ගෝඨා බය | දිනමිණ

ගෝඨා බය

ප්‍රශ්නය වන්නේ රණවිරු දඩයමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැඳීමට ප්‍රතිඥා දෙන මේ කල්ලිය ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහ සටනට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ දක්කන විට දැක්වූ පුදුමාකාර නිහඬතාවයි. ගෝඨාභය රාජපක්ෂ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු නිලතල පමණක් නොව විශ්‍රාම වැටුප පවා අහෝසි කර, යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් වන සියලු වාර්තාවන්ගෙන් යුද හමුදාපතිවරයාගේ නම ඉවත් කරන විට ඒ සම්බන්ධයෙන් දැක්වූ අනුකූලතාවයි.

“නීතියට ඉහළින් කිසිවෙකුට සිටිය හැකිද ?” මේ ප්‍රශ්නය මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම තිබුණා. ඒත් මෙය දාර්ශනික තලයේ සාකච්ඡාවක් බවට පත් වුණේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සංකල්පය බිහි වූ පුරාණ ග්‍රීසියේ. මේ අනුව “ප්ලේටෝ” විසින් පැවසූ “පරමාදර්ශී පාලකයාගේ රාජ්‍ය පාලනය ප්‍රතික්ෂේප කරන ඇරිස්ටෝටල් පවසන්නේ කොතරම් පරමාදර්ශී වුව ද තනි පුද්ගලයෙකුගේ පාලනයට වඩා නීතියේ පාලනය වඩාත් සුදුසු බවයි. ඇරිස්ටෝටල් පවසන පරිදි මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහි ලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ “නීතිය”යි.

මානව සමාජය ශිෂ්ට සම්පන්න කිරීමෙහි ලා වඩාත්ම සුදුසු උපකරණය වන්නේ නීතිය කියලා ඇරිස්ටෝටල් කියන කොට “නීතිය කියන්නේ මොකක්ද ?” කියලා ඇතැමෙකුට ප්‍රශ්නයක් ඇතිවිය හැකියි. ඒත් නීතිය කියන්නේ කුමක්ද කියලා මේ දක්වා නිශ්චිතව, පොදු පිළිගැනීමක් ඇතිව නිර්වචනය වෙලා නැහැ. ඒ නිසා නිර්වචන විශාල සංඛ්‍යාවක් තිබෙනවා.

නීතිය කියන්නේ “පාලනාධිකාරිය මගින් බලාත්මක කරනු ලබන නියමිත, පිළිගත් නෛතික බලයකින් සැබැඳුණු රීති පද්ධතියක් ”යනුවෙන් එක් තැනක නිර්වචනය වන විට තවත් අයෙක් කියන්නේ, නීතිය සෑම තැනක පවතින බවත් එය අපේ සියලු කටයුතු පාලනය කරන බවයි. මාක්ස්වාදීන් කියන්නේ නීතිය ධනපති පන්තිය විසින් නිර්ධන පන්තිය මර්දනය කිරීම සඳහා භාවිතා කරන්නා වූ පන්තිමය උපකරණයක් බවයි. මේ සියලු නිර්වචන අතර බහුලව පිළිගැනෙන අදහස් වන්නේ, නීතිය මිනිසාගේ දෛනික ජීවිතයේ සුමට යහපැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් බවයි.

