රහස් පොලිසියට හමුවූ අමුතු සපත්තු ලෝලියා | දිනමිණ

රහස් පොලිසියට හමුවූ අමුතු සපත්තු ලෝලියා

මනෝ විද්‍යාවේ CID හාස්කම්
සත්‍ය කතාවක දසවන කොටස

පසුගිය අවුරුදු කීපය පුරාම, ඩාරින් දුම්රියපොළේදී හෝ මන්දගාමී දුම්රියේදී රහස් මල්ල එල්ලාගත් ඩ්‍රෝෆ් කිහිප වතාවක්ම ඇන්ඩෲ විසින් දකින ලදී. දිනක් ඇන්ඩෲ ගණකාධිකාරී කටයුත්තක යෙදී රෑ බෝවී නිවසට ආවේ පාන්දර කෝච්චියේය. පුදුම මල්ල හා බ්‍රීෆ් කේසයක් සමඟ දුම්රිය තුළ ඩ්‍රෝෆ් සිටිනවා දැකීමෙන් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත් විය.

හිතන මහත්තයා මේ දවස්වල සිටියේ ඉහවහා ගිය සතුටකිනි. අහල පහළ හැම දෙනාටම මේ වෙනස හොඳටම දැනුණා. අතීතයේ යම් දවසක, ඔහුගේ සැඳෑ භාවනා සක්මනේදී, ඔබ ඔහුට “සුබ සැන්දෑවක්“ කීවායි සිතන්න; ඔහුද පෙරළා ඒ වචන දෙකම, ඉතාමත් විනීතව ඔබටම ප්‍රදානය කරනවා හැරෙන්නට, සතුටු සාමිචිය දිග්ගැහීමට මොහොතක් හෝ ඔබ ළඟ නතර වන්නේ නැත. නමුත්, දැන් ඔහු අංශක 180 ක්ම ආපස්සට හැරී ඇත. මෑත දිනක සැදෑවක, හිතන මහත්තයා තම පුරුදු භාවනා සක්මනේ යෙදී සිටියේය. ඔහුගේ අසල්වැසියෙක් ද මාවත අයිනේ තම මෝටර් රථය උණුසුමේ තබාගැනීමට සාත්තුවක් කරමින් උන්නේය.

“සුබ සැන්දෑවක්“ හිතන මහත්තයා අසල්වැසියාට සුබ පැතුවේය.

“සුබ සැන්දෑවක්“ පුදුම වූ අමුත්තා පෙරළා සුබ පැතුවේ දැඩි කුතුහලයකිනි. මන්ද, හිතන මහත්තයා කවරෙකු හෝ පළමුව සුබ පතන තෙක් කවරෙකුට හෝ පළමුව සුබ පතන වර්ගයේ මිනිසෙක් නොවන බැවිනි.

“මට හිතෙන්නෙ, සීත ඍතුවට කාලෙ එළඹිලා වගේ“ හිතන මහත්තය සංවාදය දීර්ඝ කරමින් සුහදව කීවේය.

“මාසෙකට කලින්ම, මම කාර් එකේ උණුසුම් පද්ධතිය අලුත්වැඩියා කර ගත්තා. ඒ හින්දා ඊයේ රෑ ආපහු එනකොට සීතලෙන් බේරුණා“ අසල්වැසියා සිනාසෙමින් කීවේය.

“ඔව්, ඊයේ රෑ හරියට සීතල දැනුණාÓ අමුත්තාගේ අදහස පිළිගනිමින් පිළිතුරු දීගෙනම හිතන මහත්තයා ඉදිරියට ඇවිද යන්නට විය.

මේ ඒ අන්දමට, අසල්වැසියෙක් සමඟ සංවාදයක් දික්ගැසූ පළමු අවස්ථාවය.

