සෙංකඩගල විදුහලක අඳ බිහිරි පාලනය | දිනමිණ

සෙංකඩගල විදුහලක අඳ බිහිරි පාලනය

අසේල කුරුළුවංශ

සාමාන්‍ය දරුවන්ට සමානව අඳ හා බිහිරි දරුවන්ටද අධ්‍යාපනය ලැබීමට අයිතියක් තිබේ.එහෙත් සාමාන්‍ය දරුවන්ට මෙන් එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරක්ෂිත කිරීම සඳහා කිසිදු රජයක් එතරම් අවධානයක් යොමුකර නොමැත.විශේෂ අවශ්‍යතා ඇති අඳ හා බිහිරි දරුවන් අධ්‍යාපනය ලබන පාසල් 25 ක් මෙරට ඇති අතර ඒවා වර්ග කර ඇත්තේ උපකෘත පාසල් ලෙසය.මෙම පාසල් සඳහා ගුරුවරු හා පෙළ පොත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලබා දුන්නද සෙසු පහසුකම් සියල්ල සපුරා ගත යුතුව ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙනත් උපකාරක අයතන මගිනි.මෙම කටයුතු සංවිධානය කිරීම පිණිස පාලක මණ්ඩලයක් ස්ථාපිත කර තිබෙන අතර එහි ව්‍යවස්ථාව අනුව සභාපති ධූරය හිමිවන්නේ අදාළ විදුහල පිහිටි දිස්ත්‍රික්කයේ දිසාපතිවරයාටය.පහළොස් දෙනකු ගෙන් පමණ සමන්විත පාලක මණ්ඩලයක් මගින් මෙම විදුහල් පරිපාලනය වන අතර මධ්‍යම පළාතට ඇති මේ ආකාර එකම පාසල සෙංකඩගල අඳ බිහිරි විදුහලයි.අඳ ,බිහිරි යන වචන වෙනුවට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස මෙම පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් හැඳින්වීම කෙරෙහි ලෝකයේම අවධානය යොමුව තිබෙන අවස්ථාවක මෙම පාසලේ නම හෝ ඊට ගැලපෙන ලෙස වෙනස් කිරීමට පාලක මණ්ඩලයට මෙතෙක් නොමැකිවී තිබේ.කොතරම් ඉල්ලීම් කළත් බලධාරීන් නෑසු කන්ව සිටින්නේ නම් සාමාන්‍ය ජනවහරට අනුව එය හඳුන්වනු ලබන්නේ බිහිරි අලින්ට වීණා වාදනය කරන්නාක් මෙන් යනුවෙනි.සෙංකඩගල අඳ බිහිරි විදුහලේ පාලක මණ්ඩලයටද අකමැත්තෙන් වුව මෙම කියමන ගැලපෙන බව කියන්නට සිදුව තිබෙන්නේ එම පාසලේ දක්නට ලැබෙන අඩුපාඩු හේතුවෙනි.

රියෙන්සි අලගියවන්න හා කේ.බී දොඩන්වල මහත්වරුන්ගේ පුරෝගාමීත්වයෙන් දෘෂ්‍යාබාධත සිසුන් 06 දෙනකු ගෙන් මෙම පාසල ආරම්භ කර තිබෙන්නේ 1962 මාර්තු 08 දිනය.අලගියවන්න මහතාගේ දරුවකුද උපතින්ම දෘෂ්‍යාබාධිත වීම මෙම පාසල ආරම්භ කිරීමට මූලික වස්තු බීජය වූ මෙම පාසලේ නේවාසිකාගාරය අද අන්ධ දරුවන්ට අකැපය.එහි ළමුන් දෙසීයක පමණ සංඛ්‍යාවකට නේවාසික හසුකම් තිබේ.මේ වන විට කන් නොඇසෙන හා කතා කිරීමට නොහැකි දරුවන් 46 දෙනකු නේවාසිකව මෙහි අධ්‍යාපනය ලැබුවත් අන්ධ දරුවන්ට එම පහසුකම නොලැබේ.ඒ පාලක සභාවේ තීරණයකට අනුවය.අන්ධ දරුවන්ට කණ වැල අල්ලන්නට අය නේවාසිකාගාරයේ නොමැති බවට පාලක සභාවේ ප්‍රබලයකු ගත් තීරණයක් නිසා මෙම තත්ත්වය මතුව ඇත.ඉන් අති දුෂ්කරතාවට පත්ව සිටින්නේ දෑස් නොපෙනන දරුවන් සමඟ දෛනිකව කිලෝ මීටර 20 කටත් වඩා දුර ගෙවා පාසලට පැමිණෙන මව්පියන්ය.මධ්‍යම පළාතටම ඇති එකම අඳ බිහිරි පාසල වන මෙහි මහනුවර,මාතලේ,නුවරඑළිය,ත්‍රිකුණාමලය,අම්පාර,පොළොන්නරුව ආදි ප්‍රදේශ රැසක ළමුන් අධ්‍යාලනය ලබති.