නීතිය මේ ආකාරයෙන් නිර්වචනය වෙන්න හේතු වුණේ ඇතැම් පුද්ගලයන් විවිධ හේතු ඉදිරිපත් කරමින් නීතියට ඉහළින් සිටීමට උත්සාහ ගැනීමයි. මේ අතර ඉදිරියෙන්ම සිටියේ පාලකයන්. රජවරුන්. “නීතිය නම් මමයි” මේ බොහෝ රජවරුන් ජනතාව මර්දනය කරමින් අත්තනෝමතික පාලනයක් ගෙන ගියා. මේ අත්තනෝමතිකත්වයට තීරණාත්මක තිරිංගයක් බ්‍රිතාන්‍ය ජාතිකයන් ක්‍රි.ව 1215 “මැග්නා කාර්ටා” හෙවත් “මහා ප්‍රඥප්තිය” හරහා තැබුවා. ඊට පසුව ලෝකය පුරා ක්‍රියාත්මක වූ බොහෝ විප්ලව, විශේෂයෙන් ප්‍රංශ මහා විප්ලවය (1799) පාලකයන්ගේ මේ අත්තනෝමතිකත්වය ප්‍රශ්න කළා. සියවස් ගණනාවක් පුරා සිදුවුණු මේ සටන අවසන් වුණේ ලෝකයේ බොහෝ රටවල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වීමෙන් පසුවයි. ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය තුළ නීතිය ඉහළින් කිසිවෙක් නැහැ. නීතිය සැමට පොදුයි. “නීතිය කාටත් පොදුයි” කියන මේ අදහස අද ලෝකය හඳුන්වන්නේ “නීතියේ ආධිපත්‍යය” කියලා. මේ නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වුණු නිසා තමයි ආසන්න යුගයේ බ්‍රසීලය, දකුණු කොරියාව, ඉතාලිය, තායිලන්තය වැනි රටවල රාජ්‍ය පාලකයන්ට කල්දේරම් බතේ රස බැලීමට සිදු වුණේ. ඒත් එදා වගේම අන්ත මර්දනකාරී, ඒකාධිපති රාජ්‍ය, මිලිටර් ජුන්ටා සහිත රාජ්‍ය, සෞදි අරාබිය වැනි රජ පවුලක පාලනයට නතු වූ රාජ්‍යවල මේ යල් පැනගිය ප්‍රජාපීඩක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා එවැනි රටවල දඟගෙට දක්කන්නේ පාලකයන්ට අවශ්‍ය, පාලකයන්ට හිසරදයක් වුණ පිරිස් විතරයි.

නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කිරීම

ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය, දියුණු ලෝකය නීතියේ ආධිපත්‍ය වෙත වේගයෙන් ගමන් කරද්දී අපි පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ දුටුවේ එහි විලෝමය. රාජපක්ෂ යුගය සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පැවැති ප්‍රබල විවේචනයක් තමයි “නීතියේ ආධිපත්‍ය නොතකා තෝරාගත් පිරිසක් ඉලක්ක කොට ගෙන පමණක් නීතිය ක්‍රියාත්මක වීම”. මෙහි සරල අදහස වුණේ රාජපක්ෂ ජුන්ටාවට එරෙහි, දරාගත නොහැකි පුද්ගලයන් වෙත අසීමාන්තිකව හා නොසිතිය හැකි වේගයෙන් නීතිය ක්‍රියාත්මක වෙද්දී (ජනරාල් සරත් ෆොන්සේකා, අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක වැනි) රාජපක්ෂ සුරතලුන්ට එරෙහිව මුක්තිය හිමිවීම. දුමින්ද සිල්වා, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති මේ සඳහා දැක්විය හැකි හොඳම උදාහරණ. එහෙත් සිදු විය යුතු පරිදිම අපේක්ෂා කළාටත් වඩා කලින් මේ පාලනය නිමා කිරීමට 2015 ජනවාරි 08 වැනිදා මේ රටේ ජනතාවට හැකියාව ලැබුණා.

යහපාලන ආණ්ඩුව බලයට පත් වුණේ රටේ නීතියේ ආධිපත්‍ය යළි ස්ථාපිත කරන බවට වන සහතිකයක් ද සමඟයි. ඒ සහිතකය මත තමයි රාජපක්ෂ පාලන සමයේ නීතියට කොකා පෙන්වමින් සිදුකළ බොහෝ දේවල්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමට පසුබිම සම්පාදනය වුණේ. උදාහරණයක් ලෙස හදිසි අනතුරක් වශයෙන් සලකා ෆයිල් වසා තිබූ වසීම් තාජුඩීන් ඝාතනය, භාරත ලක්ෂ්මන් ඝාතනය වගේම හමස් පෙට්ටියේ තිබුණු ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීප් එක්නැලිගොඩ අතුරුදන් කිරීම වගේම උතුරු නැඟෙනහිර සිදු වූ බව කියන පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් හා ඝාතන වගේම වැලිකඩ රිමාන්ඞ් සිරකරුවන් ඝාතනය කිරීම වගේ සිදුවීම් සිය ගණනක් නීතිය හමුවට ආවේ යහපාලනය දුන් මේ සහතිකය නිසයි. භාරත ලක්ෂ්මන් ඝාතනය වෙනුවෙන් වැරදිකරු වූ දුමින්ද සිල්වා ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින්නේ මේ වෙනස නිසයි.