නත්තල් හමාර වී දින කිහිපයකට පසුව එක් අවස්ථාවක, හිතන මහත්තයගේ අඳුරු අද්භූත පැරණි නිවස අසල කොලු කුරුට්ටන් පන්දු කෙළිමින් සිටියහ. මෑතකදී කුලී නිවසකට පැමිණි ළමයෙක් ද ඒ අතර විය. ඔහු අත ලී සහ කඩදාසිවලින් නිමවන ලද සෙල්ලම් අහස් යානාවක් තිබූ අතර එය ඇඟිලිවලින් අල්ලා ගුවන්ගත කිරීමට විසිකිරීමේදී අසමබරවීමකින් හිතන මහත්ත‍යගේ වැටට උඩින් කූරියා ගසමින් ගොස් පිස්සු ගෙදර මිදුලට පාත්විය. නිවසේ ජනේලයක් අලුත්වැඩියා කරමින් සිටි හිතන මහත්තයා මෙය දුටුවේය.

සෙසු කොලු කුරුට්ටන් පුදුමයෙනුත් පුදුම වී බලා සිටිද්දී, හිතන මහත්තයගේ තරම නොදන්නා අලුතින් ආ කොල්ලා කිසිදු චකිතයකින් තොරව සෙල්ලම් යානය වෙත ළඟා වී එය අහුලා ගන්නට උත්සාහ කළේය. මෙය දුටු හිතන මහත්තයා කොල්ලා දෙසට නිහඬව පැමිණ, ඔහුට යමක් මුමුණමින් යානය සියතට ගත්තේය. ඉන් අනතුරුව, උඩට ඔසවා එය ඉතා හොඳින් නිරීක්ෂණයකොට, වලිග පෙන්දේ යම්කිසි අඩුවක් සකසා සිනහමුසු මුහුණින් එය අහසට විද්දේය. එය නිසියාකාරව මාවත දෙසට පියාසර කරන්නට විය.

“එයා ඔයාට බැන්නද?“ කොලු කුරුට්ටන් අලුත් කොළුවාගෙන් විමසූහ.

“නෑ; එයා හරි හොඳ කෙනෙක්, ප්ලේන් එක හරිගස්සල උඩට ඇරිය“

හිතන මහත්තයගේ මේ හිත් පෙරළිය ගැන ඉව ඇල්ලීමට පිස්සු ගෙදර ඉහළම මාලය බදුගෙන සිටි නිවැසියන් උනන්දු වන්නට විය. අවුරුදු ගණනාවකම සිට, තැපැල් මාර්ගික පාඨමාලාවකින් හිතන මහත්තයා පියානෝ වාදනය ඉගෙන ගනිමින් සිටියේය. ඔහුගේ වාදන හැකියාව අතිශයින් දුර්වලවීමෙන් පමණක් නොව, ඉතා මන්දගාමී, අවමංගල සංගීත ඛණ්ඩ වාදනය කිරීමට ඔහු දැක්වූ උනන්දුවෙන්ද කුලී නිවැසියන් අතිශයින්ම අසහනයට පත්ව සිටියහ. ඇතැම් විටෙක මේ එකම මළ අ‍ඳෝනාව පැය ගණන් දික්ගැසුණි. එහෙත් මෙන්න විස්මය! නැටුමට බර, වේග රිද්ම සංගීත ඛණ්ඩයක් වාදනය කිරීමට දැන් ඔහු පටන් ගෙන.

හිතන මහත්තයාගේ වෙනස්වීම පුදුම සහගතය. ඔහු සෑම ඉරිදා දිනකම උදෑසන ශාන්ත පැට්‍රික් දේවස්ථානය කරා යාමට පුරුදු වී සිටියේ අසීමිත භක්තියෙනි. දැන් ඔහු, දේව මෙහෙයෙන් පසු අනෙක් භක්තිවන්ත පිරිස සමඟ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආචාරශීලී වීමට පටන්ගෙන තිබේ. නමුත් මීට පෙර, දේව මෙහෙය නිමවූ සැණින් ගෙදර දිවීමට උත්සාහ ගත් අතර, කවරෙකු හෝ සුබ පැතුවේ නම් ඒ වචනම පෙරළා උච්චාරණය කොට ඔළුව වනන්නේ ගමනේ යන අතරය.