මගේ පුතා ඉගෙන ගන්නේ මේ පාසලේ හතරවැනි පන්තියේ.අපි හැමදාම දෙල්තොට ඉඳලා .පාන්දර 2.00 ට නැගිටලා උයලා මම දරුවත් එක්ක උදේ 5.00 හේ බස් එකට එනවා.නුවරින් මේ පාසලට එන දොඩම්වල බස් එක 8.20 ට පිටත් වෙනවා.ඒක මිස් වුණොත් ත්‍රීවීල් එකක එන්න වෙනවා.මෙතන්ට වීල් එකක් රුපියල් 250.00 ක් ගන්නවා.ගොඩක් වෙලාවට බස් එක මිස් වෙනවා.එතකොට රුපියල් 500.00 ක් විතර දවසකට ගමන් වියදම් යනවා.මම දරුවත් එක්ක ඇවිත් පාසල ඇරෙනකම් ඉන්නවා.නෝනා රට රස්සාවකට ගියේ දරුවට උගන්වන්න ඕන නිසයි.හවස ගෙදර යනකොට 6.00 විතර වෙනවා.ඇස් දෙක පේන්නේ නැති පුතා පුදුම දුකක් විඳින්නේ.එයා ඉගෙන ගන්න ආසයි.බ්‍රේල් ක්‍රමයට ඉගෙන ගන්න ගෙදර පහසුකම් නැහැ.මෙහෙ ඉගෙන ගන්න ටික විතරයි.නේවාසිකාගාරයේ නැවතිලා පුතාට ඉගෙන ගන්න තියෙනවා නම් හොඳයි....සුගතපාල සෙනරත් මහතා පවසයි.

මෙම පාසලේ විදුහල්පති හා ගුරු මණ්ඩලය සම්බන්ධයෙන් සිසුන්ගේ හා මව්පියන්ගේ පවතින්නේ පුදුමාකාර බැඳීමකි.නගරයේ ජනප්‍රිය පාසල් වල වසර ගණන් රැඳී සිටිමින් පාසල් පන්ති කාමරයට වඩා පෞද්ගලික පන්ති කාමරයේදී දරුවන්ගේ දෑස් පාදන්නට වෙර දරන ගුරුවරු බහුල මේ රටේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපනය දෙන්නට වෙහෙසෙන මෙහි ගුරුවරු ඇත්තෙන්ම ගුරු දෙවිවරු ලෙස හැඳින්වීම වරදක් නොවන්නේය....

