සයිටම් අර්බුදයට සාධනීයව මැදිහත් වන්න | දිනමිණ

සයිටම් අර්බුදයට සාධනීයව මැදිහත් වන්න

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

සයිටම් අර්බුදය විසඳීම සඳහා සැමට පිළිගත හැකි ජනතාවාදී විසඳුමක් ලබාදෙමින් අර්බුදකාරී මතභේදාත්මක තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලීම වෙනුවෙන් සාධනීය ලෙස මැදිහත්වන ලෙස රජයේ‍ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ ඉල්ලීම සිදු කර ඇති අතර එම ලිපියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

සයිටම් අර්බුදය වඩාත් තීව්‍ර ලෙස නැවත මතුවීමට යාම වළක්වාලීම සඳහා සාධනීය මැදිහත්වීමක අවශ්‍යතාවය

සයිටම් ආයතනයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් රට තුළ නිර්මාණය වූ අර්බුදකාරී වාතාවරණය නිමා කරලීම සඳහා ඔබතුමාත් ගරු අග්‍රාමාත්‍යතුමාත් ගන්නා ලද සාධනීය මැදිහත්වීම් පිළිබඳව ප්‍රථමයෙන්ම කෘතවේදිව සිහිපත් කරමු.

ඔක්තෝබර් 29 වැනි දින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් නිකුත් වූ රාජ්‍ය ස්ථාවරය පදනම් ලියවිල්ලක් ලෙස තබා ගනිමින් වඩා නිවැරදි සැමට පිළිගත හැකි විසඳුමක් නිර්මාණය කිරීම සඳහා ඔබතුමා විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමද සැලකිල්ලට ගෙන නවතම ජනාධිපති කමිටුව ස්ථාපනය කරන ලදි. එමෙන්ම එම කමිටුව සඳහා නිරීක්ෂණ මට්ටමින් සහභාගීවීමට ඔබතුමා විසින් අප සංගමයටද අවස්ථාවක් ලබාදෙන ලදී.

කෙසේ නමුත් මේ වන විට අදාළ කමිටුව තුළත් ඉන් බාහිරවත් මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් කෙරෙහි ඔබතුමාගේ ගෞරවණීය අවධානය යොමු කරවමු.

1. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අප ඇතුළු සියලු පාර්ශ්වවල එකඟතාව ලබාගෙන සකස් කළ ලියවිල්ලෙන් කොටසක් පමණක් ගැසට් කර නීත්‍යානුකූල කිරීමට යාම

2. එම එකඟතාව සහිත ලියවිල්ලේ අඩංගු කරුණුවලට පරිබාහිරව ගරු සෞඛ්‍ය අමාත්‍ය‍තුමාගේ හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවශ්‍යතාව මත අවම ප්‍රමිතිය හෑල්ලුවට ලක්වන විකාති සහගත ලියවිල්ලක් ගැසට් නිවේදනය හරහා අනුමත කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පැවතීම.

3. එමෙන්ම පාර්ශ්වවල එකඟතාව ලබාගැනීමෙන් තොරව සයිටම් ආයතනය SLIIT ආයතනය හෝඑවන් වෙනත් පෞද්ගලික ආයතනයක් වෙත පැවරීමට ගන්නා උත්සාහය.

මෙම මතභේදාත්මක කරුණු පිළිබඳ කමිටුවේ ගරු සභාපති වශයෙන් ඔබතුමා පත් කළ නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙතද අප විසින් දැනුම් දී ඇත.

එමෙන්ම සයිටම් ආයතනයේ ඉගෙනුම ලබන හෝ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයන්ට ලබාදෙන විසඳුම් හා සයිටම් ආයතනය වෙනුවට නව විකල්ප ව්‍යුහයක් බිහි කිරීම යන්න වෙන් වෙන් වු කාරණා 2ක් ලෙස සාකච්ඡාවට බඳුන් කරනා මෙන් අප ඇතුළු පාර්ශ්ව ගණනාවක් ජනාධිපති කමිටුවෙන් මේ වන විටත් ඉල්ලා ඇත.

ඔබතුමා පත් කළ කමිටුව අවසන් වරට රැස්වූයේ නොවැම්බර් 20 වැනි දිනය. සියලු විසඳුම් දෙසැම්බර් 31 වෙනි දින වන විට ලබාදී අවසන් කරන බවට රජයේ පාර්ශ්වයෙන් වී ඇති පොරොන්දුවද සැලකිල්ලට ගෙන ජනාධිපති කමිටුව නැවත කඩිනමින් රැස් විය යුතු වුවත් මේ දක්වාම නැවත රැස්වන දිනයක් හෝ දැනුම් දී නොමැති බවද ඔබතුමා වෙත කණගාටුවෙන් යුක්තව දන්වා සිටිමු.

ඒ අනුව අපගේ නිරීක්ෂණ හා යෝජනා කෙරෙහි සංවේදී නොවෙමින් ජනාධිපති කමිටුව හෝ වගකිව යුතු බලධාරින් තවදුරටත් කටයුතු කරනුයේ නම් මින් ඉදිරියට කමිටුවේ කටයුතු සඳහා නිරීක්ෂණ මට්ටමෙන් හෝ දායකත්වය ලබාදීමට නොහැකි වනු ඇති බව කරුණාවෙන් දන්වා සිටිමු. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...