සා.පෙළ අනිවාර්ය විෂයයන් ගණන 6කට සීමා කරනවා | දිනමිණ

සා.පෙළ අනිවාර්ය විෂයයන් ගණන 6කට සීමා කරනවා

සිතාරා සේනානි
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා සුරක්ෂා සිසු රක්ෂණාවරණය සම්බන්ධයෙන් සියලු සිසුන් සහ මවුපියන් දැනුවත් කිරීම සඳහා සැකසුණු විශේෂ පත්‍රිකාව සංකේතාමකව පිරිනැමූ අවස්ථාව. අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී.එස්.රාධක්‍රිෂ්ණන්, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහත්වරු ද එම අවස්ථාවට සහභාගී වූහ. ඡායාරූපය-චමින්ද නිරෝෂන්

දරුවන්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයේ අනිවාර්ය විෂයයන් සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 06 කට සීමා කිරීම පිළිබඳ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම ප්‍රධාන විෂය හයට අමතරව සෙසු සියලු විෂයයන් ප්‍රයෝගික මෙන්ම දියුණු ඇගයීම් ක්‍රමයකට අනුව සැලසුම්කොට, විෂය මාලාවන් හි පුළුල් වෙනසක් ඉදිරියේ දී සිදුකරීමට අපේක්ෂා කරන බව ද අධ්‍යාපන ඇමැතිවරයා පෙන්වා දෙයි.

ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් නුගේගොඩ අනුලා විද්‍යාලයේ ඊයේ (07) පැවති ජාතික උත්සවයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශය මඟින්, සුරක්ෂා සිසු රක්ෂණාවරණය හඳුන්වාදීමේ දී, එය කළ හැකි දෙයක් දැයි බොහෝ පිරිස් ප්‍රශ්න කළ ද, අද එය යථාර්ථයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සමත් වී ඇති බව ද ඇමැතිවරයා කීය.

එමෙන්ම සුරක්ෂා සිසු රක්ෂණාවරණය ලබා ගැනීම සඳහා සිසු දරුවන්ට නිවැරදි මඟපෙන්වීම ලබා දෙන ලෙස සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්ගෙන් තමා ඉල්ලා සිටින බවද ඇමැතිවරයා පැවැසීය. සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වූ අනාගත භාරදූර වගකීම පිළිබඳ වත්මන් රජය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සුරක්ෂා සිසු රක්ෂණාවරණය සම්බන්ධයෙන් සියලු සිසුන් සහ මවුපියන් දැනුවත් කිරීම සඳහා විශේෂ පත්‍රිකාවක් ද අධ්‍යාපන ඇමැතිවරයා අතින් එහිදී සංකේතාමකව පිරිනැමුණි. අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන්, ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති හේමක අමරසූරිය මහත්වරු ඇතුළු මැති ඇමතිවරු හා රාජ්‍ය නිලධාරීහු රැසක් ද එම උත්සවයට සහභාගී වූහ.

මෙම වැඩසටහනට සමගාමීව ඊයේ දිනයේ දිවයින පුරා පාසල්වල ජාතික සුරක්ෂා සිසු රක්ෂණාවරණ දිනය නිමිත්තෙන් වැඩසටහන් සංවිධානය විය. සුරක්ෂා රක්ෂණාවරණය පිළිබඳව අත්පත්‍රිකා සහ දේශන මඟින් දරු දැරියන් සහ මවුපියන් තවදුරටත් දැනුවත් කිරීම එම වැඩසටහන්වල අරමුණ විය.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...