අඳ බිහිරි විදුහලේ විදුහල්පති කුමුදුනී අබේරුවන් මහත්මිය..සාමාන්‍ය පෙළ දක්වා පන්ති පැවැත්වෙන අපේ පාසලේ දරුවන් 87 ක් අධ්‍යාපනය ලබනවා.මේ දරුවන්ට උගන්වන්න විශේෂ පුහුණුව ලත් ගුරුවරු 18 දෙනකු ඉන්නවා. නිසි වයස සම්පූර්ණවූ පසු පාසල් ගත නොකළොත් ඒ සම්බන්ධයෙන් දරුවාගේ මව්පියන්ට හෝ බාර කරුවන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දිය හැකියි.ඒත් අපේ රටේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.මේ දරුවෝ ගොඩක් පාසල් යවන්නේ නැහැ.මව්පියන් ඒකට දක්වන උනන්දුවත් අඩුයි.ළමයාගේ ආබාධ තත්ත්වයක් ඇති වුණාම ගොඩක් අම්මාලා තාත්තලා ශාන්ති කර්ම බලි තොවිල් කරමින් දරුවා අවුරුදු 08 ක් විතර ගෙදර තියා ගන්නවා.අන්තර්කරණය පිළිබදව ලෝකය අද කතා කරනවා.සාමාන්‍යය ළමයි සමග මේ ළමයි එකට මුහු කරලා උගන්වන එක තමයි අද ලෝකයේ දියුණු රටවල් අනුගමනය කරන ක්‍රමය.අපේ පාසැල් වල මේ දරුවන්ට අවශ්‍යය පහසුකම් හෝ තාක්ෂණික උපකරණ නැහැ.විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට උගන්වන්න විශේෂ පුහුණුවක් ඕන.ඒ පුහුණුව තියෙන ගුරුවරු ජනප්‍රිය පාසැල් වල නැහැ.වෛද්‍යවරු කියන්නේ අන්තර්කරණය යටතේ දරුවන් සාමාන්‍යය පාසලකට යවන්න කියලයි.දෙමව්පියෝ මේ නිසා අඳ බිහිරි විශේෂ පාසැල් වලට ළමයා එවන්න අකමැතියි.ජනප්‍රිය පාසැල් වලට ගිහින් අවුරුද්දක් දෙකක් ගියාම ළමයාගේ ප්‍රගතියක් නැති වුණාම මේ පාසලට දරුවා ගේනවා.මේ ළඟඳීත් නුවර ප්‍රධාන පෙළේ පාසලක පහේ පන්තියේ හිටපු ළමයෙක් මේ පාසලට ගෙනාවා.ඒ ළමයාගේ දැනුම අනුව තුනේ පන්තියට තමයි ඇතුළු කළේ.ළමයි පහුවෙලා පාසලට ගේන නිසා නියම කාලයට විෂය නිර්දේශය අවසන් කරන්න බැහැ.මේ නිසා අපේ පාසලේ අවුරුදු 23 ක් වෙනකන් දරුවකුට ඉගෙන ගන්න බාධාවක් නැහැ...

සෙංකඩගල අඳ බිහිරි විදුහලේ අධ්‍යාපනය ලබන එරන්දි සමරසිංහ සිසුවිය ආබාධ සහිත තැනැත්තන් සඳහාවූ 2017 ජාතික මළල ක්‍රීඩා උළෙලේදී වයස අවුරුදු 15 න් ඉහළ මීටර 100 තරඟය ජයගෙන ඇත්තේ නව ශ්‍රීලංකා තරඟ වාර්තාවක් පිහිටුවමිනි.තත්ත්පර 15.3 කින් ඇය තරඟය නිමකර ලබාගත් ජයග්‍රහණය ඇගයීමට පළාතේ කිසිදු මැති ඇමැතිවරයකු නොමැති වීම එරන්දිගේ නොව රටේ අවාසනාවකි.පැරා ඔලිම්පික් සඳහා සහභාගී විමට ඇය මතු දිනක සුදුසුකම් ලද හොත් ඇය සමඟ යන්නට දැන් සිටම මාන බලන රජයේ නිලධාරීන් පිරිසක් සිටන බව නම් දැන් සිටම පෙනෙන්ට තිබේ.සමාජ සේවා දෙපාර්තුමේන්තුව වසරක් පාසා මෙවැනි තරඟාවලියක් හෝ මෙම දරුවන් වෙනුවෙන් පැවැත් වීම පිළිබඳව ප්‍රණාමය පිදිය යුතුය යුතුය.චතුමිණි සෞභග්‍යා වර්ණකුලසූරිය පාසලට පමණක් නොව මධ්‍යම පළාතට කීර්තියක් ගෙනදී ඇත්තේ උස පැනීමේ තරගය ජය ගෙනය.උස පැනීම පුහුණු වීම සඳහා මෙට්ටයක් හෝ නොමැතිව ඇය මෙම ජයග්‍රහණය ලබා ගැනීම සුවිශේෂිය.වයස අවුරුදු 15 න් පහළ මීටර 100 දිවීම තරඟයෙන් පූජානී වත්මාලිද කවපෙත්ත විසි කිරීමෙන් ඉසුරි තක්ෂිලා අබේරත්නද ජාතික මට්ටමේ ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ.මේ සියලු ජයග්‍රහණ සඳහා ඉතා අඩු පහසුකම් මධ්‍යයේ දරුවන් පුහුණු කර ඇත්තේ තාමාරා ජයකොඩි මහත්මියයි.

