නාවික හමුදාවට 67 වසරක් සපිරෙයි | දිනමිණ

නාවික හමුදාවට 67 වසරක් සපිරෙයි

හෙටට (9) යෙදෙන ශ්‍රී ලංකා නාවික හමුදා දිනය නිමිත්තෙනි)

1932 වසර වන විට දෙවන ලෝක මහා සංග්‍රාමයක පෙර නිමිති යුරෝපා රටවල් පුරා පැතිරෙන්නට වූයෙන් හිරු නොබසින අධිරාජ්‍යයේ පවත්වන ලද රාජකීය ආරක්ෂක සමුළුවේදි සියලුම යටත්විජිත තම තමන්ගේ ආරක්ෂාව සඳහා පිළියම් යෙදීම තමන් සතු වන බවට නිගමනය කළෙන් මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වූ පිරිසකගේ අවශ්‍යතාවය වූයේ මහා බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් වූ ලංකාවේ ස්වේච්ඡා නාවික හමුදාවක් සකස් කිරීමය. මෙම අදහස අනූව 1937 ස්වේච්ඡා නාවික පණත අංක 01 ආණ්ඩුකාරතුමා විසින් සම්මත කරන ලදී. මෙම ආඥාව මඟින් ස්වේච්ඡා නාවික ආරක්ෂක හමුදාව පිහිටුවන ලදී. මෙම කුඩා නාවික හමුදාවේ සැකැස්ම පියවර කිහිපයකින් සමන්විත විය. පළමු පියවර වශයෙන් 1938 ජනවාරි මස 01 වන දින නාවික විධායක අංශය සඳහා ලුතිනන්වරුන් දෙදෙනෙක්ද පරිපාලනමය කටයුතු සඳහා පේමාස්ටර් ලුතිනන්වරුන් දෙදෙනෙක්ද පත් කරන ලදී. නාවික විධායක අංශයේ ප්‍රථම ලුතිනන්වරුන් වශයෙන් පත්වූයේ ලුතිනන් එෆ්.බී. රිග්බි ස්මිත් සහ ලුතිනන් ජී.එල්.බී. ඕක්ලේය. පේමාස්ටර් ලුතිනන්වරුන් වශයෙන් ඊ.එෆ්.එන්. ග්‍රේෂන් සහ ලුතිනන් ඩී.එස්. ද ෆොන්සේකා පත්විය.

ස්වේච්ඡා නාවික ආරක්ෂක බළමුළුවට ප්‍රථම පාලකයා පත්වෙයි

මහා බ්‍රිතාන්‍යයේ පුර්ණ යටත් විජිතයක් වී වසර 122කට පසුව 1938 පෙබරවාරි මස 01 වන දින එවකට ජේ.එම්. රොබට්සන් සහ සමාගමේ අධ්‍යක්ෂවරයෙකුව සිටි ඩබ්.ජී. බියුචෑම්ප් මහතා ස්වේච්ඡා නාවික ඛණ්ඩයේ කොමාන්ඩර් නිලයේ අධිකාරියට පත් කරන ලදී. මොහු පත්වූ පසු ඔහුගේ පළමු කාර්ය වූයේ අවශ්‍ය නිලධාරීන් බඳවාගෙන පුහුණු කිරීමයි. ඒ සඳහා තවත් පියවරක් ලෙස උප ලුතිනන්වරුන් වශයෙන් එම්. මොනීන්ග්ටන්,ඒ.එච්.එච්. බෝයන්ස්, ඩී.ජී. සිම්ප්සන් සහ බී.ඒ. ඕල්සන් යන මහතුන් බඳවා ගන්නා ලදී. මීට අමතරව යුරෝපා ජාතිකයන් දෙදෙනෙක් සහ ලාංකිකයින් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බඳවාගෙන ඔවුන් උප ලුතිනන්වරුන් වශයෙන් පුහුණුවීම් කටයුතුවල නිරත කරවන ලදී. 1938 ජුනි මස 14 වෙනි දින ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානය කොළඹ කොච්චිකඩේ වරායට මුහුණලා පිහිටි ස්ථානයක ස්ථාපිත කරන ලදී. 1938 දෙසැම්බර් මස අංක 44 දරණ ස්වේච්ඡා නාවික හමුදා පනත සම්මත කරන ලදින් ස්වේච්ඡා නාවික හමුදාව රාජකාරීන් සඳහා අනුයුක්ත කරන ලදී. මෙම හමුදාව පසුව සී.ආර්.එන්.වි. ආර්. (සිලෝන් රෝයල් නේවි වොලන්ටියර් රිසර්ව්) ලෙස 1943 ඔක්තෝබර් මස 01 දින සිට හඳුන්වනු ලැබීය.