දෙවියන් වහන්සේ ස්වර්ගයේ වැඩවසන සේක. ලෝකය තුළ හැම දෙයක්ම යහපත් අතට සිදුවෙමින් පවතී,

* * * * *

ජෝන් ඇන්ඩෲස් (මේ ඔහුගේ සැබෑ නාමය නොවේ) කෙනෙක්ටිකට්හි ඩාරින්වල විසූ නිතර ගමන්බිමන්වල නිරත පුද්ගලයෙකි. 1957 නව අවුරුදු උදාවෙන් දින කිහිපයකට පසු ඔහු පොලිසිය වෙත ගියේ අතිශය උනන්දුකර කතාවක් ද රැගෙනය.

ඇන්ඩෲස් වෘත්තියෙන් ගණකාධිවරයකු වූ අතර ඔහු ජීවත්වූයේ ජර්මන් නමක් සහිත (අපි ඔහුට ඩෝර්ෆ් යැයි කියමු) පුද්ගලයකුගේ නිවසට යාබදවය. ඩෝර්ෆ්ගේ කෙනෙක්ටිකට් ලිපිනය පොලිසියට බලාපොරොත්තුවක් ඇතිකරන්නට සමත් විය.

එලෙසම, ඔහු මැදිවියේ පුද්ගලයෙකු වූ අතර කොන් එඩ් සමාගමේ විදුලි ඉංජිනේරුවරයෙකු ලෙස සේවයකොට තිබුණි. එපමණක් නොව. රෝග විස්තරය ලෙස “භින්නොන්මාදී ප්‍රතික්‍රියා“ ලෙස සඳහන්කොට සෑහෙන කලක් මානසික රෝහල්ගතව සිට ඇත. විස්මය විහිදුවන අනෙක් කාරණය වූයේ, ඔහු පුරුද්දක් ලෙසටම ඩබ්ල් බ්‍රේස්ට් සූට් එකකින් සැරසී සිටීමය.

මගේ එක් අනාවැකියකට ඔහු නොගැළපෙන්නේ විවාහ වී සිටීම නිසාය. නමුත් ඔහුගේ බිරිය වසර දහයකින් වැඩිමහල් ය. යම් කරුණක් වැටහී ගියේ ඔහු මව් මාදිලියේ බිරියක් සොයාගෙන ඇති බවය. මේ අනුව බලන විට මගේ මනඃකල්පිත ප්‍රතිරූපයට ඔහු හරියටම ගැලපේ. එපමණක් නොවේ; මොහුගේ බිරිඳගේ මව ද ඔවුන් සමඟ ජීවත්වේ. ඔහුගේ දෑත් සුහුරු වී ඇත්තේ විදුලි වැඩට පමණක් නොව ජලනළ වැඩටත් සමඟමය. ඔහු තම නිවසට අතිරේක නාන කාමරයක් සාදා නිමකර ඇති අතර එහි සියලු පයිප්ප වැඩ කටයුතු කර ඇත්තේ ද ඔහුම විසිනි.