මෙම පාසලේ අධ්‍යාපනය ලබන දෘෂ්‍යාබාධිත දරුවකු වන තීක්ෂණ මාලිංග ඒකල ගායන යෙන් ප්‍රාථමික අංශයේ මධ්‍යම පළාතේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත්තේ සාමාන්‍ය දරුවන් සියල්ල පරාජය කරමින් වීම විශේෂත්වයකි.ඔහුගේ සංගීත ගුරුවරිය තනූජා නිල්මිණි ධර්මරත්නද දෘෂ්‍යාබාධිතය.

මෙම විදුහලේ ආදි සිසුවකුව සිට උපාධිධාරී ගුරුවරයකු ලෙද අද එම පාසලේම දරුවන්ට අකුරු කරන ආර්.ජී විජේසිංහ මහතා "...අන්ධ ළමයි වෙනුවෙන් මුලින් ආරම්භවූ මේ පාසලේ නේවාසිකාගාරය අද අන්ධ ළමයින්ට හිමි නැහැ.මම අන්ධ ළමයෙක් ලෙස මේ පාසලට ඇතුළු වුණේ 1976 දීයි.ඒ කාලයේ නේවාසිකාගාරයේ නැවතිලා මම ඉගෙන ගත්තේ.මේ පාසලේ අවුරුදු 08 ක් ඉගෙන ගෙන රත්මලානේ අන්ධ පාසලට ඇතුළු වුණා.පසුව උසස් පෙළ කළේ මහනුවර විද්‍යාර්ථ විදුහලෙන්.පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධිය සමත් වුණා.විශේෂ අධ්‍යාපනය සම්බන්ධ පශ්චාත් උපාධියත් කරලා 1992 වසරේ ඉඳලා මේ පාසලේ උගන්වනවා.දැනට මම දෘෂ්‍යය ඌනතා අංශයේ අංශ ප්‍රධානි ලෙස කටයුතු කරනවා.ආබාධිත දරුවෝ ගැන සමාජයේ මීට වඩා අවධානයක් යොමු විය යුතුයි.මේ පාසලේ දරුවන්ට උගන්වන්න අවශ්‍යය තාක්ෂණික මෙවලම් අඩුයි.අද ලෝකයේ හොඳ දියුණු ශ්‍රවන උපකරණ තිබෙනවා.මේවා ගැන බලධාරීන් අවධානය යොමු කරනවා අඩුයි.ළමයි අබාධිත වුණාම ගොඩක් පවුල්වල අම්මා හෝ තාත්තා පවුල අතහැර යනවා.දරුවා සමඟ එක් අයෙක් තනි වෙනවා.තාත්තා පවුල අතහැරලා ගියොත් අම්මා බාප්පා කෙනෙක් ගේනවා.එයා අතින් බොහෝ අවස්ථාවල ආබාධිත දරුවාට හිරිහැර සිදු වෙනවා.ලිංගික අපයෝජන පවා සිදුවූ අවස්ථා තිබෙනවා.සමහර වෙලාවට නේවාසිකාගාරයට ළමයා බාරදීලා බාරකරුවෝ මඟ හරිනවා.මෙවැනි දේ මගින් දරුවෝ තවත් මානසිකව ඇද වැටෙනවා.අන්තර්කරණය ගැන මහ ඉහළින් කතා කළාට ඒක අපේ රටේ සාර්ථකව ක්‍රියාත්මක වෙන්නේ නැහැ.ලොකු ලොකු අය මේ සඳහා වන ජත්‍යන්තර පුහුණුවට යනවා.ළමයින් සමඟ ඇත්තටම වැඩකරන අයට අවස්ථාවක් දෙන්නේ නැහැ.ලෝක ප්‍රඥප්තීන් වලට අත්සන් කළාට වැඩක් නැහැ රට ඇතුළේ ආබාධිතයින්ට පිළිගැනීමක් නැත්නම්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් වුණත් ආබාධිතයින්ගේ ප්‍රශ්න ගැන අවධානයක් යොමු වෙලා නැහැ.මේවා අපේ රටේ තිබෙන ප්‍රශ්න.සාමාන්‍යෙයන් විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට උගන්වන්න ලෝකයේ පිළිගත් රීතිය තමයි ළමයි පස් දෙනකුට එක ගුරුවරයෙක් කියන සංකල්පය.අන්තර්කරණය ක්‍රියාත්මක ජනප්‍රිය පාසැල් වල මේ ක්‍රමවේදය කොහොද තියෙන්නේ.අද ආබාධිත දරුවකුට ඉගෙන ගෙන වැඩක් නැහැ කියන අදහස පහළ වෙලා.ඇයි මේ අය මොන විභාගය සමත් වුණත් රැකියාවක් ගන්න ගියාම ප්‍රශ්න.අද අබාධිත තත්ත්වයේ පසුවන උපාධිධාරීන් කොච්චර ඉන්නවාද රැකියා නොමැතිව.