නීතියේ ආධිපත්‍ය යළි සහතික කරමින් රට වඩාත් ධනාත්මක ගමනක් ආරම්භ කරමින් තිබෙන අවස්ථාවක එම ගමන යළි ආපසු හැරීමට පසුගිය කාලය පුරාම රාජපක්ෂ රෙජිමයේ චූදිතයන් වෑයම් කළා. ඒ මේ යාන්ත්‍රණ හා ක්‍රියාවලිය අභියෝගයට ලක් කිරීම මගින් සහ ඒවාට අවමන් කිරීම මගින්. ඇතැම් අවස්ථාවල මේ ක්‍රියාවලියේ නියුතු නිලධාරීන් භීතියට පත් කිරීමේ වෑයම් පවා ක්‍රියාත්මක වුණා. “යළි රාජපක්ෂ පාලනයක් ආ විගස එෆ්.සී.අයි.ඩීයේ නිලධාරීන් එලවන බවට හිටපු දකුණු පළාත් ඇමැති ඉන්දික කළ ප්‍රකාශය එවැන්නක්. මේ අසීරු තත්ත්වය තුළ දැඩි බාධා කිරීම් මධ්‍යයේ වුණත් රටේ යළිත් නීතියේ ආධිපත්‍ය තහවුරු වීම ජනතාව සැලකුවේ ජයග්‍රහණයක් විදිහට.

නීතිය කෙළසා දැමීමේ ඉතිහාසය

ඒත් නැවත වතාවක් මේ සංවාදය අලුත් තලයකින් මතුවෙලා තිබෙනවා. ඒ ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා සම්බන්ධයෙන්. දැන් බොහෝ දෙනෙක් අහන්නේ “ගෝඨාභය රාජපක්ෂ සිටින්නේ නීතියට ඉහළින්ද ?” කියලයි. ජනතාව අතර මෙවැනි ප්‍රශ්නාර්ථයක් ඇති වීමට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් පසුගිය කාලයේ සිදු වෙමින් පවතින සිදුවීම් ජාලය හේතු වෙලා තිබෙනවා. ඒ අතර ප්‍රධාන වන්නේ ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා පරීක්ෂණ පැවැත් වූ මූල්‍ය අපරාධ පොලිස් කොට්ඨාසය පසුගියදා ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන විට රාජපක්ෂ මහතා තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වන ලෙස ඉල්ලා වාරණ නියෝගයක් ලබා ගැනීමයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මේ හැසිරීම යහපාලන ආණ්ඩුව යටතේ පමණක් නොවෙයි. ඔහු බලවත්ව සිටි සමයෙත් සිදු වුණා. මිග් 29 ගනුදෙනුව සම්බන්ධ අධිකරණය හමුවේ විභාග වූ නඩුව සමයේත් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආකාරයෙන් නීතියට ඉහළින් සිටීමට ක්‍රියා කළා. මේ නීතියට ඉහළින් සිටීමට ගෝඨාභය රාජපක්ෂ මහතා දක්වන පුදුමාකාර කැමැත්ත ඔහු ආරක්ෂක ලේකම්වරයාව සිටි කාලයේ ඕනෑවටත් වඩා ප්‍රදර්ශනය වුණා. ඒ අතර සියලුම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන බිඳ දමමින් මැතිවරණ වේදිකාවලට දුමින්ද සිල්වා, උදය ගම්මන්පිල ආදීන්ගේ මැතිවරණ වේදිකාවලට නැගී ප්‍රසිද්ධයේ දේශපාලනයේ යෙදීම ප්‍රධානයි. මෙය සාමාන්‍ය රාජ්‍ය නිලධාරියෙක් අතින් වුණා නම් මේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන අනුව ඔහුව හෝ ඇයට දෙවියන්ගේම පිහිටයි.

