එජාපය නිසා නව ඡන්ද ක්‍රමය සහ කාන්තා නියෝජනය වැඩි කිරීමට හැකි වුණා | දිනමිණ

එජාපය නිසා නව ඡන්ද ක්‍රමය සහ කාන්තා නියෝජනය වැඩි කිරීමට හැකි වුණා

ශිරෝමි අබයසිංහ

අප බාර ගත්තේ රාජපක්ෂ රෙජිමය විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ රටක් බව අමතක කළ යුතු නැහැ. ණය ආපසු ගෙවීමටවත් අපට මුදල් තිබුණේ නැහැ. වසර 40ක් ඇතුළත මිලියන දස දහසක මුදලක් ගෙවීමට තිබෙනවා. මගේ උත්සාහය ඊට පෙර ඒ මුදල් ගෙවා දැමීමටයි

අලුතින් සිතන එක්සත් ජාතික පක්ෂය නිසා නව ඡන්ද ක්‍රමයක් ලබාගැනීමටත්, කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමටත් එකම දිනයක මැතිවරණ පැවැත්වීමටත් හැකියාව ලැබුණු බව එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ සටන් කරමින් කාන්තාවන්ට 25% ක නියෝජන අයිතිය ලබා දීමට කටයුතු කළත් පසුගිය කාලයේ කාන්තාවන් සියයක් දූෂණයට ලක් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ධුරයෙන් පහ කරනු වෙනුවට හිටපු ජනාධිපතිවරයා සිදු කළේ අරලිය ගහ මන්දිරයට එම මන්ත්‍රීවරයා කැඳවා මල් මාලා දමා පිළි ගැනීම බව ද අගමැතිවරයා කීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් තමාත් එකතු වී අලුතින් සිතන ජාතික ආණ්ඩුවක් බිහි කළ බවත් දැන් අරමුණ වී ඇත්තේ අලුතින් හිතන ගමේ ආණ්ඩුවක් බිහි කිරීම බව ද අගමැතිවරයා කීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ පසුගිය 3 දින බිංගිරිය ආසනයේ සංවර්ධන කටයුතු විවෘත කිරීම්, මුල්ගල තැබීම් ගණනාවකට සහභාගි වීමෙන් පසුව නාගොල්ලාගොඩ, හමන්නාපහුව මංසන්දියේ දී පැවැති ජනහමුව අමතමිනි.

එහි දී අගමැති වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

බිංගිරියේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීම සඳහා මා එම ආසනය පුරාම සංචාරය කළා. නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා හොඳ ක්‍රියාකාරී මන්ත්‍රීවරයකු බව කිව යුතුයි. පාර්ලිමේන්තුවේ මෙන්ම ආසනයේත් ඔහු ක්‍රියාකාරීව වැඩ කරනවා. මෙතුමා කරන සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධව අපට මෙහි දී අවබෝධයක් ලබා ගැනීමට හැකි වුණා. එමෙන්ම නව සංවර්ධන ව්‍යාපෘති පිළිබඳත් සාකච්ඡා කළා. එම වැඩකටයුතු අවසන් කොට නාගොල්ලාගොඩ, හමන්නාපහුව, තාරණ කොට්ඨාසයට පැමිණියා.

මීට පෙර තාරණ නමින් කොට්ඨාසයක් තිබුණේ නැහැ. ඡන්ද පොළ තුනක් සමඟ දැන් තාරණ කොට්ඨාසයක් ඇති වී තිබෙනවා. ඒ කොට්ඨාසයට අපේක්‍ෂකයකු ද සිටිනවා. පෙර ක්‍රමය යටතේ මනාප ක්‍රමයේ දී පක්‍ෂයේ අයම ගහමරා ගත්තා. තමන්ගේ අයම තමන්ගේ අයට විරුද්ධව සටන් කළා. මනාප ක්‍රමය යනු එයයි. පක්‍ෂයට ඡන්දය ලබාගන්නවාට වඩා තමන්ගේ අය සමඟ ගැටෙන්නට පටන් ගත්තා.

ප්‍රාදේශීය සභා ක්‍රමය යටතේ මනාප ක්‍රමය ස්ථාපිත කළේ සුළු ජාතීන්ටත්, වෙනත් ආගම්වල අයටත් මන්ත්‍රීවරුන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සලසා දීමටයි. නමුත් මනාප ක්‍රමය සම්පූර්ණයෙන් විකෘතියක් බවට පත් වුණා. එම නිසා අප අලුත් ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඒ ක්‍රමය ඇති වුණේ එක්සත් ජාතික පක්‍ෂය නිසයි. ශ්‍රී ලංකාවේ අලුතින් හිතන්නට හැකි පක්‍ෂය වන්නේ එක්සත් ජාතික පක්‍ෂයයි.