සෙංකඩගල අඳ බිහිරි විදුහලේ නේවාසිකාගාරය තුළදී ජූලි 31 හා අගෝස්තු 01 දින ළමුන් කිහිප දෙනකුට පහර දීමක් සිදුව තිබේ.කතා කිරීමට නොහැකි දරුවන්ට සිදුවන අඩන්තේට්ටම් නේවාසිකාගාරයෙන් පිටතට එන අවස්ථා නැති තරම්ය.එසේ වුවත් මෙම සිදුවීම් සම්බන්ධයෙන් මහනුවර පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පරීක්ෂණ සිදුකර සිසුන් 13 දෙනකු ගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ.ඇඟේ වෛර පළු නැගෙන්නට සිසුන්ට ගුටි දුන් පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් පොලීසිය හෝ පාලක මණ්ඩලය ගෙන තිබෙන පියවරක් නොමැත.නේවාසිකාගාරයේ ළමයින් පිරිසක් අයිස්ක්‍රීම් වැඩිපුර කෑම මෙම ගුටි දීමට හේතුව බව දැන ගන්නට ලැබුණේ ළමුන් කිහිප දෙනකුගේ මව්පියන් ගෙනි.ඔවුන් මේ සම්බන්ධව කට ඇරීමට බියය.ඒ දරුවාට නේවාසිකාගාරයේ දොර වැසේ යැයි බියටය....

විදුහලේ සාමාන්‍යාධිකාරී බී.බී ගමගේ මහත්මිය.මම එනකොට මේ පාසලේ නේවාසිකාගාරයේ අන්ධ ළමයින් නතර කර ගැනීම නවත්වලයි තිබුණේ.මේක අන්ධ ළමයින්ට කරන අසාධාරණයක්.අද ලෝකයම මේ දරුවන් දිහා අලුත් ඇහැකින් බලනවා.අන්ධ,ගොළු,බිහිරි කියන වචන පවා සමාජයෙන් ඈත් කරමින් විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ලෙස මේ අය හඳුන්වන්න පෙළඹී සිටිනවා.මේ පසුබිම තුළ මේ විදුහලේ නම තව දුරටත් අඳ බිහිරි ලෙස පවත්වා ගෙන යෑම දරුවන්ට කරන අසාධාරණයක්.සෙංකඩගල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ කුසලතා සංවර්ධන පාසල ලෙස මෙහි නම වෙනස් කරන්න මම යෝජනා කර තිබෙනවා.ඒකට පාලක මණ්ඩලයෙන් තාමත් යහපත් ප්‍රතිචාරයක් නැහැ.නේවාසිකාගාරයේ ළමයි 46 ක් ඉන්නවා.පාසල් නිවාඩු කාලයේ මේ ළමයි ගෙවල් වලට ගියාම ඒ අයගේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න මතු වෙනවා.නිවාඩු කාලයේ මේ ළමයින්ගේ ආරක්ෂාව තහවුරු කරන්න වැඩපිළිවෙළක් ඕන.දැනට පාසලේ ළමයින් 86 දෙනකු ඉගෙන ගන්නවා.නේවාසිකාගාරයේ ළමයින්ට තුන් වේලත් අනෙක් ළමයින්ට දෙවේලකුත් කෑම දෙනවා.ඩෙන්මාර්ක් රජයෙන් මේ පාසලට ආධාර මුදලක් ලැබෙනවා.පාලක මණ්ඩලය මගින් තමයි මේ මුදල් කළමණාකරණය කරන්නේ.මේ දරුවන්ට ඇස් නොපෙනෙන නිසා ලෝකය දකින්න බැහැ.කන් නොඇසසෙන නිසා භාහිර ශබ්ද ඇසෙන්නේ නැහැ.මේ නිසා ඔවුන් නොයෙක් වැරදි දේට පෙළඹෙන්න පොළඹවා ගන්න අවස්ථාවක් තිබෙනවා.දරුවන්ට පාසැල් අධ්‍යාපනයට අමතරව වෘත්තිය පුහුණුවක් ලබා දෙන්න අපි සැළසුම් කළා.