මගේ තවත් කරුණක් සනාථ කරමින්, ඔහු මිත්‍රශීලීවීමට මෙන්ම විනීතකම් අතින්ද අසමත් පුද්ගලයෙකි. ඩෝර්ෆ් හා ඇන්ඩෲ අසල්වැසියන් වූ නිසා අඬුවක් - කතුරක් - මිටියක් වැනි දෑ හුවමාරු කරගත්තා මෙන්ම, ගෙවතු අලංකරණයේදී මල්, පලතුරු ආදී පැළෑටි මෙන්ම උපදෙස් ද හුවමාරු කරගත්තේ ඕනෑම අර්ධ නාගරික අසල්වාසියකු කර ගන්නා ආකාරයටමය. නමුත් මේ දෙදෙනා අයත් වූයේ එකම සමාජ කවයකට නොවේ. ඩ්‍රෝෆ්ගේ සමාජ පසුබිම ගැන අන්ඩෲ දැනසිටියේ අල්ප මාත්‍රයකි. නමුත් අැන්ඩෲ විසින් කුතුහලයෙන් හා චිත්තවේගී කම්පනයෙන් යුතුව, වසර ගණනාවක් පුරා දරා සිටි හැසිරීම් රටාවක් ඩ්‍රෝෆ්ට තිබුණි. එනම්, මෑන් හැට්න් යාමට පෙර නිල් පැහැති කැන්වස් රෙද්දකින් මසන ලද බෑගයක් පෙර ඩිකියට දැමීමය.

මේ පිටේ එල්ලා යන බෑගය ගැන ඇන්ඩෲ කල්පනාවට වැටුණේ මීට අවුරුදු තුනකට පමණ පෙරය. සෑම ඉරුදින සැඳෑවකම පාහේ ඩ්‍රෝෆ් මේ මල්ල කරේ දමාගෙනවිත් තම කාරයේ ඩිකියට දමනවා දැකීම ඔහුට හුරුය. තණ බිස්ස මත තැබූ පුටුවේ නිස්කලංකව වාඩි වී ඇන්ඩෲ සිටිනා අතර ඩ්‍රෝෆ්ගේ නිවස දැකීමට හැකිවන සේ පුටුව තැනින් තැනට ගෙන යයි. අවසානයේ වැට අද්දරින් ඔහුට එදෙස ඔත්තු ඇහැක් යැවීමට කුඩා ඉඩක් සොයා ගන්නට පුළුවන් විය. තමන්ට අයිති නැති දේ ගැන විපරම් කිරීමේ තද අවශ්‍යතාවයක් ඔහුට ති‍බුණේ නැත. එහෙත් ඉබේ මෙන් ඇස ගැටුණ එක් සිද්ධියක් නිසා ඔහුගේ කුතුහලය වැඩෙන්නට විය. ඩ්‍රෝෆ්ගේ බිරිඳ හා ඇගේ මව පවුලේ වාහනයෙන් නිවසින් පිටව ගියහ. එය එතරම් ගණන් ගත යුතු දෙයක් නොවේ.

ඉන් මොහොතකට පසුව ඩ්‍රෝෆ් නිල් පැහැති මල්ල රැගෙන එළියට ආවේය. ඊළඟට ඔහු, නිතර දුම්රියපොළට යාමට භාවිතා කරන කළු පැහැති කුඩා කාරය අසලට වී මඳක් කල්පනා කරන්නට විය. අවට අසල්වැසියන් අවධානයෙන් සිටින්නේදැයි විපරම්කොට, එවැනි කවරෙක් හෝ නැතැයි සහනදායී හැඟීමකින් යුතුව කාරයේ ඩිකිය ඇර නිල් පැහැති මල්ල එය තුළට දමා ගත්තේය.

මේ සිද්ධිය ඇන්ඩෲගේ මතකයෙන් මැකී ගියද මසකට පමණ පසු, පළාතේ පරණ බඩු වෙන්දේසියකදී ඩ්‍රෝෆ් හා බිරිඳ ඇන්ඩෲට හමුවිය. ඔවුන්ගේ පවුලේ ලොකු වාහනයක් අලුත්වැඩියාවකට දමා තිබුණ බැවින් පැමිණ සිටියේ ඩ්‍රෝෆ්ගේ කුඩා කළු කාරයේය. ජෝඩුව මිලදී ගත් අඩුම කුඩුම කුඩා කාරයේ පැටවීමට බැරි තරම්ය.

“මේවයෙන් ටිකක් ඩිකියට දැම්ම නම් හරිනෙ?“ඇන්ඩෲ පැවසුවේය.

“නෑ, මේ කාර් එකේ ඩිකියේ යතුර නැතිවෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. ඩ්‍රෝෆ් ඉක්මනින් කීවේය.