ගමේ ආණ්ඩුවල අලුත් ක්‍රමය පිළිබඳ මා මෙහි දී කතා කරන්න සිතුවා. ප්‍රාදේශීය සභා මනාප ක්‍රමයේ විශාල අඩුපාඩුකම් තිබුණා. 2003 වසරේ මා අගමැතිවරයාව සිටි සමයේ දී මේ පිළිබඳ වාර්තා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කමිටුවක් පත් කළා. එහි සභාපතිවරයා වූයේ දිනේෂ් ගුණවර්ධන මහතායි. ඉන් පසුව අපට ඡන්දය පරාජයට පත් වී විපක්‍ෂයේ අසුන් ගැනීමට සිදු වුණා. නමුත් දිනේෂ් ගුණවර්ධන මහතා ඒ වැඩ කටයුතු ඉදිරියට කරගෙන ගියා. එතුමා ඉදිරිපත් කළ වාර්තාවෙහි ඇතැම් කරුණු පිළිගත් අතර, පිළිගන්නට නොහැකි කරුණු ද තිබුණා. නමුත් එම වාර්තාව ක්‍රියාත්මක වුණේ නැහැ. එම පිළිගත නොහැකි කාරණා වෙනස් කරන්න යැයි අප පැවැසුවත්, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඊට එකඟ වුණේ නැහැ.

ඔවුන් ගමේ සිටි වංචාකරුවන්, හොරුන් ඡන්දයට ඉදිරිපත් කළා. එම හොරුන් ආණ්ඩුවේ මුදලින් සිදු කරන ව්‍යාපෘතිවලින් මුදල් ගසා කෑවා. ඔවුන්ගේ පාලන කාලය තුළ අයථා ලෙස මුදල් උපයා නොගත් දේශපාලනඥයෙක් වෙන්කර හඳුනාගත හැකිද? සියලු ව්‍යාපෘතිවලින් අඩුම වශයෙන් 25% ක් හෝ ඔවුන් තම සාක්කුවට දමා ගත්තා. කසිප්පු ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, වැලි ගැරීමේ බලපත්‍ර මේ ආදී සියලුම දේ එම පාලන කාලය තුළ දේශපාලනඥයන් විසින් සිදු කළා. එමෙන්ම කාන්තා දූෂකයන් ද ඔවුන්ගේ පාලනය තුළ සිටියා. එකල අකුරැස්ස ප්‍රදේශයේ එක් සභාපතිවරයෙක් කාන්තාවන් 100 දෙනෙක් දූෂණය කිරීම වෙනුවෙන් උත්සවයක් ද පැවැත්වූවා. ඔහු ධුරයෙන් පහකිරීම වෙනුවට එකළ ජනාධිපතිවරයා ඔහුව අරලියගහ මන්දිරයට ගෙනැවිත් මල් මාලා පළඳවමින් පිළිගත්තා. එදා රටේ ඇතිව තිබුණේ එවැනි තත්ත්වයක්. ජනතාවට එදා දේශපාලනය එපා වී තිබුණා.

නව දේශපාලනයක්, නව මැතිවරණ ක්‍රමයක් අවශ්‍ය යැයි අප පැවැසුවේ එම නිසයි. ඒ අනුව නැවතත් කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්විය යුතු යැයි අප තීරණය කළා. තම ප්‍රදේශයේ නියෝජිතයා ජනතාව වෙනුවෙන් යහපාලනයේ යෙදෙන්නේ නැත්නම් අනෙක් මැතිවරණයේ දී ඔහුව ඉවත් කිරීමේ බලය ජනතාවට තිබිය යුතුයි. අප එම ක්‍රමවේදය යෝජනා කරන විට බැසිල් රාජපක්‍ෂ විසින් ඔවුන්ට වාසි සහගත වන ආකාරයට වෙනත් ක්‍රමවේදයක් ඉදිරිපත් කළා. අප එය හැඳින් වූයේ මැදමුලන ක්‍රමය ලෙසයි. එම මැදමුලන ක්‍රමය විශ්වාස කිරීමේ හැකියාවක් රටේ ජනතාවට හෝ අපට තිබුණේ නැහැ. එම නිසා 2015 ජනාධිපතිවරණයේ දී රට වෙනුවෙන් නව නිදහස් සහ සාධාරණ මැතිවරණ ක්‍රමයක් ගෙන එනවා යැයි අප පොරොන්දු වුණා. ඒ හරහා තමන්ට හිමි නියෝජිතයෙක් තෝරා ගැනීමේ අවස්ථාව ජනතාවට ලැබෙනවා.