මෙම පාසලේ දරුවන්ට ලබා දෙන ආහාර සඳහා වියළි හා එළවළු වෙනුවෙන් මාසිකව රුපියල් ලක්ෂ 02 කට ආසන්න මුදලක් වැය කෙරෙයි.මෙම ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව පාලක මණ්ඩලය මගින් වසර ගණනාවක් තිස්සේ ලබාදී ඇත්තේ නමක් නොමැති ස්ථානයක් නොමැති වෙළෙඳ සැළකටය.ඒ පිළිබඳව පාලක මණ්ඩලයට කළ දැනුම් දීමකින් පසු සිදුව ඇත්තේ අදාළ කොන්ත්‍රාත්තුව සමූපාකාරයට බාරදී පාලක මණ්ඩලය අතපිසදා ගැනීමය.විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ඉගැන්වීමේදී ගුරුවරුන් යාවත්කාලීන ඉතා වැදගත්ය.ඒ සඳහා විශේෂ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම පාලක මණ්ඩලයේ වගකීමය.පෞද්ගලික ආයතනයක් මගින් මාසිකව රුපියල් ලක්ෂය බැගින් මේ සඳහා රුපියල් ලක්ෂ 32 ක් මේ වනවිට ලබා දී ඇතත් ගුරුවරුන්ට කිසිදු පුහුණුවක් ලබාදී නොමැත.පාසල සම්බන්ධ තීන්දු තීරණ ගැනීමට පාලක මණ්ඩලය දෙමසකට වරක් රැස් විය යුතු වුවත් පසුගිය මැයි මාසයෙන් පසු මෙතෙක් පාලක මණ්ඩලය රැස්වී නොමැත.විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔවුන් දක්වන උනන්දුව එයින්ම පැහැදිලි වේ.

මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් ලේකම්,සෙංකඩගල අඳ බිහිරි විදුහලේ පාලක මණ්ඩලයේ සභාපති එච්.එම්.බී හිටිසේකර මහතා -අන්ද ළමයි නේවාසිකාගාරයට බාර ගත්තොත් තවත් ළමයෙක් තමයි ඒ ළමයාගේ වැඩකටයුතු වලට උදව් කරන්න ඕන.බලාගන්න කියලා එක එක ළමයාට එක එක්කෙනා ගානේ නැහැ.හැබැයි අධ්‍යාපන කටයුතු වලට අන්ධ ළමයි සම්බන්ධ කරගන්න පුළුවන්.හොස්ටල් එකේ නතර කරන කොට අන්ධ ළමයෙක් තනියම තියන්න බැහැ.ඔය ප්‍රශ්නේ කලින් ආවා.අන්ධ ළමයෙක් හොස්ටල් එකේ තියා ගත්තොත් නේවාසිකාගාරයේ ඉන්න කතා කරන්න බැරි හෝ කන් ඇහෙන්නේ නැති ළමයෙක් ඒ ළමයාගේ වැඩකටයුතු වලට සහය දෙන්න වෙනවා.ඒකට ඒ ළමයින්ගේ මව්පියෝ කැමැති වෙන්නේ නැහැ.අපේ ළමයි මේකට එවලා තියෙන්නේ වෙනත් ළමයින්ගේ කටයුතු කරන්න නොවේ කියින චෝදනාව එනවා.ඕකේ දෙපැත්තම තියෙනවා.කෙනකුට කියන්න පුළුවන් අන්ධ ළමයි බාර ගන්නේ නැහැ කියලා.ඒත් ප්‍රායෝගිකව ඒක කරන්න බැහැ.මේක පුණ්‍යාතනයක් ලෙස ආධාර මත කරගෙන යන්නේ.ඒ නිසා වැඩි සේවකයෝ යොදවන්න අමාරුයි.

