චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා | දිනමිණ

චෙක්පතක් මුලින්ම සිංහලෙන් අස්සන් කළ කොස්මාමා

ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.

කොස්මාමා කිව්වහම ඒක රටේ අනෙක් වීර පුරුෂයනට නොවැටුණු තාලේ අපූරු නමක්. ඒ නම එතුමාට යෙදුණ හැටි ගැන කියන්නට තියෙන්නෙත් අපූරු කතාවක්. එතුමාගේ මුල් තොරතුරු කියන්නට පෙර එතුමාට කොස් මාමා නම හැදුණ හැටි ගැන කියන්නම්කො.

රටේ ප්‍රධාන බෞද්ධ විද්‍යාලය වූ කොළඹ ආනන්ද මහා විද්‍යාලයට වර්ෂ 1923 වන විටත් ප්‍රධාන නේවාසික ගොඩනැගිල්ලක් තිබුණේ නැහැ. ගොඩනැගිල්ලකට අත්තිවාරම දමලා තිබුණා පමණයි. මෙසමයේ විදුහල්පති පී. ද ඇස්.කුලරත්න මහතා හත් මාසයක නිවාඩුවකට එංගලන්තයට යන්නට ලෑස්ති වුණා.

එවකට ගුවන් ගමන් සඳහා ලංකාවේ පහසුකම් තිබුණේ නැහැ. විදේශිකයො ලංකාවට පැමිණියේත්, ලාංකිකයො විදේශ ගත වුණෙත් නැව්වලින්. කුලරත්න මහතා ලංකාවෙන් පිටත් වෙනකොට සුබ පතන්නට වැඩබලන විදුහල්පති ගුණපාල මලලසේකර මහතා ඇතුළු පිරිසක් වරායේ ජැටියට පැමිණ සිටියා. සුහද කතා බහෙන් පසුව නැවට නගින්නට සැරසී මලලසේකර මහතා වෙත හැරුණු කුලරත්න මහතා, “මම ආපසු එනකොට පුළුවන්නම් රුපියල් හැටපන්දාහක් හොයාගෙන ගොඩනැගිල්ල හදලා තියන්න’යි. කියා සිටියා. මේ වචන කිහිපය එකල සූර තරුණයකු ව සිටි මලලසේකර මහතාට හොඳ අභියෝගයක් වුණා. එතුමා එදාම පාණදුරේට ගොස් මේ කටයුත්තට හවුල් කරගත හැකි ප්‍රධානියා වශයෙන් තමන් සැලකූ ආතර් වී. දියෙස් මහතා හමුවී කාරණය විස්තර කර සිටියා.

“ඔව්, මලලසේකර, මේක අපට හොඳ අභියෝගයක්. කුලරත්න මහත්මයා ආපසු එන්නේ තවත් හත් මාසෙකින්. අපි කොහොම හරි මේ කටයුත්ත කරමු” දියෙස් මහත්මයා තමන්ගෙ අදහස ඉහළින් ම අනුමත කිරීම මලලසේකර මහත්මයාට විශාල ධෛර්යයක් වුණා. ආනන්ද මහා විද්‍යාලයේ ගොඩනැගිලි අරමුදල උදෙසා “ආනන්ද කොඩි සතිය” ඇර‍ඹුණේ ඒ අනුවයි. දෙදෙනා මූලිකව අනෙක් අයගේ ද, සහයෝගයෙන් සුබ මොහොතකින් කටයුත්ත ආරම්භ කෙරුණා. ආරාධිත දානපතියකු වෙත මුල්ම කොඩිය අලෙවි කෙරුණා. කොඩියක් සත දහයයි. දානපතියා මුදල් නෝට්ටුවක් කැටයට එබුවා. මලලසේකර මහත්මයා කොඩිය අල්පෙනෙත්තකින් දානපතියාගේ කමිසයේ වම් කෙළවර රඳවනු ලැබුවා. කාටත් සතුටුයි. මේ අතර කඩදාසියක එතූ කුඩා යමක් ආතර් වී දියෙස් මහත්මයා විසින් දානපතියා අත තැබුවා. “මේ මොකක්ද? - ආ කොස් ඇටයක් නොවැ, මේක මොකටද? “ දානපතියා දියෙස් මහත්මයාගෙන් විමසුවේ විමතියෙන්.