තමන්ට සම්පූර්ණ ප්‍රාදේශීය සභාවම ආවරණය කරමින් මැතිවරණ තරගයට තරග කළ නොහැකි බව අපේ පක්‍ෂයේ තරුණ මැතිවරණ අපේක්‍ෂකයන් පැවැසුවා. තමන්ට තම කොට්ඨාසයේ පවුල් 200ක් හෝ 300ක් අතර ප්‍රමාණයක් ලැබෙනවා නම් ඔවුන්ව දැනුවත් කරමින් මැතිවරණයට ඉතා හොඳින් ඉදිරිපත් විය හැකි බව ඔවුන් සඳහන් කළා. පැවැති ක්‍රමය යටතේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවට පත්වීමට අඩුම වශයෙන් රුපියල් ලක්‍ෂ 50 ක්වත් වියදම් කිරීමට සිදු වුණා. එතරම් මුදලක් වියදම් කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බවට පත් වූ විට මුලින්ම ඔවුන් උත්සාහ කරන්නේ එම වියදම් කළ මුදල සෙවීමටයි. නමුත් එම ක්‍රමයට පක්‍ෂයක් ලෙස අප එකඟ නැහැ.

මේ සියලු දේ පිළිබඳ අවධානය යොමු කරමින් 2015 අපි බලයට පත් වූ විට එවක සිටි අමාත්‍යවරයා වූ කරු ජයසූරිය ඇමැතිවරයා පත් කළ කමිටුව හරහා සියල්ලන්ට සාධාරණ ලෙස කොට්ඨාස වෙන් කිරීම ආරම්භ කළා. 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ඇතැම් කොට්ඨාසවල තවදුරටත් යම් අඩුපාඩු තිබෙන බව අප දුටුවා. එම නිසා ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා යටතේ නව කමිටුවක් පත් කරමින් කොට්ඨාස වෙන් කිරීමේ කටයුතු සිදු කළා. නමුත් ඇතැම් කුඩා පක්‍ෂ මැතිවරණයේ දී තමන්ට අනුපාත ක්‍රමයක් අවශ්‍ය බව පැවැසුවා. තමන්ට කොට්ඨාස ජයග්‍රහණය කිරීමට අපහසු බැවින් අනුපාත ක්‍රමයක් ද අවශ්‍ය බවයි ඔවුන් සඳහන් කළේ. එම නිසා කොට්ඨාස ක්‍රමයත්, අනුපාත ක්‍රමයත් එක් වූ ක්‍රමයක් නිර්මාණය කිරීමට අප තීරණය කළා. ඒ අනුව 40% ක් අනුපාත ක්‍රමය යටතේත්, ඉතිරි 60% කොට්ඨාස ක්‍රමය යටතේ තෝරා පත් කර ගැනීමට අප තීරණය කළා.

මේ පිළිබඳ දැනුවත් කිරීමට මම සියලුම පක්‍ෂ නායකයන් කැඳවූවා. මේ පිළිබඳ මාස දෙකක් පුරා සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි සියලු දෙනා ඊට එකඟතාව පළ කළේ. ඒ ආකාරයට නව මැතිවරණ ක්‍රමයක් ඇති කිරීමට අපට හැකි වුණා. ඒ වගේම මේ රටේ ජනග්‍රහණයෙන් බහුතරය වන්නේ කාන්තාවන්. නමුත් ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන නියෝජනය 5% ක් පමණ අඩු ප්‍රමාණයක් ලෙසයි සඳහන් වෙන්නේ. අප මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. රටේ කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතුයි. එය පළමුවෙන් ආරම්භ කළ යුත්තේ ග්‍රාමීය මට්ටමින් බව අප අවබෝධ කර ගත්තා. එම නිසා ගමේ ආණ්ඩුව තෝරා ගැනීමේ දී එහි මන්ත්‍රීවරුන්ගෙන් 25% ක් අනිවාර්යෙන් කාන්තාවන් විය යුතු බව අප තීරණය කළා.

