අතීතය වත්මනට සුරකින කරු | දිනමිණ

අතීතය වත්මනට සුරකින කරු

අතීතය වත්මනට සුරකින කරු

සිංහලයේ ඇතැම් අතීත උරුමයන් මිහිපිට අදටත් ශේෂව පැවතීම අප ලද භාග්‍යයකි. මුතුන් මිත්තන් දුක් විඳ අපට දායාද කළ ඒ වස්තූන් කෙසේ හෝ අද අපට දක්නට ඇත්තේ අතීත උරුමයන් පිළිබද කැක්කුමක් තිබූ මිනිසුන් නිසාය. පරම්පරා ගණනකට පෙර තිබූ සංස්කෘතීන්, ආගම් මෙන්ම එකල පැවති බොහෝ දෑ ද අද අප මේ දෙනෙතින් දකින්නේ ඔවුන්ට පිං සිදු වන්නටය. මේ දෙරණේ අපේ පැරැන්ණන්ගේ ඓතිහාසික දෑ අදටත් ජීවමානව නොතිබුණත් මේ ධරණීතලයේ ඔවුන්ගේ නාමයවත් රදා පවතින්නේ ඒ නිසාය. ඒ නිසාමදෝ එවන් ගුණ සුවද විහිදුවන ස්ථාන ගණනාවක් අපේ රටේ ශේෂව තිබේ. ඒ සියලුම දෑ හෙළයේ අප මුතුන් මිත්තන්ගේ ඇති වටිනාකම මහා ඉහළින් කියා පාන්නට සමත්ව තිබේ.

එහෙත් ඈත අතීත සංස්කෘතීන්ට වඩා වත්මන් සංස්කෘතිය හාත්පසින්ම වෙනස් වී තිබේ. නව තාක්ෂණික දියුණුවත් සමග සියල්ල යාන්ත්‍රීකරණය වූ ලෝකයක අද මිනිසා කාර්යබහුලව ජීවත් වෙමින් සිටියි. එදා සිය දහඩියෙන් මහන්සියෙන් දින සති මාස ගණන් දුක් විද කළ නිර්මාණයන් අද විනාඩියෙන් දෙකෙන් සිදු කර ගැනීමට හැකිවන සේ තාක්ෂණය දියුණු වී තිබේ. ඒ නිසාම අතීතයේ පටන් අප මුතුන් මිත්තන් භාවිතා කළ කී දෑ අද වටිනාකමක් නොමැතිවම වළ පල්ලට වැෙටමින් තිබේ. එහෙත් ඇතැම් තැන්වල තවමත් එදා මේ සිංහලයේ පැවති ‍ජීවන රටාවේ අවශේෂයන් යන්තම්වත් ශේෂව තිබීම ඇත්තෙන්ම අපගේ වාසනාවකට මෙන් සිදුවූ දෙයකි. පුරාණ වස්තූන් මේ දක්වා ශේෂව නොපැවතියේනම් වත්මන් පරපුරට ඒ පුරාණයේ වටිනාකම් යන්තම්වත් කියා දෙන්නට හැකියාවක් නොලැබී යන්නට ඉඩ තිබුණි. නමුත් පිනකට මෙන් ඒවාට වටිනාකමක් දෙන්නට අපේ මිනිසුන් ඉදිරිපත් වූ නිසා අතීතාවලිය ගැන දැනීමට හැකිව තිබේ. ඒ නිසාම එවන් උරුමයන් වත්මන් පරපුරට දයාද කරනා අපූරු මිනිසකු සොයා යන්නට අප සිතුවේ එහෙයිනි. මෙතැන් පටන් කියැවෙන්නේ එදා මෙරට තිබූ ගොවි උරුමයන් මෙන්ම අපේ සංස්කෘතියෙන් අපට ගිලිහී ගිය බොහෝ දෑ එක් රැස් කළ අපූරූ මිනිසකු ගැන කතාවකි.