“මම අද අලුත් අදහසක් ක්‍රියාවේ යොදවන්න අදහස් කළා. සත දහයක් දී කොඩියක් ගන්නා කෙනෙකුට පරිත්‍යාගයක් ලෙස මම කොස් ඇටයක් දෙනවා. ඔබතුමාත් මේ වැදගත් සිද්ධිය මතක් වෙන්නත් එක්ක ගෙවත්තේ මේ කොස් ඇටය සිටුවන්න.” දියෙස් මහත්මයා එසේ කියා සිටි විට කාටත් තේරුණා එය වැදගත් කටයුත්තක් බව. එහෙත් ඒ පිරිස අතර ද “මේක මොන විහිළුවක්ද?” කියමින් රහසේ සිනාසුණු අය ද සිටියා. කෙසේ වෙතත් “ආනන්ද කොඩි සතිය” ජයට ම පැවැත්වුණා. ඒ කාලේ හැටියට සත දහයක් ලොකු මුදලක් වු‍ණත් මේ කෙරෙන්නට යන කටයුත්තේ වැදගත්කම සලකා කවුරුත් එයට සහයෝගය දුන්නා.

මේ අතර මෙසේ කොඩි අලෙවිය පැව‍ෙතමින් තිබෙන දිනයක දවල් දොළහට පමණ හිඟන මනුස්සයෙක් ඔවුන් හමුවට ආවා. “අනේ මහත්තයෝ, මම අද උදේ වරුවට හම්බ කළේ මේ සත දහය විතරයි. මේක අරගෙන මටත් කොඩියක් ඕනෑ” ඔහු කීවා. කාටත් පුදුමයි. එහෙත් පුදුම වෙන්න දේකුත් නැහැ. හිඟන මනුස්සයාට වුණත් සෑහෙන හැඟීමක් ඇතිවෙලානෙ මෙහෙම ඉල්ලීමක් කළේ. සත දහය බාර ගැනුණා. මලලසේකර වැඩබලන විදුහල්පතිතුමා අතින් හිඟන මනුස්සයාගේ කිලිටි කමිසයේ ආනන්ද කොඩිය අල්පෙනෙත්තකින් තැන්පත් කෙරුණා. එම අවස්ථාවේ කවුරුත් අත්පුඩි ගසා සතුට පළ කළා.

ඉන් පසුව ආතර් වී. දියෙස් මහත්මයා සුපුරුදු පරිදි හිඟන මනුස්සයාට කොස් ඇටයක් පිරිනැමුවා. එහෙත් ඒ මනුස්සයා එය අතට ගත්තේ නැහැ. “අනේ මහත්තයෝ, මම හිඟන මනුස්සයෙක්නෙ. මම ඔය කොස් ඇටේ කොහේ හිටවන්නද? ඒක නිසා මහත්තයලා කැමති නම් මා වෙනුවෙන් ඔය කොස් ඇටේ ආනන්ද විද්‍යාල භූමියේ ම සිටුවන්න.” ඔහු කීවා.

මේක කාටත් හැඟීම්බර අවස්ථාවක් වුණා.මේ හිඟන මනුස්සයාගේ මුල් අදහස වගේම මෙයත් වැදගත් බව තේරුම් ගත් දියෙස් මහත්මයා එම කොස් ඇටය ආනන්ද විදුහල් භූමියේ ම සිටුවන්නට‍ තීරණය කළා. පසු කලෙක එය පලබර කොස් ගසක් බවට පත්වෙලා “හිඟන්නාගේ කොස් ගස” නමින් ප්‍රසිද්ධියට පත් වුණා. හිඟන මනුස්සයාගේ මේ සත්ක්‍රිය‍ාව මලලසේකර මහත්මය‍ාට හොඳ කතාවකට අරමුණක් බවට පත්වුණා.

“හිඟන මනුස්සයකු වුණත් ඔහුගේ සිතේ තිබුණා.මේ කටයුත්ත ඉදිරි කාලෙදි රටට-ජාතියට සෙත සලසන එකක් බව. ඒ නිසයි ඔහුත් මෙම කටයුත්තට මෙහෙම සම්මාදම් වුණේ.මහා දානපතියකු පරිත්‍යාග කළ රුපියල් දස ලක්ෂයක් හා සමානව මම මේ හිඟන මනුස්සයාගේ සත දහයේ පරිත්‍යාගය සලකනවා.”යනුවෙන් මලලසෙ‍්කර මහත්මයා පසුව කිහිප විටක් ම සිය කතාවන්හිදී සඳහන් කර සිටියේය.

