අපේ කාල‍යේ පිටස්තරයෝ | දිනමිණ

අපේ කාල‍යේ පිටස්තරයෝ

රඹුක්කන විශේෂ ඔස්වල්ඩ් ගොඩකුඹුර

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ පැමිණෙන්නකුට කෑගල්ල නගරයේ වාහන තදබදයෙන් මිදී ගමන් කිරීම තරමක් අපහසු කාර්යයකි.2014 දැයට කිරුළ වැඩසටහන සමඟින් කෑගල්ල විකල්ප මාර්ගය ඉදිවූවේ මෙම තදබදයට යම් පිළියමක් ලෙසිනි.

මෙම විකල්ප මාර්ගය රන්වලින් ආරම් භවන ස්ථානය ආසන්නයේම වම්පසින් මාර්ගයට පහළින් ටකරන් සෙවිලිකළ එකිනෙකට යාබදව පිහිටි නිවාස සමූහයක්.ප්‍රධාන මාර්ගයේ පාලම මත සිට බලන්නකුට එකවර නෙත ගැටෙනු ඇත.

රන්වල සිට මොලමුරේ මාවත ඔස්සේ දිවෙන විකල්ප මාර්ගය එලෙස සංවර්ධනය කිරීමට පෙර පැවතියේ අඩි හයක් පමණ පළල පාරක් ලෙසිනි.මෙම නිවාස අද පිහිටි ස්ථානයේ තිබූ විශාල ගොඩනැඟිල්ල මාර්ගය පුළුල් කිරීමේදී කඩා දමා තිබේ.

කෑගල්ල නගර සභාවේ කම්කරුවන් වශයෙන් සේවය කළ දෙමළ ජනතාව වෙනුවෙන් එම ගොඩනැඟිල්ල නගර සභාව මඟින් ඉදිකර දී තිබිණි.මෙහි දමිල ජනතාව පදිංචිවීමත් සමඟ එම ඉඩම රන්වල වත්ත ලෙසින් හැඳින්වීමට ජනතාව පුරුදු වී තිබේ.ඊට යාබදව පැවතියේ ගව ඝාතකාගාරයයි.

මොලමුරේ මාවතේ සිට මෙම නිවාසවලට පිවිසීමට ඇත්තේ කුඩා පඩි පේළියකි.ඒ ඔස්සේ නිවාස අතර පටු තීරුවක ඇවිද ගිය මම වර්ධන් ප්‍රකාශ්ගේ නිවසට ගොඩවැදුනෙමි.මට අසුනක් පැනවූ ඔහු ඔවුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළේ මෙලෙසිනි.

"මට දැන් වයස අවුරුදු තිහයි.අවුරුදු හතළිහක් විතර අපේ කට්ටිය මෙතන හිටියා.මෙතැන ගෙවල් දහනවයක් තිබෙනවා.ඒවායේ පවුල් විසි හතරක් පදිංචියි.අපි ඔක්කෝම අසූ හත්දෙනෙක් ඉන්නවා.

මෙතැන කලින් තිබුණේ නගර සභාවේ වැඩ කළ අයගේ නිල නිවාසය.විකල්ප මාර්ගය හදලා දෙනකොට ගෙවල් වෙනත් තැනක හදලා දෙනවා කී නිසා ඒක කඩනවාට අපි කැමැති වුණා.ගොඩනැඟිල්ල කඩාදමලා මාර්ගය ඉදිකරන්න පටන්ගත්තා.

අපිට දෙනවා කී කෝපිවත්ත ඉඩමට යන්න ස්ථිර පාරක් තිබුණේ නැහැ.මේ ඉඩම තිබෙන්නේ කනත්තට උඩින්.පර්චස් හත බැගින් එක පවුලකට දෙනවා කීවත් ගෙවල් හදාගන්න ගල් වැලි ටිකක්වත් ගෙනයන්න ‍පාරක් නැති නිසා අපි එතැනට යන්න බැහැ කීවා.

පර්චස් අසූවක විතර මෙම ඉඩමේ නගර සභාවෙන් අඩි විස්ස විස්සේ කෑලි මැනලා දුන්නා ගෙවල් හදාගන්න.පරණ පොළෙන් ගලවා ඉවත්කළ ටකරන් දුන්නා.හැබැයි ගෙවල් ගඩොල්වලින් හදන්න එපා කීවා.ඒ නිසයි මේ විදියට ලෑලිවලින් ගෙවල් හදාගත්තේ."