රණවිරු පිරුවටයට මුවාවීම

ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් සමාජයේ පැහැදිලි කියවීම් දෙකක් තිබෙනවා. ඉන් වඩාත් වර්ණවත් හා ආකර්ෂණීය වන්නේ 2005 - 2015 දශකයේ රටේ බලවත්ම පරිපාලන නිලධාරියා , මිලිටරි නායකයා වශයෙන් සිටිමින් දැවැන්ත රාජ්‍ය සම්පත් හා බලයක් වැය කරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් ගොඩනගා ගත් සිංහල බෞද්ධ නායකත්වය. ඒ තුළ පසුගිය ඉරිදා මව්බිම පුවත්පත වාර්තා කළ ප්‍රධාන පුවතට සම්බන්ධ ව්‍යාජ සමීක්ෂණයේ අන්තර්ගත සියලු ගුණාංග තිබුණා. රාජපක්ෂ රෙජිමයේ පරාජයට වසර තුනක් ගත වීමට ආසන්න වන විටත් ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ මිලිටරි හා භික්ෂූ කල්ලිය විසින් මහත් රුචියෙන් නඩත්තු කරන්නේ, ජනතාව තුළ වන්දනාවට ලක් කරන්න උත්සාහ කරන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් ඊනියා දියසේන කුමාරයාගේ ප්‍රතිරූපයයි. මේ ප්‍රතිරූප වන්දනාව සමඟ ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ප්‍රතිපත්ති විරහිතව පෙනී සිටින භික්ෂූන් වහන්සේලා සහ “වියත් මඟ” “එළිය” ආදි ගෝඨාභය රාජපක්ෂ නායකත්වය දෙන ව්‍යාපෘතිවල ඊනියා බුද්ධිමතුන් වශයෙන් පෙනී සිටින කණ්ඩායම අවධාරණය කරන්නේ ත්‍රස්තවාදයෙන් රට බේරාගත් රණවිරුවා දඩයම් කිරීමට තමන් ඉඩ නොදෙන බවයි. කොටින්ම මේ කල්ලිය දිවි හිමියෙන් අවධාරණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කෙස් ගසකටවත් අත තැබීමට ඔවුන් ඉඩ නොදෙන බවයි.

ඒත් ප්‍රශ්නය වන්නේ රණවිරු දඩයමට එරෙහිව ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැඳීමට ප්‍රතිඥා දෙන මේ කල්ලිය ලංකාවේ කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහ සටනට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන් කණ්ඩායම ගෝඨාභය රාජපක්ෂ විසින් වැලිකඩ දක්කන විට දැක්වූ පුදුමාකාර නිහඬතාවයි. ගෝඨාභය රාජපක්ෂ විසින් ජෙනරාල් සරත් ෆොන්සේකාගේ සියලු නිලතල පමණක් නොව විශ්‍රාම වැටුප පවා අහෝසි කර, යුද ජයග්‍රහණය සම්බන්ධයෙන් වන සියලු වාර්තාවන්ගෙන් යුද හමුදාපතිවරයාගේ නම ඉවත් කරන විට ඒ සම්බන්ධයෙන් දැක්වූ අනුකූලතාවයි.

මේ කල්ලියේ කුහකත්වය තවත් හෙළි කරන්නේ නම් කොටි ත්‍රස්තවාදයට එරෙහි සටනේ තවත් අසහාය විරුවකු වන ජෙනරාල් ජානක පෙරේරා මහතා රාජපක්ෂ කල්ලියේ දඩයමට ලක්වන විට (2007 උතුරු මැද පළාත් සභා මැතිවරණයේදී එජාපයේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වූ විට) මේ කිසිදු භික්ෂූ කල්ලියක් හෝ අද ගෝඨාභයගේ රණවිරු අයිතිය වෙනුවෙන් පෙනී සිටින කල්ලිය එදා ජෙනරාල් ජානක පෙරේරා සම්බන්ධයෙන් පෙනී සිටියේ නැත. අවසානයේ ජානක පෙරේරා මහතා කොටි බිල්ලක් බවට පත් වුණේ රාජපක්ෂ රෙජිමය විසින් ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැක්වූ නිද්‍රාශීලී පිළිවෙත නිසා බව කිසිවකුට රහසක් නොවෙයි.