2015 මාර්තු මාසයේ දී මේ තීරණය ඉදිරිපත් කරන විට අපේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයවත් ලැබී තිබුණේ නැහැ. බොහෝ දෙනා පැවැසුවේ සම්මත කර ගැනීමට අපහසු බවයි. නමුත් මේ කෙටුම්පත ඉදිරිපත් කරන බවත් හැකි නම් ඊට විරුද්ධ වන ලෙසත් මා එවිට පැවැසුවා. එහි දී අප ඒ පිළිබඳ වාද කළා. කවුරුවත් ඊට විරුද්ධ වුණේ නැහැ. එම කෙටුම්පතත් සම්මත කර ගැනීමට අපට හැකියාව ලැබුණා. දැන් 25% ක කාන්තා නියෝජනයට ඉඩ සැලසී තිබෙනවා. එක්සත් ජාතික පක්‍ෂය පාර්ලිමේන්තුව තුළ සටන් කරමින් කාන්තාවන්ට 25% ක නියෝජන අයිතිය ලබාදුන් බව මම කියන්න කැමැතියි. මේ ප්‍රදේශයේ ඇතැම් කොට්ඨාසවලට ඉදිරිපත් වී සිටින බොහෝ දෙනා කන්තාවන් බව කිව යුතුයි. ඔවුන්ගෙන් බොහෝමයක් උපාධිධාරීන්.

කොට්ඨාසයකට ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන් කාන්තාවන් වීමේ ප්‍රවණතාවක් මීට පෙර තිබුණේ නැහැ. මේ මැතිවරණ ක්‍රමය යටතේ මැතිවරණයට තරග කිරීම සඳහා විශාල මුදලක් වැය වන්නේ නැහැ. තමන්ගේ කොට්ඨාසයේ ගෙවල් 500ක පමණ මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිසියාකාරව සිදු කරනවා නම් මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමේ හැකියාව තිබෙනවා. එය පහසු කාර්යයක්. දිනකට ගෙවල් 25 බැගින් මැතිවරණ කටයුතු සඳහා යොදා ගත්තත් එම සම්පූර්ණ සංඛ්‍යාව ආවරණය කිරීමට හැකියි. 1977 දී අප මැතිවරණ කටයුතු කළේ ඒ ආකාරයටයි. එකල මට ඡන්ද දායකයන් 44, 000 ක් සිටියා. නිවාස 7000 ත් 8000 ත් අතර ප්‍රමාණයක් තිබුණා. මම ඒ සියලුම නිවාස වෙත ගොස් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කළා. ඉන් පසුව ගණන් බලන විට වැඩි ඡන්ද 1500 කින් මා ජයග්‍රහණය කරන බව මට අවබෝධ වුණා. ඡන්දය අවසානයේ ප්‍රතිඵල ලැබෙන විට මම ඡන්ද 6600 කින් ජයග්‍රහණය කර තිබුණා.

ඒ ආකාරයට ගෙයින් ගෙට ගොස් මැතිවරණ කටයුතු සිදු කිරීමේ දී ඡන්ද දායකයන් සහ ඡන්ද අපේක්‍ෂකයන් වන අප අතර හොඳ සම්බන්ධයක් ඇති වීම ඊට හේතුවයි. කොට්ඨාස ක්‍රමය නැවතත් ගෙන එමින් එම සම්බන්ධතාවය නැවතත් ඇති කර ගැනීමට අපේක්‍ෂකයන්ට හැකියාව ලැබෙන්නේත් කාන්තාවන්ට සහ තරුණයන්ට අපේක්‍ෂකයන් ලෙස ඉදිරිපත් වීමේ වැඩි ඉඩක් ලැබෙන්නේත් එක්සත් ජාතික පක්‍ෂය යටතේ බව මම ඔබට කියන්න කැමැතියි. නමුත් එම ක්‍රමය 100% ක් සාර්ථක යැයි තවමත් පැවැසිය නොහැකියි. මේ නව ක්‍රමය යටතේ එළඹෙන මැතිවරණය අප පවත්වන්නේ අත්හදා බැලීමක් ලෙසයි. ඉන් පසුව මෙහි අඩුපාඩුකම් හඳුනාගෙන ඉදිරියට යෑමේ හැකියාව ලැබෙනවා. මේ නව මැතිවරණ ක්‍රමය ඉතා හොඳ ක්‍රමවේදයක් වුවහොත් එය පාර්ලිමේන්තු මැතිවරණයටත් යොදා ගැනීමට හැකියි. එසේ නම් තම කොට්ඨාසයට එක් අපේක්‍ෂකයකු තෝරා ගැනීමේ හැකියාව ජනතාවට ලැබෙනවා.