දෙවන ලෝක සංග්‍රාමයට මුහුණදීම

1939 අගෝස්තු මස 31 වැනි දින රාත්‍රී නමයේ පැයේ සිට ස්වේච්ඡා නාවික හමුදාව දෙවන ලෝක මහා සංග්‍රාමයට මුහුණදීම සඳහා සක්‍රීය සේවයට කැඳවන ලදී. 1939 ඔක්තෝබර් මස 02 වන දින ආණ්ඩුවේ අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් එම කටයුත්ත සිදු කර ඇත. 1939 - 1946 කාලය දක්වා සැම්සන් සහ ගොලයත් ටග් යාත්‍රාද ඇන්ටාක්ටික් වේලර් යාත්‍රා මුහුදු බෝම්බ ඉවත් කිරීම සඳහා යොදාගෙන ඇත. ඉන්පසු ඉංග්‍රීසි ආණ්ඩුව විසින් එච්.එම්.එස්. ඕවර්ඩේල් වයිකි නෞකාව ප්‍රථම වතාවට මිලදී ගන්නා ලද්දේ මේ වකවානුවේදීය. ප්‍රදීපාගාර සේවාවද මෙම කුඩා නාවික හමුදාව මඟින් ඉටු කරන ලද අතර ගුවන් ආක්‍රමණ වැළැක්වීම සඳහා වූ රාජකාරීන්ද ත්‍රිකුණාමලය වරායේ යුද සංඥා මධ්‍යස්ථානය මෙහෙයවමින් ඉටු කරන ලදී.

දෙවන ලෝක සංග්‍රායේ නිමාවත් සමඟ රාජකීය ලංකා ස්වේච්ඡා හමුදාව සක්‍රීය සේවයෙන් මුදා හරිනු ලැබීය. එහෙත් ශ්‍රී ලංකාවට නිදහස ලබාදිමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මකව තිබු නිසා මෙම හමුදාවෙන් කොටසක් රඳවා ගන්නා ලදී. එසේ රඳවා ගත් නිලධාරීන් නව දෙනෙකු සහ නාවිකයින් 91 දෙනෙකු 1946 අප්‍රේල් මස 01 වන දින සිට කමාන්ඩර් ජී.ආර්.එම්. ද මෙල් යටතේ සක්‍රීය සේවයේ යෙදුනු අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පසුව පිහිටුවන ලද රාජකීය ලංකා නාවික හමුදාවේ සාමාජිකයන් බවට පත් විය.

1946 ලුතිනන් ආර්. කදිරගාමර් සමඟ නැවියන් 17 දෙනෙකු ලන්ඩන් නගරයේ පැවති දෙවන ලෝක සංග්‍රාමයේ ජයග්‍රාහී සැමරුම් උත්සව පෙළපාලියට සහභාගීවීමටද මෙම කාලයේදීම නාවික හමුදා සාමාජිකයින්ට අවස්ථාව ලැබුණි.