මේ සියලු දෙනා දමිලය.එහෙත් ඔවුන් මනා ලෙස සිංහල හසුරුවති.නගර සභාවේ සේවය වෙනුවෙන් මෙහි පදිංචි කළ ඔවුන් තවදුරටත් එහි සේවයේ නියුතුදැයි විමසූ මට පිළිතුරු දුන්නේ මෙතෙක් අපගේ කතාබහට සවන්දී ගෙන සිටි තංගවේලු පුෂ්පලතාය.

"මම ගාමන්ට් එකක වැඩට යනවා.ප්‍රකාශ් ත්‍රීවීල් එකක් දුවනවා.තව අය ටවුමේ සපත්තු මහනවා.තව එක එක නගර සභාවේ වැඩකරන්නේ දෙන්නයි."

ඔවුහු බොහෝදෙනා අද විවිධ රැකියාවල යෙදෙති.නගර සභාවේ කම්කරුවන් ලෙස පිටස්තර සමාජයෙන් ආ කෙනෙහිළිකම් ඔවුන් වෙනත් රැකියා වෙත යොමු කර ඇත.තම වැඩිහිටියන් කළ වෘත්තිය ඊළග පරපුරට ලබාදීමට ඔවුන් රුචි නැත.එසේම වැඩිහිටියන්ගේ රැකියාව කිසිවකුගේ පරම්පරා උරුමයක්ද විය යුතු නැත.

ලෑලි දිරාපත්වූ මෙම නිවාස ඔවුන්ගේ ජීවිතවල යථාර්ථය පිළිබිඹු කරන කැඩපතක් මෙනි.එම ලෑලි අතරින් කුඩා දරුවන් දෙතුන් දෙනකු අප වෙත බලා සිටී.එම දරුවන්ට මෙම නිවාසවලට පේන මානයේ පිහිටි පාසල්වලට ඇතුළත්වීමට වරම් අහිමිය.ඒ මෙම ස්ථානයේ ස්ථිර පදිංචිය තහවුරු කිරීමට ඔප්පුවක් ඔවුන් සතුව නොමැතිකමිනි.

"ඡන්ද නාම ලේඛනයේ අපේ නම් ඇතුළ ඩත්ව තිබෙනවා.අපේ ගෙවල්වලට අපි ලයිට් වතුර අරගත්තා.ඒ කිසිම දේකට අපේ පදිංචිය ගැටළුවක් වුණේ නැහැ.ඒත් අපේ දරුවෙක් ඉස්කෝලෙකට දාගන්න යනකොට ස්ථිර පදිංචිය ඉල්ලනවා.අපට පෙනෙන දුරින් තියෙන ඉස්කෝලෙට බස් වෑන්වලින් දුර ඉඳන් ළමයි එනවා.ඒත් අපේ දරුවෙක් මේ ඉස්කෝලෙට දාගන්න අපිට බැහැ."මුරුගයියා නදී පවසන්නේ වේදනාබර හඬකිනි.

මම නැවතත් ප්‍රකාශ් දෙසට හැරුනෙමි.ඔහුට පැවසීමට බොහෝ කරුණු ඇති බව ඔහුගේ දෙනෙත්වලින් ප්‍රකාශ වෙයි.

"පසුගිය ජනාධිපතිවරණය ළංවෙනකොට අපිට කෝපිවත්තෙන් නිවාස හදලා දෙන්න නැවතත් සූදානම් වුණා.පාරේ ප්‍රශ්නය විසඳලා දෙනවානම් එතැනට යන්න අපිත් කැමැති වුණා.ඒ වන විට වත්තට යන්න අඩි දහයක දොලහක පාරක් ඒ වත්තේම කොටසක ආරම්භ කරලා තිබුණු යොවුන් සේනාංකයට යන්න හදලා තිබුණා.ඒ පාර දීලා තිබුණේ පෞද්ගලික ඉඩමකින්.

අපි ඉඩම බලන්න ඒ පාරෙන් ගියා.සක්කිලි දෙමළුන්ට ගෙවල් හදන්න මේ පාරෙන් යන්න ඉඩදෙන්නේ නැහැ කියලා පාර දුන්නු කෙනා බැන වැදුනා.නිවාස සංවර්ධන අධිකාරියේ මහත්තුරු කතාකළත් වැඩක් වුණේ නැහැ.ඒ ඉඩමේ ගෙවල් හදන එක ප්‍රශ්නයක් කියලා සියඹලාපිටිය පාරේ කිලෝමීටරයකට පමණ ඈතින් එල්ආර්සී එකට අයත් වෙනත් ඉඩමක් දෙන්නම් කීවා.