මීට පෙර පැවැති මැතිවරණ ක්‍රමය යටතේ කොට්ඨාසයේ සියලු දෙනාම ඡන්දය පාවිච්චි කළත් තම කොට්ඨාසයට අයිති නියෝජිතයෙක් පත් කර ගැනීමට ඔවුන්ට හැකියාව ලැබුණේ නැහැ. උදාහරණයක් ලෙස දඹදෙණිය ආසනයට එක් මන්ත්‍රීවරයෙක් හෝ පත් වී නැහැ. දොඩම්ගස්ලන්ද, පොල්ගහවෙල, නිකවැරැටිය ආදී කොට්ඨාසවලත් තත්ත්වය එසේයි. නමුත් එම ආසනවල ජනතාව මැතිවරණයේ දී සිය ඡන්දය පාවිච්චි කර තිබෙනවා. එම ඇතැම් ආසනවල අප පක්‍ෂය ජයග්‍රහණය කර තිබෙන අතර, ඇතැම් ආසනවල අනෙක් පක්‍ෂ ජයග්‍රහණය කර තිබෙනවා. නමුත් නියෝජිතයකු නැහැ.

අප ඉදිරිපත් කරන නව ක්‍රමවේදය යටතේ එවැනි අඩුපාඩුවක් සිදුවීමට ඉඩ තබන්නේ නැහැ. බිංගිරිය ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ මැතිවරණ කොට්ඨාස 13 ක් සහ උඩබද්දාව ප්‍රාදේශීය සභා බලප්‍රදේශය තුළ මැතිවරණ කොට්ඨාස 11 ක් පිහිටා තිබෙනවා. මේ කොට්ඨාස 24 ම මන්ත්‍රීවරු 24 දෙනකු පත් කර ගැනීමට නව ක්‍රමය යටතේ හැකියාව ලැබෙනවා. ඒ වගේම කුඩා පක්‍ෂ වෙනුවෙන් අනුපාත ක්‍රමයක් අප යොදා ගන්නවා. අප ඇති කර තිබෙන නව ක්‍රමය මෙයයි.

අප ඡන්දය පැවැත්විය යුතු කාලය පිළිබඳ තීරණය කිරීමට මා නැවතත් පක්‍ෂ නායක රැස්වීමක් කැඳෙවුවා. අයවැය ඉදිරිපත් කිරීම, අයවැය විවාදය, නත්තල් සමය, තෛයිපොංගල් උත්සවය ආදී මේ සියලු කාරණා අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීමට තීරණය වුණා. ඊට මැතිවරණ කොමිසමත් එකඟතාවය පළ කළා. මේ ආකාරයට මැතිවරණය වෙනුවෙන් අවශ්‍ය පසුබිම සකස් කරන විට මැතිවරණයට එරෙහිව පෙත්සම්කරුවන් කිහිපදෙනකු උසාවියේ නඩුවක් ගොනු කරමින් තහනම් නියෝගයක් ලබාගත්තා. ඉන් පසුව නැවතත් පක්‍ෂ නායකයන් සියලු දෙනා පාර්ලිමේන්තුවේ දී රැස්වී දෙසැම්බර් 04 ට පෙර නඩුව විභාග කරන්න යැයි නීතිපතිවරයාට දැනුම් දුන්නා. ඒ අනුව නීතිපතිවරයා ඊට අවශ්‍ය කටයුතු සිදු කළා. ඒ අතරවාරයේ එම පෙත්සම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට මම උත්සාහ කළා. එමෙන්ම ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාටත් මා සඳහන් කළේ එම පෙත්සම්කරුවන් සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ටත් අසාධාරණයක් වී තිබෙනවා නම් ඒ පිළිබඳත් අවධානය යොමු කරමින් කෙසේ හෝ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙසයි.

නීතිපතිවරයා මේ පිළිබඳ උසාවියට දැනුම් දුන්නත්, උසාවිය එම නඩුව 04 වැනිදාට පෙර විභාගයට ගත්තේ නැහැ. නමුත් මගේ ඉල්ලීම අනුව ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා එම පෙත්සම්කරුවන් සමඟ සාකච්ඡා කළා. ඒ අනුව මේ අසාධාරණය පිළිබඳ සාකච්ඡා කරමින් එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට ඔවුන් තීරණය කළා. එම නිසා එම පෙත්සම්කරුවන්ට මගේ විශේෂ ස්තූතිය පළ කරනවා. ඒ වගේම ඇමැතිවරයාටත් ස්තූතිවන්ත වෙනවා. ඇති වූ එම ගැටලුව සම්බන්ධයෙන් අප ගත් මේ පියවර නිසා නැවතත් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට අපට හැකි වුණා.