ඔහු එච්. එම්. කරුණාරත්න ලෙස හැදින්විය හැකිය. අංක 06, යාය 05, බේකරිය පාර, කළුවරගස්වැව, ගල්ගමුව ලිපිනයේ පදිංචිව සිටින හෙතෙම දැන් 60 වැනි වියේ පසු වෙයි. කුඩා කාලයේ පටන් කෘෂිකර්මය සිය දිවිපෙවෙතින්ම උරුම වූ නිසාදෝ ඒ සම්ප්‍රධායටත්, සංස්කෘතියටත් ඔහු මහා ආදරයක් දක්වා තිබේ. අතීත උරුමයන්වලට පවා සිය හදවතේ ආදරයක් ගරුත්වයක් තිබූ නිසාම ඔහු ඒවාද මහා පරිස්සමකින් එක් කරන්නට පුරුදු වී තිබේ. කසළ ගොඩවල්වල පවා තිබූ ඇතැම් වටිනා කියන දෑ ඔහු සිය පුංචි කෞතුකාගාරයට එක් කරගෙන ඇත්තේ ඒ වටිනාකම හොදින් අවබෝධ කරගත් නිසාවෙනි. ඒ අන් කිසිවක් නිසා නොව අතීත උරුමයන් මතු පරම්පරාවට දයාද කිරීමේ හා දැක බලා ගැනීමේවත් හැකියාව ලබා දීමට අවැසියැයි සිතූ නිසාය. ඒ නිසාම ඔහු, ඔහු වෙනුවෙන් නොව අනාගත දරු පරපුර වෙනුවෙන් ජීවත්වන උදාරතර මිනිසෙකු ලෙස හැදින්වීම වැරදි නැත.

‘‘ඒ කාලයේ මම හැදුනු වැඩුණු ගම්බද පරිසරයත් එක්ක මට මේ දේවල් අරුම පුදුම දේවල් නෙමේ මහත්තයෝ. මගේ අම්මා තාත්තා මේ හැම භාණ්ඩයක්ම හැම උපකරණයක්ම මානව උගන්නලා තියනවා. මම ඒවාගෙන් වැඩකරලා තියනවා. ඒ හින්දා මම ඒවා ඇසුරෙ තමා ජීවත් වුණේ. ඒත් මම කල්පනා කළා අපේ කාලේ මේ දේවල් අරුමයක් නොවුනත් ඉදිරියට යද්දි තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ උපකරණ දකින්නවත් ලැබෙයි ද කියලා. මොකද තාක්ෂණය ලංකාවට එන්න ගත්තට පස්සේ අතීත උපකරණ භාවිතය සෑහෙන්න සීමා වූණා. ඒ නිසා මිනිස්සු රොබෝවරු වගේ වෙන්න පටන් ගත්තා. එදා මිරිස් අඹරපු මිරිස් ගල මුල්ලට වැටිලා විදුලියෙන් ක්‍රියාත්මක වෙන යන්ත්‍ර එන්න ගත්තා. එදා කොළ මැඩලා බැත මනින්න ගත්ත දැත්ත, බුසල මුල්ලට වෙද්දි සුනාමි, බූතයා වගේ මහා විශාල යන්ත්‍ර අපේ සංස්කෘතියට එකතු වුණා. ඒත් අපේ අතීත සිංහලේ දේ තමා අදටත් අපිට මහා හැගීමක්, ආත්මාභිමානයක් ගෙනැත් දෙන්නෙ. එදා අපේ කාලේ විදුලියෙන් මිරිස් ඇඹරුවෙ නෑ. වී ටික කොටන්න දැන් වගේ යන්ත්‍ර සූත්‍ර තිබුණෙ නෑ. වී ටිකකෙටුවෙ ලොකු මාගලක දාලා ගෑනු වට වෙලා මෝල් ගහෙන් කොටලා තමා වී ටික කොටා ගත්තෙ. ඒත් අද වෙද්දි අපේ ඒ සිංහල සිරිත් විරිත් පවා විශාල වශයෙන් අගාදයකට ඇද වැටිලා තියනවා. ඒ නිසා තමයි මම මේ විදිහට ඒ උපකරණ ආරක්ෂාකර අනාගත දරු පරපුර වෙනුවෙන් එකතු කරන්න කල්පනා කළේ. මම එහෙම හිතලා මේවා එකතු කරපු නිසා අද පාසල් ළමුන්, විශ්ව විද්‍යාලවල සිසුන් වගේම ආචාර්ය මහාචාර්යවරු පවා මගෙ ළගට ඇවිත් මේ දේවල්ගැන ඉගෙන ගන්නවා“ යැයි අප සමග කතාවට එක් වෙමින් කරුණාරත්න මහතා කියා සිටියේය.