ශ්‍රී ලංකාව නිදහසෙන් පසු රටේ ජාතික ධජය ප්‍රථම වතාවට මහ සයුරේ ළෙලදෙයි

1948 පෙබරවාරි මස 04 වෙනි දින ශ්‍රී ලංකාව නිදහස ලැබීමත් සමඟම එවකට තිබූ කුඩා නාවික හමුදාව ඉංග්‍රීසි රාජකීය නාවික හමුදාව මෙතෙක් ඉටු කළ සියලු රාජකාරීන් භාරගෙන ඇත. 1949 වර්ෂයේදී ඉංග්‍රීසින් විසින් එච්.එම්.එස්. ෆලයින් ෆිෂ් යුද නෞකාව ශ්‍රී ලංකාවට ‍භාරදෙන ලදී. එම නෞකාව එච්.එම්.එස්. විජය වශයෙන් නම් කොට අධිකාරියට පත් කරන ලද්දේ පළමු අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මහතා විසිනි. දිවයිනට අනවසරයෙන් සංක්‍රමණය වන්නන් මුහුදින් ගෙනෙන හොරබඩු ජාවාරම් මැඬලීමට මෙන්ම ශ්‍රී ලංකා නාවිකයන්ට වෙනත් නාවික හමුදා සමඟ රාජකාරියේ යෙදී තම හැකියාව තවත් වර්ධනය කර ගැනීමටත් ශ්‍රී ලංකා නාවික නෞකාවක ධජය ප්‍රදර්ශනය කිරීමත් මෙම නෞකාවේ ප්‍රධාන කාර්යභාරය විය. මෙම කාල වකවානුවේදී ඉංග්‍රීසි අධිරාජ්‍යයේ නැඟෙනහිර ඉන්දීය ධජ නෞකාව වන රාජකීය කින්යා සමඟ විජය නෞකාවද බුරුමය බලා යාත්‍රා කළේය.

වසර 67 කාලයේ නාවික හමුදාව ජයටැඹ කරා යාත්‍රා කරවූ නියමුවෝ

1950 දෙසැම්බර් මස 09 වන දින නාවික පණතේ 358 වන වගන්තිය සම්මත කර ගත් අතර ප්‍රථම රාජකීය ලංකා නාවික හමුදාවේ නාවික හමුදාපති ලෙස කපිතාන් ඩබ්.ඊ. බෑන්ක් වසරක කාලයකට පත්වූ අතර අනතුරුව කපිතාන් ජේ.ආර්.එස්. බ්‍රවුන්, කොමදෝරු ජී.එම්.බී. චාවාස් එම පදවියට පත් විය.

පළමු ශ්‍රී ලාංකික නාවික හමුදාපති වීමේ වාසනාව හිමිවූයේ රියර් අද්මිරාල් ජී.ආර්.එම්. ද මෙල් මහතාටය. ඉන්පසු රියර් අද්මිරාල් ආර්. කදිරගාමර්, රියර් අද්මිරාල් ඩී.වී. හන්ටර් නාවික හමුදාපති ධුරය හෙබවූහ.

රාජකීය ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස නම් කෙරේ

1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු රාජකීය ලංකා නාවික හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාව වශයෙන් නම් කරන ලදී. ඉන්පසු නාවික හමුදාපති ධුරයට පත්වු අද්මිරාල් ඩී.බී. ගුණසේකර, අද්මිරාල් ඒ.ඩබ්.එච්. පෙරේරා, අද්මිරාල් ඒ.එච්.ඒ. ද සිල්වා, අද්මිරාල් එච්.ඒ. සිල්වා, අද්මිරාල් ඩබ්.ඩබ්.ඊ.සි. ප්‍රනාන්දු, අද්මිරාල් ඩී.ඒ.එම්.ආර්. සමරසේකර, අද්මිරාල් එච්.සී.ඒ.සී. තිසේරා, අද්මිරාල් ඩී.ඩබ්.කේ. සඳගිරි යන මහතුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට විශිෂ්ට සේවාවක් සලසමින් නාවික හමුදාපති ධරය හෙබවීය. නාවික හමුදාවේ 15 වෙනි නාවික හමුදාපතිවරයා ලෙස අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සිය භාරදූර රාජකාරිය භාරගත්තේ 2005 සැප්තැම්බර් මස 01 වන දිනදීය. මොහු නාවික හමුදාපති ධුරයට පත්වූ පසු විනාශ කළ විශාල සතුරු නෞකා ගණන අටකි. අද්මිරාල් වසන්ත කරන්නාගොඩ නාවික හමුදා සේවයෙන් සමුගත් පසු අද්මිරාල් තිසර සමරසිංහ, අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරා නාවික හමුදාපති ධුරයට පත් විය.