මේ මැතිවරණය එක දිනයක දී පැවැත්විය යුතු බව එක්සත් ජාතික පක්‍ෂය ඇතුළු තවත් පක්‍ෂ ගණනාවක් පැවැසුවා. පරණ ආකාරයට මැතිවරණ කඩින් කඩ පැවැත්වීමට අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වූයේ මැතිවරණය එක් දිනයක් තුළ රටපුරාම පැවැත්වීමයි. එම නිසා මැතිවරණය ජනවාරි මස අවසානයේ පැවැත්විය හැකි දැයි අප මැතිවරණ කොමිසමෙන් විමසා සිටියා. නමුත් මැතිවරණ කොමිසම දැනුම් දුන්නේ මැතිවරණය පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට හැකි බවයි. නමුත් අපේ ස්ථාවරය වූයේ හැකි තරම් ඉක්මනින් මේ මැතිවරණය පැවැත්විය යුතු බවයි. කෙසේ හෝ පක්‍ෂ නායකයන් සමඟ අප මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ අනුව පෙබරවාරි 04 වැනි දිනෙන් පසු එළැඹෙන සෙනසුරාදා දිනයක මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට දැනුම් දීමට තීරණය කළා.

මේ අලුත් ක්‍රමය පැමිණියේ 2002 – 2003 වසරවල එක්සත් ජාතික පක්ෂයේ අප පත්කළ කමිටුව නිසයි. ඒ කමිටුවේ කටයුතු කිරීමට වසර 14ක් ගත වුණා. කෙළෙස හෝ සාර්ථකව අත්හදා බැලීම සඳහා අප අලුත් ක්‍රමයක් ඉදිරිපත් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය මේ ක්‍රමය හඳුන්වා දුන්නේ අලුතෙන් සිතා බැලීමෙන් පමණක් නොව නව පරපුරට විශ්වාසදායක ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීම සඳහායි. තමන්ගේ මන්ත්‍රීවරයා සාර්ථක නැතිනම් ඊළඟ වාරයේ ඉවත් කළ හැකියි. මන්ත්‍රිධුරයට පත්වීම සඳහා මුදල් වියදම් කිරීමට අවශ්‍ය නැති, මුදල් ඉපයීමට අවශ්‍ය නැති දේශපාලන ක්‍රමයක් අප අත්හදා බලනවා. ඒ ක්‍රමය යටතේ මෙරට බහුතරය වන කාන්තාවන්ටත් නියෝජනයක් ලබා දෙනවා. මෙවර එම නියෝජනය 25% , 30% පමණ වුවත් ඊළඟ වාරයේ දී මුළු සභාවේම බහුතරය කාන්තාවන් බවට පත්වීමට හැකියාව තිබෙනවා.

මේ නව ක්‍රමය ඉදිරිපත් කිරීමට හැකිවීම ගැන අප ආඩම්බර වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක අපේක්ෂිකාවන් ගම වටා ගොස් මේ නව ක්‍රමය පිළිබඳව ජනතාවට විස්තර කර දී ගමේ ආණ්ඩුවෙන් ජනතාවට කරන සේවය පහදා දී ජනතා විශ්වාසය ගොඩනඟා ගෙන බලය ලබා ගනීවි යැයි මා අපේක්ෂා කරනවා.

කවුරුන් හෝ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වුවත් පළාත් සභා මන්ත්‍රීවරයකු වුවත් ඡන්දදායකයන්ට වගකිව යුතුයි. තම කොට්ඨාසයේ ජනතාවට වගකිව යුතුයි. ජනතා සේවය කරන්නේ නැතිනම් ඔහු ඉවත් කිරීමට අවස්ථාව ඡන්ද දායකයන්ට තිබිය යුතුයි. එමෙන්ම කාන්තාවන්ට, තරුණයන්ට ඉඩ ලබාදිය යුතුව තිබෙනවා. කුඩා පක්ෂවලට අනුපාත ක්‍රමය අනුව සාමාජිකයන් පත්කර ගැනීමට අවස්ථාව තිබිය යුතුයි. නව ක්‍රමය හඳුන්වා දුන්නේ ඒ නිසායි.

අලුතින් සිතන එක්සත් ජාතික පක්ෂය නිසා නව ඡන්ද ක්‍රමයක් ලබාගැනීමටත්, කාන්තා නියෝජනය 25% දක්වා වැඩි කර ගැනීමටත් එකම දිනයක ලංකාවේ මැතිවරණ පැවැත්වීමටත් හැකියාව ලැබී තිබෙනවා.

අලුතින් සිතන ගමේ ආණ්ඩු බිහි කිරීම අපේ අරමුණක් වී තිබෙනවා. රටේ දැන් අලුතින් සිතන ආණ්ඩුවක් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනපතිත්, මමත් ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළේ අලුතින් සිතීම නිසයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට එක්වී ආණ්ඩු කරනු ඇතැයි කවුරුවත් සිතුවේ නැහැ. පක්ෂ දෙකක් එකට සිටින විට විවිධ වාද ඇති වෙනවා. නමුත් අප ආණ්ඩුව කරගෙන යනවා.