මේ ආකාරයෙන් සැබෑ රණවිරුවන් ඊනියා රාජපක්ෂ රණවිරුවන්ගේ කෲර පලිගැනීමට ලක්වෙද්දී ගෝඨාභය රාජපක්ෂ ඊළාම් යුද්ධයේ අසහාය රණවිරුවා බවට පත්ව ඔහු දෙවියන් වහන්සේගේ තත්ත්වයට අභිෂේක කිරීමට මේ කල්ලිය දක්වන පුදුමාකාර උනන්දුව විමතියට සේම හාස්‍යයට කරුණක්. අප එසේ පවසන්නේ ඉතාම පැහැදිලි හේතු ඇතිව. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධය වෙනුවෙන් දක්වන ලද සැබෑ දායකත්වය පසුගිය කාලය පුරාම දැඩිව ප්‍රශ්න කිරීමකට ලක්ව තිබෙන නිසයි.

ගෝඨාභයගේ සැබෑ තත්ත්වය පැහැදිලි කරන මේ විවේචකයන් කියන්නේ 90 දශකයේ ආරම්භයත් සමඟ යුද හමුදාවෙන් ඉල්ලා අස්වී අමෙරිකාවට සංක්‍රමණය වී එහි පුරවැසිභාවය ද ලබාගෙන සාමාන්‍ය රැකියාවක් කරමින් සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් වූ විට නැවත ලංකාවට සංක්‍රමණය වී ආරක්ෂක ලේකම්වරයා බවට පත්වන තෙක් මේ මහා රණවිරු දැනුම රටට ලබා නොදුන්නේ මන්ද යන්නයි. මන්ද ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකාවට සංක්‍රමණය වූ පසු ගෙවුණ කාලය ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් අතිශයින් තීරණාත්මක වුණා. අලිමංකඩ, මුලතිව් වැනි මහා කඳවුරු බිඳ වැටෙද්දී, කටුනායක, අනුරාධපුර වැනි ගුවන් හමුදා කඳවුරු වැනසෙද්දී, හමුදාවේ සෙබළුන් සොයමින් ආණ්ඩුව ගම්මාන පුරා යද්දී මේ මහා රණවිරුවා ලංකාවේ පස් පෑගුව බවක් හෝ කිසිවකු දන්නේ නැහැ.

මේ මහා සංග්‍රාම විශේෂඥයා ප්‍රාදූර්භූත වන්නේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වූ 2005 දී. අවුරුදු 15ක් යුද බිමේ පස් නොපෑගූ ගෝඨාභය රාජපක්ෂ මහතා 2005 -9 කෙටි කාලය තුළ මහා යුද ප්‍රවීණයෙක් වුණේ කොහොමද යන්න පසුගිය කාලය පුරාම සරත් ෆොන්සේකා මහතා උපහාසයෙන් ප්‍රශ්න කළ බව අප අමතක නොකළ යුතුයි. යුද ජයග්‍රහණයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉතා කෲර ලෙස සරත් ෆොන්සේකා මහතාව දඩයම් කරද්දී අපි දුටුවේ යුද ජයග්‍රහණයේ සැබෑ පීතෘත්වය ඉතා වංචනිකව තමා සතු කර ගැනීමට ගත් වෑයමක් මිස වෙන දෙයක් නොවෙයි.

මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ රාජපක්ෂ රෙජිමය බලය හෙබවූ සමයේ රාජපක්ෂ පවුල වෙතින් රාජ්‍ය සම්පත් ඉතා අනිසි ලෙස තම සුඛවිහරණය සඳහා යොදා ගත් කල්ලිය ඒවාට කෘතගුණ සැලකීමට සේම යළි එම සුඛවිහරණ ලබා ගැනීමේ තෘෂ්ණාවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඔසවා තැබීම සඳහා අප්‍රහිත ධෛර්යකින්, ප්‍රතිපත්ති විරහිත අවනතභාවයකින් ක්‍රියාත්මක වන බවයි.