එම ඉඩමෙන් පර්චස් හතක් දීලා ලක්ෂ දෙක හමාරක ණය මුදලක් ගෙයක් හදාගන්න දෙන්න පුළුවන් කීවා.අපි ඒකටත් කැමැති වුණා.ඒ ඉඩමට යන්න තියෙන්නේ පංසලක් ළඟින්.ඒ හාමුදුරුවොයි ගමේ අයයි අපි එතැනට එනවාට විරුද්ධව උද්ඝෝෂණය කළා.ඒ අනුව ගැටුමක් ඇතිවෙනවා කියලා ඒකත් අතහැරියා.දැන් අපිට දෙන්න ඉඩමක් නැහැ කියනවා".ප්‍රකාශ් මෙම පවුල්වල ජනතාව මුහුණදී ඇති ගැටලු එකින් එක විස්තර කරමින් කීවේය.

"අපි ඉස්කෝලේ යන කාලෙත් අපේ දිහා මිනිස්සු බැලුවේ අමුතු විදියකට.මේ වත්තෙන් ආපු,පාලම යට ඉන්න,නගර සභාවේ රස්සාව කරන මිනිස්සුන්ගේ ළමයි කියන අදහසින්.අපි යාළුවෝ අතර වුණත් කොන්වුණා.ඒ නිසයි අපි මෙතැනින් යන්න කැමති.අපි හැමෝටම හොඳට සිංහල කතා කරන්නත් පුළුවන්.දරුවන්ට පවා දමලා තිබෙන්නේ සිංහල නම්.ඒ අය සිංහල ඉස්කෝලවලට දමලා උගන්වන්නයි අපිට ඕනෑ"කුප්පන් අශෝකන් ද අප හා එක්වෙමින් කීවේය.

මේ මුළු වත්තටම ඇත්තේ පොදු වැසිකිලි දෙකකි.නාන්නට ඇත්තේ එක් ස්ථානයකි.එය කලක් ගවයන් ඝාතනය සඳහා යොදාගත් ගව ඝාතකාගාරයය.මෙහි පදිංචිකරුවකු මියගිය විට දේහය තබා ගැනීමට යොදාගනු ලබන්නේ ද එම ස්ථානයවීමම කෙතරම් කනගාටුදායකද?

මැතිවරණ සමයේදී ඡන්දය අයදීමට මෙහි පැමිණෙන්නන්ගෙන් අඩුවක් නැත.එහිදී දෙන දහසක් පොරොන්දු මැතිවරණය නිමාවත් සමඟ සුළඟේ පාවී ගොසිනි.ඔවුන්ට උරුමකරදුන් ජීවන රටාවෙන් මුදා ගැනීමට මෙතෙක් කිසිවකුගේ අවධානය යොමු නොවීමෙන් ඉඩකඩ ඇති පරිද්දෙන් සමහරු නිවසට ජලය ලබාගෙන වැසිකිළි ඉදිකරගෙන සිටිති.

"ලෑලිවලින් හදාගත්ත මේ ගෙවල් දැන් හොඳටම දිරාපත් වෙලා.ආයෙමත් ලෑලි ගහන්න රුපියල් ලක්ෂයක් විතර යනවා.වෙනත් තැනකින් ඉඩමක් දෙන්න බැරිනම් මෙතැනම හරි ගෙවල් හදාගන්න ඉඩදෙන්න කියලයි අපි ඉල්ලන්නේ." මෙතෙක් නිහඬව සිටි නීරන් තෙයිවානි පැවසුවාය.

මේ අතර ප්‍රකාශ් ලිපිගොනුවක් මා වෙත දිගු කළේ මේ ප්‍රශ්නය ගැන ඔවුන් අවුරුදු ගණනාවක් තිස්සේ මැති ඇමැතිවරුන්ට දැන්වූවත් මේ දක්වා ප්‍රතිඵලයක් නොවූ බව පවසමිනි.

"අපි පවුල් කීපයක්ම එක ගමකට පදිංචියට ගියාම යම් බලපෑමක් ඇතිවේවි කියලා ඒ අයත් සැකයෙන් බලන එක එක පැත්තකින් සාධාරණයි.ඉස්සර මෙතැන බීලා කෑගහන අයත් සිටියා.නමුත් එහෙම රණ්ඩු දබර කරන අය දැන් නැහැ.ඒ වගකීම අපි භාරගන්නවා.අපි ඔක්කොම ඥාති අය තමයි මෙතැන ඉන්නේ.