අප බාර ගත්තේ රාජපක්ෂ රෙජිමය විසින් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමූ රටක් බව අමතක කළ යුතු නැහැ. ණය ආපසු ගෙවීමටවත් අපට මුදල් තිබුණේ නැහැ. වසර 40 ක් ඇතුළත රුපියල් මිලියන දස දහසක මුදලක් නැවත ගෙවීමට තිබෙනවා. මගේ උත්සාහය වන්නේ ඊට පෙර ඒ මුදල් ගෙවා දැමීමටයි. අපේ ජීවිත කාලය තුළ දී මේ ණය ගෙවා දමා තරුණ පරපුරට ඒ ණය ගෙවීමට අවශ්‍ය නොවන තත්ත්වයක් ඇති කළ යුතුයි.

මේ රැස්වීම් භූමියට තරුණ තරුණියන් විශාල පිරිසක් පැමිණ සිටිනවා. වසර 40 ක් මේ ණය ගෙවීමට කැමැති දැයි මා ඔවුන්ගෙන් විමසා සිටිනවා. මේ ණය ගත්තේ වෙනත් අය වුවත් අපේ පරම්පරාව තුළදීම මේ ණය ගෙවා ඉදිරි පරපුරට නිදහස් වාතාවරණයක් ඇති කිරීම අරමුණයි. මේ ණය බරින් ගොඩ ඒමට නම් අලූත් ආර්ථිකයක් ඇති කළ යුතුයි. සාම්ප්‍රදායික ආර්ථිකය තුළින් ගොඩ ඒමට හැකියාවක් නැහැ. අලුත් කර්මාන්ත අවශ්‍යයි. ඇඟළුම් කර්මාන්තය පමණක් නොව සංචාරක කර්මාන්තය ද දියුණුවට පත් කළ යුතුයි. අලුත් තාක්‍ෂණය හඳුන්වා දිය යුතුයි. වරායන් දියුණු කළ යුතුයි. ඩුබායි ගුවන් තොටුපොළ, සිංගප්පූරු වරාය දෙස බලන්න. ඒ තත්ත්වයට පැමිණීමට නම් අලුතින් සිතා බලා ආර්ථිකය විවෘත කොට ඉදිරියට යා යුතුයි.

කර්මාන්ත පුර ඇති කිරීම, දියුණුව ලබාදීම, කොළඹට පමණක් සීමා කරන්නට බැහැ. හම්බන්තොට නැව් නැති වරායක් ඉදිකර තිබෙනවා. කෙසේ හෝ එහි වැඩ කටයුතු දැන් අප විසින් බේරා දී තිබෙනවා. ගුවන් යානා නැති ගුවන් තොටුපොළක් ඉදි කළා. ලබන වසරේ දී ඒ ප්‍රශ්නයට ද විසඳුම් ලබා දී තිබෙනවා. මේ හැම දෙයක්ම හම්බන්තොට තියන්නත් බැහැ. සෙසු ප්‍රදේශවලටත් සංවර්ධනය ගෙන යා යුතුයි. බිංගිරිය, කුලියාපිටිය, මාදම්පේ යන ත්‍රිකෝණය අලුත් ආර්ථිකයක් බිහි කිරීමේ සාකච්ඡා කිරීම මා මෙහි පැමිණීමේ මූලික අරමුණක් වුණා. බිංගිරියට පැමිණ නව වෙළෙඳ කලාපයේ සැලසුම් ගැන අධ්‍යයනය කළා. යටිතල පහසුකම්වල වැඩ කටයුතු මුලින්ම පටන් ගන්නවා. පළමුවෙන්ම අක්කර 450 ක් වෙන්කර තිබෙනවා. දෙවැනි අදියර යටතේ තවත් අක්කර 650 ක් තිබෙනවා. රුපියල් මිලියන 1300 ක් අයවැය මගින් මෙහි යටිතල පහසුකම් සංවර්ධනය සඳහා යොදවා තිබෙනවා. මාර්ග, විදුලි බලය, ජල පහසුකම් ලබාදීම සඳහා එම මුදල් වැය කරනවා. ආණ්ඩුවේ නොයෙක් ආයතනවලට අයත් ඉඩම් ආයෝජන මණ්ඩලයට පවරන තුරු සිටිය යුතු නැහැ. පළමුවෙන්ම යටිතල පහසුකම් ලබා දී දියුණුවට පත් කිරීම අපේ අරමුණයි. ආයෝජන මණ්ඩලය තවත් පෞද්ගලික ව්‍යාපාරිකයන් සමඟ එකට එක්වී මෙහි විශාල වෙළෙඳ කලාපයක් ඇති කිරීමට නියමිතයි.