පාසල් ළමුන් , විශ්වවිද්‍යාලවල සිසුන්, ආචාර්ය මහාචාර්යවරුන් පවා මේ පිළිබද විමසන්නට දැනගන්නට ඔහු ළගට පැමිණෙති. සියල්ලම යාන්ත්‍රීකරණය වූ අද නගුලකින් කුඹුරක් සා දැත්තෙන් මැඩුවම් බා කුල්ලෙන් පොලා වී ටික ගෙට ගන්නා තැනක් සොයා ගැනීමට නොහැකිය. කළාතුරකින් පමණක් අම්බරුවන් යොදා සී සෑම වැනිදේ කළ ද බහුලව සී සාන්නේ ට්‍රැක්ටරය මගිනි. එවන් අතීතයක් තිබූ ඒවා දකින්නට බලන්නට ලැබෙන්නේ උපකරණයකින් හෝ චිත්‍රයකිනි.

‘‘මම මේ උපකරණ එකතු කරන්න ගත්තෙ අවුරුදු 23 දී. ඉස්සරලාම මම එකතු කළේ නගුලක්. දැනට අවුරුදු 37 ක් වෙනවා මගේ පුංචි කෞතුකාගාරයට. මේ උපකරණ එකතු කරන්න ගිහින් අසරණ වුණ අවස්ථාත් තියනවා. කොහෙවත් හොයාගන්න බැරි උපකරණ මම මේ අනාගත පරපුර වෙනුවෙන් එකතු කරලා තියනවා . මේ උපකරණ නරඹලා කවුරු හෝ දැනුමක් බුද්ධියක් ලබා ගන්නවා තරම් සතුටක් මට තවත් නෑ. මම මහන්සි වෙලා මේ දේවල් කලාට මම මේ අවුරුදු 37 ට කිසිම කෙනෙකුගෙන් සත පහක දෙයක් අරන් නෑ. මේක සමාජ සේවයක් විදිහට කරන්න ඕනෙ කියලා තමා මම හිතන්නෙ. සමහර ලොකු වටිනාකම් තියන උපකරණ සමහරු කසල ගොඩට විසිකරලා දාල තියෙද්දි මම තියන කීයක් හරි දීලා ඒක ගෙදර අරන් එනවා. එහෙම තමා මේ පුංචි කෞතුකාගාරය පිරිලා තියෙන්නෙ.“

වරමන්ද, පිළිතාලිය (වී ඉසීමට භාවිතා කළ උපකරණයක්), ලාහ, මතය, ලී නගුල, කරත්ත මල්ල, කුරහන් ලව්ව, අටමගලය, යොත්ත, සරක්කුඩු පෙට්ටිය, මැදිය කලය, පුස් මල්ල, හැඹිලිය, ලී සේරුව, කුරණිය, වටපෙට්ටිය, කරත්තය ආදී විශාල වටිනාකමක් හා පෞරාණිකබවක් ගැබ් වූ එවැනි උපකරණත් එමෙන්ම 1830 වසරේ ශ්‍රී පාදස්ථානයේ චිත්‍රයක්, වීරපුරන් අප්පුගේ චිත්‍රයක්, රාහුල හාමුදුරුවන්ගේ චිත්‍රයක්, ගොංගාලේගොඩ බණ්ඩගෙ චිත්‍රයක්, පොළක දර්ශනයක්, නිකවැරටිය ප්‍රදේශයේ රෝහලක දර්ශනයක්, ගැහැනුන් වී කොටන ආකාරයේ චිත්‍රයක් ආදී වශයෙන් ඉතා වටිනා චිත්‍ර ද ඒ කෞතුකාගාරය තුළ සුරැකිව තිබේ. ඒ කාලයේ තිබූ බලු බද්ද, විවාහ සහතිකය, ඇග බද්ද ආදී බදු කොළද තවමත් ඔහු සන්තකයේ ආරක්ෂිතව තිබේ. ඊට අමතරව ස්වාමීන් වහන්සේ නමක් විසින් ලියූ අතීත සිදුවීම් සහිත දින පොතක් ද ඔහු සන්තකයේ ඇතිඇත්තේ පුරාණයේ බොහෝ අතීත ගැන ඔහු විස්තර කළේ මේ ආකාරයෙනි.