පාලක මණ්ඩලය හැම තිස්සේම රැස් වෙන්න උවමනා නැහැ.මාස දෙකකට සැරයක් අපි රැස්වීම් තියනවා.මම සභාපති.අපි ඕකට යන්නේ ස්වේච්ඡාවෙන්.මෙච්චර වැඩ තියෙන දිසාපතිවරයෙක් ගිහින් අන්ධ විදුහලක පාලක මණ්ඩලයේ ඉන්න ඕන නැහැ.මේක සමාජ වගකීමක් කියලා හිතලයි අපි වැඩ කරන්නේ.මිනිස්සු අපි කෙරෙහි පවතින විශ්වාසය මත තමයි එතැන්ට ආධාර උපකාර කරන්නේ.මම ගියාට පස්සේ නියම එකවුන්ට් සිස්ටම් එකක් හදලා හරියට ඒවා අපේ මණ්ඩලයට වාර්තා කරලා වැඩකටයුතු කරන්න පටන් ගත්තා.විනිවිද භාවයක් ඇතිවයි අපි වැඩ කරන්නේ.මණ්ඩලය ඉන්න සියලු දෙනාම ස්වේච්ඡාවෙන් වැඩකරන අයයි.ඔවුන් අගය කිරීම මිස ඔවුන්ට පරිභව කරන්න සුදුසු නැහැ.විදුහල්පතිට තියෙන්නේ අධ්‍යාපන කටයුතු ගැන සොයන්න.හොස්ටල් එක පාලනය වන්නේ පාලක මණ්ඩලය මගිනුයි.මේ දෙක පටලවා ගන්න බැහැ.මේ දෙක එකට පාලනය කරන්න අපි කොහොමත් ඉඩ දෙන්නේ නැහැ.පාලක මණ්ඩලයේ වෛද්‍යවරු,නීතීඥයෝ වගේ අය ඉන්නේ.මෙතන කූඨ ක්‍රියා වෙනවා කියා මම නම් හිතන්නේ නැහැ.කෑම බීම දෙන ඒවා අපි හොඳට හොයලා බලලා දෙනවා.විදේශ ආධාර ලැබෙන ඒවා අපි ඔක්කොම එක ගිණුමකට දාන්නේ.අපිට එක් විෂයකට ගත්ත මුදල් තවත් විෂයකට ගන්න බැරි වෙනවා.අවශ්‍යතා අනුව ගිණුමෙන් මුදල් වැය කරන්නේ.ඒවා විනිවිද භාවයකින් කරන්නේ.

දඬුවම් කිරීම අපි අනුමත කරන්නේ නැහැ.ඒත් සාමාන්‍යය ළමයි ජීවත් වෙන විදිහට වඩා මේ ළමයි ජීවත් වන විදිහ ටිකක් වෙනස්.ළමයි හදාගන්න යම් දඬුවමක් කිරීම වරදක් නොවේ.දෙමව්පියනුත් කරනවනේ.අමානුෂික පහර දීමක් මෙතන වෙලා නැහැ.යම් දඬුවම් කිරීමක් කරලා තිබෙනවා.පොලීසියේ 119 එකට පැමිණිලි කරලා පරීක්ෂණයක් කළා.

ළමයින්ට ආහාර ලබාදීම ටෙන්ඩර් දීලා නැහැ.ගොඩක් වෙලාවට පරිත්‍යාගශීලීන් ආහාර ද්‍රව්‍යය ගෙනත් දෙනවා.සමහර අය කෑම උයලම අරන් එනවා.තවත් අය දානයකට වටිනාකම අපිට දෙනවා.අමතරව අවශ්‍යය ආහාර ද්‍රව්‍යය අපි ගන්නේ සමූපාකාරයෙන්.සමහර ඒවා සමූපාකරයේ නැති නිසා ඒවා වෙනත් තැනකින් අරන් සමූපාකාරය හරහා අපිට දෙනවා.එළවළු පිටින් ගන්නේ.පාලක මණ්ඩලය මේ වැඩ වලට මැදිහත් වෙන්නේ නැහැ.සාමාන්‍යාධිකාරීට තමයි මෙහි වගකීම පැවරෙන්නේ.මෙතන යම් යම් වැරදි දේ වෙලා ඇති.අපි ඒවා දන්නේ නැහැ.අපි භාණ්ඩා ලේඛණ ගත කරලා ඔඩිට් එකක් කරලා පිළිවෙළකට වැඩ කරලා තිබෙන්නේ.මණ්ඩලය තීන්දු තිරණ ගන්නවා.මුදල් කළමණාකාරණය කරන්නේ සාමාන්‍යාධිකාරියි.ගිණුම් හැම මාසෙම මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඕන.සල්ලි අපි ස්ථාවර ගිණුමක දාලා පොළිය අවශ්‍යතා වලට ගන්නවා.ගිණුම ඇරලා තියෙන්නේත් රජයේ බැංකුවක.

ඡායාරූප-උදේනි රාජපක්ෂ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...