“ආනන්ද කොඩි සතිය”නගරයේ මෙන් ම එහි සිසුන් සිටින ගම්මානවල පවා ජය‍ට ම ක්‍රියාත්මක වුණා. සතෙන් දෙකෙන් පමණක් ද නොව පොල් ගෙඩියෙන්,දෙල් ගෙඩියෙන්,කොස් ගෙඩියෙන් හා වෙළඳසල්වලින් ලැබෙන භාණ්ඩමය උපකාරයෙන් ද එය වර්ධනය කෙරණා.පසුව මේවා සල්පිල් මගින් මුදල් කර ගැනුණා.මෙහෙම ආනන්ද කොඩි සතියේදී කොඩියක් සමඟ සිටුවන්නට,කොස් ඇටයක් දීම නිසා‍ තමය‍ි පාණදුරේ ආතර්.වී.දියෙස් මහත්මයාට “කොස් මාමා”කියන නම වැ‍ටුණේ.එය එතුමා ඉතාමත්ම ආදරයෙන් පිළිගත්තා.ඉන්පසු තමනට වැඩිහිටියෙක් හෝ “දියෙස් මහත්මයා”කියලා කතා කරනවාටත් වඩා “කොස් මාමා”කියා කතා කරනවාට එතුමා බොහොමත්ම කැමැති වුණා.

විදුහල්පති කුලරත්න මහත්මා එන දිනයද ළං වුණා.නියමිත පරිදි එදින වරායේ ජැටියට ගිය මලලසේකර මහතා කළේ යතුරක් කුලරත්න මහත්මා අතේ තැබීමයි. “මේ මොකද?-යතුරක්?” කියා එතුමා ඇසුවේ පුදුමයට පත් වෙමිනුයි.”ඔබතුමා ගමන යනකොට කිව්වනේ පුළුවන් නම් සල්ලි හොයලා ගොඩනැගිල්ල හදලා තියන්න කියලා.අපි සල්ලි හොයාගෙන ගොඩනැගිල්ල හැදුවා.මේ ප්‍රධාන දොරටුවේ යතුර,ඔබතුමාට තියෙන්නේ විවෘත කරන එක විතරයි.”මලලසේකර මහතා කියා සිටියා.

දියෙස් මහතාගේ ප්‍රීතිමත් මුහුණ දැකලා කුලරත්න මහත්මාගේ විමතිය තවත් වැඩි වුණා. තවත් බලාගෙන ඉන්න දෙයක් නෑ.ජැටියේ සිට ඉගිල්ලිලා වාගේ මෝටර් රථයෙන් තුන්දෙනාම විද්‍යාලයට ඇතුළු වන්නටත් පෙර-පාරේ ඉඳලාම අලුත් ගොඩනැගිල්ල දැකලා-මෙන්න-කුලරත්න විදුහල්පතිතුමාගේ දෙනෙතින් කඳුළු කඩා වැටෙනවා.ඒ සතුටු කඳුළු!

“මලලසේකර හැබෑම දක්ෂයෙක් බව මම එදා ඉඳලම දැනගෙන සිටියා.ඒත් මෙහෙම හපන්කමක් ක‍ළේ කොහොමද කියලා මටනම් තවමත් අදහාගන්න බැරිතරම්.” කුලරත්න විදුහල්පතිතුමා කීවේ තමනට දුන් යතුරෙන් විදුහල් නේවාසිකාගාරය විවෘත කිරීමෙන් පසුවයි.

“මේ කාර්යයේ ප්‍රධාන ‍ගෞරවය හිමි වෙන්න ඕනෑ මේ දියෙස් මහත්මයාට, එතුමාගේ ධෛර්යය නැතිනම් මට කවදාවත් ම මෙහෙම වැඩක් තනියෙන් කරන්න ලැබෙන්න නෑ. මෙච්චර කල් එතුමාට තිබුණ දියෙස් නාමය යටපත් වෙලා මේ කටයුත්ත නිසා එතුමාට අලුත් නමකුත් පටබැඳුණා “කොස් මාමා” කියලා. මොකද ඒ - අපේ ආනන්දෙ කොඩි සතියෙ කොඩියක් මිලදී ගන්න එක්කෙනාට සිටුවන්න කොස් ඇටයක් පරිත්‍යාග කළ නිසා, දැන් එතුමා දියෙස් මහත්මයා කියනවාට වඩා “කොස් මාමා” කියලා කියනවාට කැමතියි.