දැන්නම් ඉතින් ඇන්ඩෲගේ කුතුහලය ඕනටවත් වඩාය. “එයාගෙ බිරිඳ, මේකෙ ඩිකිය දැක්කාම මොකද?“ මේක ඇතුළට දාපු නිල්පාට මල්ලෙ මොකක් හරි රහසක් තියෙනවද?

පසුගිය අවුරුදු කීපය පුරාම, ඩාරින් දුම්රියපොළේදී හෝ මන්දගාමී දුම්රියේදී මේ රහස් මල්ල එල්ලාගත් ඩ්‍රෝෆ් කිහිප වතාවක්ම ඇන්ඩෲ විසින් දකින ලදී. දිනක් ඇන්ඩෲ ගණකාධිකාරී කටයුත්තක යෙදී රෑ බෝවී නිවසට ආවේ පාන්දර කෝච්චියේය. පුදුම මල්ල හා බ්‍රීෆ් කේසයක් සමඟ දුම්රිය තුළ ඩ්‍රෝෆ් සිටිනවා දැකීමෙන් ඔහු පුදුමයෙනුත් පුදුමයට පත් විය. ඔහු දුම්රියෙන් බැස ගොස්, අර පුදුම මල්ල සිය කාරයේ ඩිකියේ දමා ලොක් කරන දෙස ද ඇන්ඩෲ ඇස ගසා සිටියේය.

උමතු බෝම්බයාගේ තොරතුරු කියවීමත් සමඟ ඩ්‍රෝෆ් ගැන සියලු මතක සටහන් මෙනෙහි කෙරූ ඇන්ඩෲ පසුදින ඩාරීන් පොලිසියට ගොස් මේ සියල්ල හෙළි කළේය. මේ අනුව පසුදා, කෙනෙක්ටිකට් පොලිසියේ රහස් පරීක්ෂකයින් දෙදෙනෙක් ඩ්‍රෝෆ් බලාපොරොත්තුවෙන් දුම්රියපොළ ඉදිරිපිට වාහන නැවතුමේ රැඳී සිටියහ. ඩ්‍රෝෆ් තම රථයෙන් බසිනවාත් සමඟම රහස් පරීක්ෂකයින් දෙදෙනා ඔහු වෙතට ගොස් ඉතා විනීතව ඉල්ලා සිටියේ ඩිකියේ ඇති බෑගය විවර කරන ලෙසය.

ඩ්‍රෝෆ් කිසිදු කලබලයෙන් තොරව ඩිකිය විවෘතකොට නිල් පැහැති රහස් පැස විවෘත කළේය.

රහස් පරීක්ෂකයින් පුදුම කරමින් එහි තිබුණේ නුහුරු විලාසිතාවකට අනුව නිමවන ලද ස්ත්‍රීන්ගේ දණහිස තෙක් උසැති බූට් සපත්තු ජෝඩුවකි.

ඩ්‍රෝෆ්, නිව්යෝර්ක් පුරාංඟනාවන්ට ඇබ්බැහිවූවෙකු වන අතරම ඔහු වඩාත් තෘප්තියක් ලබාගෙන ඇත්තේ තම සුන්දරියන්, මේ පාවහන් යුගළින් පමණක් ඔවුන්ගේ ගත සරසා ඉන්නා විටදීය. මනෝ චිකිත්සාවට අනුව ඩ්‍රෝෆ් යනු අර්චනකාමියෙකි. එනම් අසාමාන්‍ය ආකාරයට රාගාශා උද්දීපනයෙන් පිනවීම ලබන අහිංසකයෙකු මිස දරුණු අපරාධකාරයෙකු නොවේ.

සිංහල කළේ සමුනි සමරකෝන්

සඳුදා - ජෝර්ජ් මෙටාස්කිගෙන් මනෝ වෛද්‍ය බ්‍රසල් සමුගනී


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...