අප එතැනින් පමණක් නතර වන්නේ නැහැ. ඉරණවිල අමෙරිකන් හඬ ආයතනය පවත්වා ගෙන ගිය ඉඩම ආශ්‍රිතව අක්කර 400ක 500ක පමණ සංචාරක කලාපයක් ඉදි කරනවා. එක් පැත්තකින් සංචාරක ආර්ථිකයත්, අනෙක් පැත්තෙන් කර්මාන්ත ආර්ථිකයත් දියුණු වෙනවා. මේ අංශ දෙක පැමිණි විට මේ ප්‍රදේශයේ විශාල වෙනසක් ඇති වෙනවා. මාදම්පේ, බිංගිරිය සහ කුලියාපිටිය ප්‍රදේශ මේ අනුව ශීඝ්‍ර සංවර්ධනයකට ලක්වීමට නියමිතයි. කුලියාපිටියේ වාහන එකලස් කිරීමේ කම්හලක් අප ආරම්භ කළා. තවත් කර්මාන්ත ශාලා දෙකක් එහි පැමිණීමට නියමිතයි. එසේ නම් මේ ප්‍රදේශවලට අලුත් ආර්ථිකයක් උදා වෙනවා.

බිංගිරිය, වතුවත්තේ කර්මාන්ත කලාපයක් බිහි වන්නේ අප අලුතින් සිතූ නිසයි. රාජපක්‍ෂ රෙජිමයේ ප්‍රාදේශීය සභා තිබුණා නම් ඔවුන් පොල් ටික සොරකම් කර විකුණන්නේ කෙසේදැයි සැලසුම් සකස් කරාවි. අප උත්සාහ කරන්නේ 5000 කට 10, 000 කට රැකියා ලබාදීමටයි. ඒ අනුව මේ ප්‍රදේශයම වෙනසකට ලක් වෙනවා. වෙළෙඳ කලාප නිසා කටුනායක, බියගම විශාල වෙනසකට බදුන් වුණා. ඒ අවට ප්‍රදේශ පවා දියුණුවට පත් වුණා. සීතාවක, බියගම, කඩුවෙල, කැලණිය, ගම්පහ ආදී ප්‍රදේශ පවා කර්මාන්තකරණයට ලක් වී තිබෙනවා.

බිංගිරියේ ඇති කරන්නේ වයඹ පළමු කර්මාන්ත කලාපයයි. මාවතගම දෙවැනි වෙළෙඳ කලාපය ආරම්භ කරනවා. අප මුදල් සොයා මධ්‍යම අධිවේගී මාර්ගය පටන් ගත්තා. දැන් ගුවන් තොටුපොළට, වරායට, මහනුවරට ඉක්මනින් ගමන් කළ හැකියි. ජපන් ආධාර ලබාගෙන මහනුවර ශීඝ්‍ර සංවර්ධනයකට ලක් කරනවා. මහනුවර නගරය දිගන දක්වා සංවර්ධනය කරනවා. කුරුණෑගල තවත් දියුණු නගරයක් බවට පත් කරනවා. අප ආරම්භ කළේ ඒ වැඩකටයුතු බව කිව යුතුයි. මේ ගමන තවත් ඉදිරියට යා යුතුව තිබෙනවා. මේ වැඩ කටයුතු ඉදිරියට ගෙන යාමට නම් අප සමඟ කටයුතු කළ හැකි හොඳ ගමේ ආණ්ඩු අවශ්‍යයි. මේ කටයුතු ඉදිරියට ගෙන ගිය විට 2025 වන විට සම්පූර්ණයෙන්ම වෙනස් වූ සත්කෝරළයක් දැක ගන්නට හැකි වේවි.

මා හැමවිටම අලුතින් සිතනවා. පරණ දේවල් ගැන කතා කරමින් කල් ගෙවන්නේ නැහැ. අපේ තරුණයන් ද අලුත් ආකාරයකට සිතනවා. ඔවුන්ට නව ජීවිතයක්, කාන්තාවන්ට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් බිහි කිරීම අපේ අරමුණයි. අපේ වැඩකටයුතු සඳහා සම්පූර්ණ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. අප ආරම්භ කළ වැඩකටයුතු තවත් ඉදිරියට ගෙනයාමට තිබෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර ජයමහ සහ ප්‍රාදේශීය සභා අපේක්ෂක රුක්මන් ජයසේකර මහත්වරු සභාව ඇමතූහ. මේ අවස්ථාවට ඇමැති එස්. බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝද සහභාගි වූහ.

ඡායාරූප මාලන් කරුණාරත්න 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...