අපේ ළමයින්ට දෙමළ බැහැ.දෙමළ කතාකරන විට අපට කොටි කියනවා.සමාජයේ ඒ හැඟීම තිබෙනවා.අපිත් කොටින්ට කැමති නැහැ.ඒ අය තමයි අපිව මේ තත්වයට ඇදලා දැමුවේ."ප්‍රකාශ් පවසා සිටියේ තිර හඬකිනි.

මෙම කරුණ සම්බන්ධයෙන් එක්සත් වාමාංශික පෙරමුණේ කෑගල්ල සංවිධායක එල්.පී.සනත් පතිරණ මහතා පවසන්නේ මෙබන්දකි.

" මේ මිනිස්සුත් අපේ රටේ පුරවැසියෝ මේ අය මෙවැනි දුක්ඛිත තත්වයකට ඇද දමා තිබීම වගකිව යුත්තන් කරන බරපතළ වරදක්.මෙය ඔවුන්ගේ කරුමය නොව පාලනය විසින් උරුම කරදුන් කරුමයක්.මොවුන් දෙමළ ජාතිකයන් වුවත් ඔවුන්ගේ දරුවන්ට දෙමළ භාෂාව බැහැ.ඔවුන් කතාකරන්නේත් සිංහල.ඔවුන්ට දෙමළ උගන්වන්නේ නැත්තේ ඒ දරුවන්ට අයහපතක් වේයැයි බියෙන්.

මේ පැල්පත් නිවාසවලට ජලය,විදුලිය ලබාදී තිබෙනවා.ඡන්ද නාම ලේඛනයේ නම තිබෙනවා.හැබැයි ළඟම පාසලට ඒ දරුවන් ගන්නේ නැහැ.ළගම පාසල හොඳම පාසල කියලා ජාතික වැඩසටහනක් තිබුනත් මේ දරුවන්ට දුරම පාසල හොඳම පාසල ලෙස හිතන්න ඉඩ සලස්වලා.නගරයේ පාසල් හයක් පසුකරගෙන මේ දරුවන්ට ගම්බද පාසලකට යන්න සිදුවෙලා.

මේ අයට කෝපිවත්ත ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදෙන වැඩපිළිවෙලක් තිබූ බව කී නිසා මම එම ඉඩම බලන්න ගියා.එම ඉඩමට පාරක් ලබාදුන් පුද්ගලයා පෙනී සිටින්නේ ජීවතුන් අතර නැති මළගිය අය වෙනුවෙන්.කනත්ත කියන්නේ පූජා භුමියක්.ඒ නිසා මෙහි දෙමළුන්ට ගෙවල් හදන්න දෙන්න බැහැ කියලා ඔහු කියනවා.මම එදයි දන්නේ මිනී වළදමන තැන පූජා භුමියක් කියලා.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා.නිරෝගි වෙත්වා.සුවපත් වෙත්වා කියලා කරන ප්‍රාර්ථනය ඇතුලේ වරහන් දමලා දෙමළ,මුස්ලිම් හැර කියලා ප්‍රාර්ථනා කරන්න සැබෑ බෞද්ධයන්ට බැහැ.මේ අයට මහල් නිවාස සංකීර්ණයක් හරි හදලා දෙන්න බලධාරින්ගේ අවධානය නොපමාව යොමු විය යුතුයි."

මේ පිළිබඳව කෑගල්ල නගර සභාවේ ලේකම් ආර්.ජී.එස්.නිරෝෂන් මහතාගෙන්ද විමසූවෙමි. මේ එහිදී නිරෝෂන් මහතා දැක්වූ අදහස්ය.

මෙම ස්ථානයේ නගර සභාවේ නිල නිවාසයක් කලකට පෙර තිබුණා. දැන් එම නිවාසවල සිටින අයගෙන් අපගේ සේවකයන් දෙදෙනකුට වඩා නැහැ.මෑතදී එක් අයෙක් විශ්‍රාම ගියා.මම ඒ පවුල්වලින් කෙනෙකුට ආරාධනා කළත් නගර සභාවේ සේවයට ඔවුන් කවුරුවත් එන්නේ නැහැ.දැන් එහි ජීවත්වන්නේ තුන්වැනි හෝ හතරවැනි පරම්පරාවයි.මුලින් හැමෝම නගර සභාවේ සේවය කළා.නගර සභාවේ සේවයේ නොමැති අය වෙනුවෙන් නිවාස ඉදිකරදීමට අපට නීතියෙන් ඉඩක් නැහැ.ඒ නිසා මොවුන් වෙනුවෙන් නිවාස හදන්න වෙන්නේ වෙනත් ආයතන හරහායි.