‘‘ අඟ ගෝන්නු හත් දෙනකුගේ හමයි මීමින්නු හැට දෙනෙකුගේ හමයි අරන් වේලලා, තම්බලා මේ වරමන්ද කියන උපකරණය හදලා තියෙන්නෙ. විශේෂයෙන්ම කුළු හරක් ඇල්ලීමට තමා මේ උපකරණය යොදාගෙන තියෙන්න. 1940 විතර කාලේ. කුල භේදය හරියට තිබුණ නිසා මදුකාරයෝ(සැඩොල් කුලයේ අය) තමා මේවා හැදුවේ.මේ වරමන්ද හදන්න විශාල කාලයක් ගත වෙනවා. ඒ කාලේ ඉතිං භාණ්ඩ හුවමාරු ක්‍රමය තිබුණ නිසා මේ වගේ වරද්දක් හදලා දුන්නාම මදු කාරයන්ට වී අමුණක් (බුසල් 07 ක්) හරි කුරහන් පෑලක් හරි දෙන්න ඕනෙ. පිළිතාලිය කියලා කිව්වෙ අතීතයේදී රෙදි වගේ දේ තැන්පත් කිරිමට පිළිතාලිය භාවිතා කළේ. විශේෂයෙන්ම කුඹල් කරුවො තමා මේවා හැදුවෙ. ඒ වගේම “වී ඉහින පෙට්ටිය“ කියලා කිව්වෙ ලාස් භාගයක විතර ප්‍රමාණයක් වී දාන්න පුළුවන් උපකරණයක්. මේ උපකරණය හරහා හැකියාව තියනවා කොයිතරම් ප්‍රමාණයක් වගා කරලා තියනවද කියලා හොයාගන්න. ඒ වගේම ‘‘මතය“ කියලා හැදින්වුයේ ගිං තෙල් දුම් වැනි තෙල් වර්ග නිෂ්පාදනය කරන්න යොදා ගත්ත උපකරණයක්. එසේම “හැඹිලිය“ කියලා කිව්වෙ මුදල් පසුම්බියට. මෙන්න මේ වගේ උපකරණ රාශියක් මම එකතු කරලා තියනවා. මේ හැම උපකරණයක්ම විශේෂිතයි. ඒත් සමහර ලොකු ලොකු ආයතන කෝටි ගණන්වලට මගේ මේ උපකරණ මිල කරලා ඉල්ලලා තියනවා. ඒත් කවදාවත් සල්ලිවලට ආසා වෙලා මම ඉදිකටු තුඩක තරම්වත් දෙයක් දීලා. මොකද මේ දේවල් ඒ විදිහට දෙන්න පුළුවන් දේවල් නෙමේ.“

‘‘ මම කියන්න කැමතියි ඇත්තටම මෙන්න මෙහෙම තැනක් තියනවා නරඹන්න එන්න කියලා දැන්වීමක්වත් මෙතුවක් කාලයකට දාලා නෑ. මම මට පුළුවන් විදිහට මේ උපකරණ ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් මහන්සි වෙනවා. සමහර චිත්‍ර තියනවා ගොඩක් පරණයි. ඒ වගේ දේවල් ලැමිනේට් කරලා තියාගන්නවා. ඉතිං ඒ වගේ දේවල් කරන්න විශාල මුදලක් ගියත් මම හැකියාව තියන විදිහට ඒ දේවල් කර ගන්නවා. මේ වෙද්දි මම මේ එකතුකරලා තියන හැම උපකරණයක් ගැනම අතීත සිදුවීමේ ඉදලා විස්තරාත්මක සදහන් කරපු පොතක් ලියාගෙන යනවා. ඒ පොත මුද්‍රණය කරලා පාසල් ළමයින් වෙනුවෙන් ලබා දෙන්න කියලා මගේ බලාපොරොත්තුවක් තියනවා. විශේෂයෙන්ම මම කියන්න ඕනෙ මේ අවුරුදු 37 ක කාලය පුරාම මම වෙනුවෙන් මේ විදිහට ඇගයීමක් දෙන්න කවුරුත් ඇවිත් නෑ. ඒ නිසා ඔබ තුමාටත්, පුවත්පතටත් මම අවසාන වශයෙන් ස්තුතිය පුද කර සිටිනවා.“

මේ දෑ දැක බලා ගනිමින් එම උරුමයන් පිළිබද දැනුම ලබා ගැනීමට අවැසිනම් 0776600600 වේ. යන අංකයෙන් කරුණාරත්න මහතා සම්බන්ධ කර ගැනීමට හැකියාව තිබේ.

ගල්ගමුව සමූහ
එම්. එම්. ක්‍රිෂාන්


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...