එම සිද්ධියෙන් පසුව “කොස් මාමා” වැඩි වැඩියෙන් කොස් ඇට එකතු කරලා රට පුරා බෙදා හරින්න පටන් ගත්තා. කොස් ඇට විතරක් නොවෙයි. දෙහි, දොඩම්, පැපොල්, අඹ ඇට පවා තමන් දන්නා හඳුනන අය ලවා එකතු කරවලා බෙදා හැරියා. එතුමා දන්නා හඳුනන කොළඹ හා ප්‍රධාන නගරවල හෝටල්වලින් පවා පැපොල් හා අඹ ඇට එකතුකර එතුමා වෙත එවන්නට කටයුතු කෙරුණා.

දිනෙක තමන් නිවසේ සිටියදී,කපා කුට්ටි කරන ලද මහා කොස් කඳන් පටවා ගත් බර කරත්ත කිහිපයක් නගරයේ ලී මෝල් කරා ගෙන යනවා දැකීම නිසා දියෙස් මහත්මාගේ සිතේ තද වේදනාවක් ඇති වුණා. පරම්පරා ගණනාවක් තිස්සේ ගම්බද ජනතාවගේ කුස ගින්න නිවූ කොස් ගස්වලට දිගින් දිගටම මේ ඉරණම ඇති වුවහොත් - මතුවට රට - ජාතිය අහේනි යුගයකට මුහුණ දෙන්නට සිදුවන බව එතුමාට වැටහුණා. මේකට විරුද්ධව දැඩි පියවරක් ගත යුතු බව එතුමා සිතා ගත්තා.

“අපේ වී ගොවිතැනට පමණක් දෙවෙනි වන කොස් වගාවේ ගස් කැපීම, නීතියෙන් තහනම් කළ යුතුයි. කොස් දෙවෙනි වන්නේ බතට පමණක් නිසා, කොස් ගස - බත් ගස - කියා හඳුන්වන්නට ඕනෑ!” යනුවෙන් එතුමා කියාගෙන ගිය හඬ සෑහෙන කාලෙකට පස්සේ වුණත් - රජයේ ඒ පිළිබඳ බලධරයන්ට ඇසුණා. එතුමාගේ හඬට කන්දීමක් වශයෙන් තමා කොස් ගස් කැපීම තහනම් නීතියක් රජය විසින් පනවනු ලැබුවේ. කොස් ගසක් කපා දමන්නට අවශ්‍ය නම් ඒ පිළිබඳව හේතු - යුක්ති වන කරුණු කියා පළාතේ ප්‍රාදේශීය ලේකම්ගෙන් ලිඛිත අවසරයක් ගත යුතුය යන නීතිය පැනවීම නිසා රටේ කොස් ගස් ආරක්ෂා වුණා.

ඒ යුගයේ එක් දිනෙක තිහාරියේ ගොවිකම් ප්‍රදර්ශනයක් පැවැත්වුණා. එය විවෘත කිරීමට පැමිණි ශ්‍රීමත් රෙජිනෝල්ඩ් ස්ටබ්ස් ආණ්ඩුකාරතුමා පිළිගැනීම බාරව සිටියේ ආතර් වී. දියෙස් මහත්මයායි. එතුමා ආණ්ඩුකාරතුමාව පිළිගත්තේ එතුමාගේ කබායේ කොස්පනා මල් දෙකක් පළඳවලයි. තවත් උත්සවයකදී දියෙස් මහතා එතුමා පිළිගත්තේ කොස් ඇට මාලයක් පළඳවලයි. මේ කටයුතු නිසා ආණ්ඩුකාරතුමා දියෙස් මහතා පිළිබඳවත් එතුමාගේ කොස් ව්‍යාපාරය පිළිබඳවත් වැඩි සැලකිල්ලක් දක්වන්නට පටන් ගත්තා.

