගේ විශ්මයජනක ගමන ඔවුන්ගේ භෞතික පැවැත්ම සොරාගෙනද? සෝපානය එහි මගීන්ව සෙවනැලි බවට පත් කළේද? නිකම්ම සෙවනැලි ඔවුන්ගේ මිනිස් ශරීරය අහිමි වූ විට දිනක ඒවා පොළොවට වැටී අලු දුවිලි බවට පත් වෙයි.

විලාප නගමින් සෝපානයෙන් මුලින්ම පිටතට ආවේ ජොයිසිය. සරධාරිනීගේ සිරුර ඔසවා ගෙන පැමිණි පිරිමි දෙදෙනා එය තව දුරටත් දරාගත නොහැකි තත්ත්වයක පසු වුහ. එහි ප්‍රතිඵලය වූයේ සෑම කෙනකුම එක් වරම පිටතට පැමිණීමට උත්සාහ දැරීමයි. ගජනන්රා ඕ සහ දිනකර් චෛත්‍යන්‍යා සිහි විසඥව සිටි සරධාරිනි ව පිටතට ඇදගත් අතර දොරවල් වැසී ගියේය. බිත්ති පුවරුවේ ඇති විදුලි සංඥා දැල්වුණ අතර ටි‍්‍රම් හඬ නගමින් සෝපානය ඉහළ නගින්නට විය.

මතු සම්බන්ධයි

අනුවාදය
බොබී ජී. බොතේජු

නව අදහස දක්වන්න