ඒත් මෙම ස්ථානයේ එක පැත්තකින් මාර්ග රක්ෂිතය හා අනෙක් පැත්තෙන් ඇළ තිබෙන නිසා තට්ටු නිවාස සංකීර්ණයක් වුනත් හදන්න බැහැ.එතැන තිබෙන්නේ පටු බිම් තීරුවක්.මාර්ග සීමාව අරින විට ගොඩනැඟිලි හදන්න ඉඩක් නැහැ.නිවාස සංවර්ධන අධිකාරිය මඟින් මොවුන්ට එල්ආර්සී ඉඩමක නිවාස හදලා දෙන්න යෝජනා කළා.ඊට පෙර අපගේ සුසාන භූමිය පිටුපස ඉඩමකුත් යෝජනා වුණා.නමුත් ඒ එකක්වත් මෙතෙක් ඉටුවුණේ නැහැ.

රජයෙන් ඉඩමක් ලබාදීලා නිවාස අධිකාරයෙන් හෝ නිවාස හදලා දෙනවා නම් ඉතාමත් වටිනවා.මෙම කාර්යයට නගර සභාවට මැදිහත්වීමට නීතියෙන් ඉඩක් නැහැ.මෙහි පදිංචි පවුල් ගණන ගැන විස්තර නිවාස අධිකාරියට අප ලබාදුන්නා.ඒ අවස්ථාවේ නිවාස විසිපහක් හදන්න ඔවුන් එකඟ වුණා.මේ ස්ථානය නගරයේ පිවිසුම නිසා වඩාත් සුදුසුවන්නේ ඉඩකඩ ඇති පරිදි ළමා උද්‍යානයක් වැනි දෙයක් ඉදිකිරීමටයි."

කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන මහත්මිය.

"මේ අයට නිවාස සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් නිවාස ඉදිකරගැනීමට සියඹලාපිටියේ එල්ආර්සී ඉඩමක් බෙදාදෙන්න හඳුනාගත්තා.නමුත් එම ඉඩම ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයෙන් පදිංචි වීමට සුදුසු නැහැ කීවා.එම නිසා එම ව්‍යාපෘතිය කරන්න බැරි වුණා.මම මේ ගැන දිසාපතිතුමා එක්කත් කතා කළා.මේ අයට නිවාස ලබාදෙන්න අවශ්‍යතාව දිසාපතිතුමාටත් තිබෙනවා.

මේ අය දැනටමත් ජීවත්වන ස්ථානයේ මාර්ග රක්ෂිතය හා ඇළ මාර්ගය නිසා මහල් නිවාසයක්වත් ඉදිකිරීමට බැහැ.එම ස්ථානය එවැනි දේකට ගැළපෙන්නේත් නැහැ.පසුගිය කාලයේ පරගම්මන ඇළ අධික වර්ෂාවත් සමඟ උතුරා යන විට ඔවුනුත් පීඩාවට පත්වුණා.මේ අය සම්බන්ධයෙන් සුදුසු කටයුත්තක් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් යටතේ කිසියම් පුරවැසියකු වර්ගය,ආගම,භාෂාව,කුලය,ස්ත්‍රී පුරුෂ භේදය ,දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර හෝ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුතු බව දක්වා ඇත.ඒ අනුව රන්වල පාලම යට වෙසෙන මෙම පිරිස සම්බන්ධයෙන්ද යුක්තිය ඉටුවිය යුතු නොවේද?

අරනායක සාමසර කන්ද නායගිය විට ඒ අවට අධි අවදානම් කලාපයේ ජීවත්වූවන් සඳහා ඉතා කෙටි කලකින් නිවාස සහ ඉඩම් ලබාදීම පිළිබඳව සැමගේ පැසසුම හිමි විය.එලෙසින්ම වැවිලි සමාගමකට අයත් කෑගල්ල නගරය ආසන්නයේ පිහිටි වතුයායකින් හෝ මොවුන්ට ජීවත්වීමට ඉඩකඩ ලබාදීම බලධාරින් සතු යුතුකමක් මෙන්ම වගකීමකි.ඒ මෙම පිරිස වෙනුවෙන්ද සාධාරණයක් ඉටුවනතුරු ඔවුන් අපේක්ෂාවේ දෑසින් පෙරමඟ බලා සිටින බැවිනි.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...