මේ වෑයම පරාජය කළ යුතුමයි

ගෝඨාභය රාජපක්ෂ මහතා නීතියට ඉහළින් තැබීමට හා ඔහු වටා අසහාය බලයක් නිර්මාණය කිරීමට මේ කල්ලිය ගන්නා උත්සාහය මේ රටේ ජනතාව විසින් තීරණාත්මකව පරාජය කළ යුත්තේ ගෝඨාභය රාජපක්ෂ යළි ඔසවා තැබීම සඳහා ගන්නා මේ වෑයම කිසිසේත් ප්‍රජාතන්ත්‍රවාදයට, මානවවාදයට පමණක් නොව 2015 ජනවාරි 08 වැනිදා දිවි හිමියෙන් දිනාගත් යහපාලනයට ද දැවැන්ත විනාශයක් උදා කරන තත්ත්වයක් නිසයි.

මන්ද මේ කල්ලිය ගෝඨාභය රාජපක්ෂ මහතා ඔසවා ගෙන ලංකාව වටේ ගෙන යන්න වෑයම් කරන්නේ බුද්ධිමත් ජනතාව විසින් පසුගිය කාලය පුරාම ඉතිහාසයේ කුණු බක්කියෙනුත් ඔබ්බට විසි කරදැමූ දැඩි අධිකාරිවාදී පාලනයක් වෙතටයි. ඔවුන්ගේ මේ වුවමනාවේ සැබෑ හෙළුව පසුගියදා එළියට පැමිණි ඊනියා ජනමත සමීක්ෂණය මගින් මනාව හෙළිකර තිබෙනවා.

“ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සියයට 39.18ක් පිරිසක් කැමැත්ත පළ කොට ඇත. සිංහල බෞද්ධ පදනම හා ඇමැති ධූරයක් හොබවන්නේ නැතිව රටට කළ සේවය, කොළඹ නගරය අලංකාරය අගය කරන පිරිස බහුතරයකි. ඇවන්ගාඩ් නඩුව, ද්විත්ව පුරවැසිභාවය, මුදල් අවභාවිතය, සුදු වෑන් පිළිබඳව ප්‍රශ්නයක් නොමැත. ඒවා රටේ ජනතාවගේ ආර්ථිකයට ප්‍රශ්නයක් නොවන අතර, දැඩි තීරණ ගැනීම, ඍජු තීරණ ගැනීම, යුද්ධයට දැක්වූ දායකත්වය නිසා මෙසේ ඉහළ ප්‍රතිචාරයක් ලැබී ඇත.

මේ ඊනියා සමීක්ෂකයන් කියන ආකාරයට ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි තීරණ, ඍජු තීරණ ගත්තේ කවුරුන් වෙනුවෙන් ද, කාගේ මනදොළ පිරවීම සඳහා ද යන්න රාජපක්ෂ මහතාගේ දශකයක ක්‍රියාකාරීත්වය නිරවුල් මනසින් යළි යළිත් මෙනෙහි කරමින් අප විසින් නිරාකරණය කර ගත යුතුයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂා කළ කාලයට වඩා කලින් බලයට ඉව ඇල්ලීමට පටන් ගැනීම සමඟ නැවත වතාවක් මේ රටේ ජනතාව ඉතාමත් තීරණාත්මක අවස්ථාවකට පැමිණ තිබෙනවා. ඒ 2015 ජනවාරි 08 වැනිදා සේම අගෝස්තු 17 වැනිදා තීරණාත්මක ලෙස පරාජය කළ අධිකාරිවාදී රෙජිම පාලනයකට වෙනත් වේෂයකින් යළි හිස එසවීමට අවස්ථාව ලබා දෙනවාද ? එසේ නැතිනම් තෙවැනි වරටත් මේ රෙජිමය තීරණාත්මකව පරාජය කරමින් තෙවසරකට ආසන්න කාලයක් ඔසවා ගෙන ආ ප්‍රජාතන්ත්‍රවාදයේ, යහපාලනයේ ධජය ඉදිරියට ගෙන යනවාද ? යන ගැටලුව වෙතටයි. මෙහිදීත් ජනතාව 2015 ජනවාරි 08 වැනිදා ගත් ඒ ඓතිහාසික තීන්දුව ගන්නා බවට සහතිකයි. ඒ රාජපක්ෂ පන්නයේ ඒකාධිපතිවාදය කිසිසේත් සොඳුරු ආඥාදායකත්වයක් නොවන බව ජනතාව බොහෝම හොඳින් දන්නා නිසයි.

භාතිය බරුකන්ද 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...