ශ්‍රී ලංකාවේ 20 වන නාවික හමුදාධිපතිවරයා ලෙස 2015 ජුලි මස 11 වන දින අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න තම ධුරය භාරගනු ලැබුවේය. ඔහුගෙන් පසුව නාවික හමුදා ධුරයට පත්වූ වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා ඉතා ටික කලකින් විශ්‍රාම ලැබීය.

නූතන නාවික ඉතිහාසයේ ප්‍රථම වතාවට වැව් බැඳි රාජ්‍යය වූ මහාවංශ භූමියෙන් බිහිවු ප්‍රථම නැව්පති වනුයේ වත්මන් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහය. ඔහු නාවික හමුදාවේ 22 වන නැව්පතිවරයා වේ. ඔහුගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික හමුදා පර්යේෂණ සහ සංවර්ධන ඒකකය විසින් දිවයිනේ දිස්ත්‍රික්ක 11ක පැතිරී ඇති වකුගඩු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුරත්න ආරම්භ කළ ප්‍රති ඇස්‍රැත ජල පිරිපහදු යන්ත්‍ර 350ක් දක්වා විවිධ ප්‍රදේශවල මහජනයා සතු කරදීමට සමත්වී ඇත්තේ නාවික හමුදාවෙන් ඉටු කරනු ලබන මානව හිතවාදී තවත් එක් සමාජ සත්කාරයක් ලෙසිනි.

වෙරළ ආරක්ෂක බළකාය

දිවයින වටා වු වෙරළ ආරක්ෂා කිරීමේ කටයුතුවලදී නාවික හමුදාව ධීවර ප්‍රජාව හා සම්බන්ධ වෙමින් නාවික ආරක්ෂක මෙහෙයුම් ස්ථානයන්ද වෙරළ තීරයේ පවත්වාගෙන යන අතර නාවික හමුදාවේ උපදේශකත්වය ටයතේ 1350ක පමණ වෙරළ ආරක්ෂක බළකායක්ද වෙනම ආයතනයක් වශයෙන් ආරම්භ කර ඊට අදාළ රාජකාරී ඉටු කිරීමට සෑම අතින්ම සහය ලබා දෙයි. මෙම කාර්යය සඳහා ඩෝරා යාත්‍රා 10ක්ද නාවිකයින් 100 දෙනෙකුට සේවය කළ හැකි මීටර් 74ක් දිගැති සුරක්ෂා නෞකාවද අනුයුක්ත කොට ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාව දශක හයකට වැඩි කාලයක් දේශය වෙනුවෙන් ඉටු කළ අනුපමේය සේවය අති විශිෂ්ටය. දැනට අධිකාරිය ලත් නිලධාරීන් 3175කින්ද නාවිකයින් 55000කින්ද සමන්විත නාවික හමුදාවක් අප සතුව ඇතත් රැකිය යුතු සාගර කලාපය අපේ රට මෙන් විසිඑක් ගුණයකි. අධිකාරියට පත් කරන ලද දිවයින පුරා විසිරුණු ප්‍රධාන නාවික කඳවුරු 47ක්ද නාවික ස්ථානගත කිරීම් 02ක්ද අනු ඛණ්ඩ 64ක්ද නාවික උප අනු ඛණ්ඩ 25කට වැඩි ප්‍රමාණයක්ද විවිධ වර්ගයේ විශාල නෞකා වේග ප්‍රහාරක මුර යාත්‍රා මෙන්ම ඒ 543 මගී නෞකා මගින් ඉටු කරනු ලබන සුවිශේෂී මෙහෙය අගය කළ යුතුය.

හෙට දවස වෙනුවෙන් දිවිය කැප කළ උත්තම නාවික විරුවෝ

1983 වසරේ සිට දේශයේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම රටේ ඒකීයභාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කර ගැනීමේ උදාර ප්‍රයත්නයේදී දේශයේ නාමයෙන් තම පන නළ පූජා කළ නාවික විරුවන් අතර අද්මිරාල් ඩබ්.ඩබ්.ඊ.සී. ප්‍රනාන්දු හිටපු නාවික හමුදාපති ඇතුළු නාවික විරුවන්ගේ ගණන 1181 ක් වේ. ක්‍රියාන්විතවලදී නැතිවු නාවික පිරිස 437ක් වන අතර පූර්ණ ආබාධිත තත්වයට පත්වූ නාවික විරුවන් ගණන 430කි.

ශ්‍රී ලංකා නාවික හමුදාව අද පවතින දියුණු තත්ත්වයට ගෙනඒමට නාවික හමුදාව පිහිට වූ ඉංග්‍රීසි යුගයේ සේවය කල නාවිකයන් මෙන්ම සිවිල් පුද්ගලයන් අද දිනද අපගේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස ජීවත් වෙති. ඔවුන් ඉටු කළ සේවය ඇගයීම් වස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැලිසර ගැමුණු ආයතනයේ පරිශ්‍රයක රුපියල් මිලියන දෙකකට ආසන්න වියදමින් නාවික හමුදා සංගමයේ කටයුතු පහසුකරලීම සඳහා පූර්ණ පහසුකම් සහිත ගොඩනැඟිල්ලක් තනාදීමට නාවික හමුදාව සමත්වී ඇත.

ශතක හයකට වැඩි කාලයක් තිස්සේ පියවරෙන් පියවරට ගමන් ගත් නාවික හමුදාවේ නිරන්තර දියුණුව සඳහා මෙතෙක් උරදුන් නාවික නිලධාරීන් මෙන්ම නාවිකයින්ගේ ඇප කැපවීමට දිරිය දුන් තවත් එක් පිරිසක් ඔවුන් පසුපස සිටියහ. ඒ ඔවුන් මෙලොවට දායාද කළ ඔවුන්ගේ මාපියන් සහ තම ආදරණීය බිරින්දෑවරුන් මෙන්ම දූ දරුවන්ය. ඒ සියලු දෙනාමත් නාවික සිවිල් පුද්ගලයන්ගේ සහායත් සැමවිටම සැමදා අගය කළ යුතුමය.

වසර 67ක් සපිරෙන නාවික හමුදා ජන්ම සංවත්සරය සමරන මේ මොහොතේ 'මව්බිමේ තිරසාර දියුණුව මෙන්ම රටේ ආරක්ෂාව පළමුව' යන පාඨය හදවත දරා නිරන්තර ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙමින් එම අභිමතාර්ථය ඉහළින් ඔසවා තැබීමට ඇප කැප වෙමින් ලැබූ ජයග්‍රාහී අභිමන් ඉදිරියේ තව තවත් ධෛර්යමත් වෙමින් ශ්‍රී ලංකාවට මුහුදින් පැමිණෙන සියලු සතුරු උපද්‍රවයන් මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට පූර්ණ ශක්තිය ධෛර්යය මෙන්ම වාසනාව නිතැතින්ම ලැබේවායි ප්‍රාර්ථනා කරමු.

ලුතිනන් කමාන්ඩර් (අවි) සිරි සුදසිංහ (විශ්‍රාමික) හිටපු සභාපති
(ශ්‍රී ලංකා නාවික හමුදා සංගමය) 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...