එක් දිනයෙක ස්ටබ්ස් ආණ්ඩුකාරතුමා දියෙස් මහතාව රජගෙදරට කැඳවනු ලැබුවා. රජ ගෙදරට ගියත් තමන් මේ වන විට අඳින සුදු ඇඳුමින් සැරසී එහි ගිය එතුමා පිළිගත් ආණ්ඩුකාරතුමා, “මහරජතුමාගේ උපන්දිනය වෙනුවෙන් මම ඔබ තුමාට මුදලි පදවියක් පිරිනමන්නට අදහස් කරනවා.” යනුවෙන් කියා සිටියා. “බො‍හෝමත් ම ස්තූතියි, ඔබතුමාට. මම එය ගෞරවයෙන් ප්‍රතික්ෂේප කරනවා. මට දැන් මගේ නමටත් වඩා මහජනයා ව්‍යවහාර කරන “කොස් මාමා” කියන නාමයම ඇති මට. “එතුමා එසේ කියා සිටි විට ආණ්ඩුකාරතුමා පුදුමයට පත්වුණා.

“එහෙම නම් ඔබතුමාට මා කළ යුතු උපකාරය කුමක්ද කියලා කරුණාකර කියන්න” ආණ්ඩුකාරතුමා එසේ කීවේ මේ පුද්ගලයා ගැන ඉමහත් ම පැහැදීමකින් යුතුවයි. “ඔබතුමාගෙන් පසු මෙහි එන ආණ්ඩුකාරතුමාට මා පිළිබඳව හැඳින්වීමක් කර තබන්න. මට ඒ ඇති”. යනුවෙන් මෙවිට දියෙස් මහතා කියා සිටියේ ආණ්ඩුකාරතුමා ළඟදීම විශ්‍රාම ගෙන සියරට බලා යන බව ආරංචි වී තිබුණ නිසයි. “ඒක මම ඉහළින් ම සිදුකරන්නම්.” කී එතුමා දියෙස් මහතාට ආචාර කර ආපසු යන්නට සමු දුන්නා.

එයට සුළු කලකට පසුව ලංකාවේ නව ආණ්ඩුකාරතුමා වශයෙන් පැමිණි ශ්‍රීමත් ඇන්ඩ්‍රෘ කැල්ඩිකෝට් මැතිතුමා එක් දිනෙක නුවර රජ ගෙදර සිට දියෙස් මහතාට විදුලි පණිවුඩයක් එවා තිබුණා. එහි සඳහන් වූයේ, “මම ඔබගේ කොස් ව්‍යාපාරයට ගෞරව පිණිස මහනුවර රජගෙදර වත්තේ කොස් පැළයක් සිටුවා මගේ රාජකාරී ආරම්භ කළෙමි” කියාය. එම විදුලි පුවත දියෙස් මහතාට සෑහෙන ධෛර්යයක් වුණා. පසුව දිනෙකදී ආරාධනයෙන් රජගෙදරට ගිය ආතර් වී දියෙස් මහතා ප්‍රථම වරට නව ආණ්ඩුකාර කැල්ඩිකෝට් මැතිතුමා දැක හඳුනාගෙන ස්තුති කළා. එයින් පසුව කැල්ඩිකෝට් ආණ්ඩුකාරතුමා හැකි හැම අයුරකින්ම දියෙස් මහතාට තම සහයෝගය දුන්නා.

මේ කාලයෙයි දෙවෙනි ලෝක යුද්දෙ ඇතිවෙලා තිබුණේ. එවකට පත්වෙලා සිටිය මහජනාරක්ෂක කොමසාරිස් ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහත්මා වරෙක ප්‍රකාශයක් කරමින්, “පාණදුරේ ආතර් වී දියෙස් මහත්මයගෙ කොස් ගස් තිබෙනකම් ආහාර හිඟයක් ගැන මට බය වෙන්න දෙයක් නැහැ.” යනුවෙන් කියා සිටියා.

පිටරටින් හාල් එන තෙක් - පිටි එන තෙක් මුහුදට දත නියවමින් සිටි අපේ ජනතාව පෙර සිටි වීර සිංහලයන් මෙන් අපේම රටේ වවාගත් කොස්, දෙල්, අල, බතල හා අනෙකුත් පෝෂ්‍යදායක ආහාරයන්ගෙන් ස්වයංපෝෂිත ජනතාවක් කිරීමටයි දියෙස් මහත්මයාගේ අදහස වුණේ. ඒ ගමන් ම එතුමා ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා අනුගමනය කරමින් සුළු ගෘහ කර්මාන්ත ඇති කිරීමටත්, කපු කැට - අතින් ම කැන රෙදි විවීමටත් කටයුතු සම්පාදනය කොට තිබුණා. මේ කටයුතු නිසා කලෙක එතුමා “ලංකා ගාන්ධි” නමිනුත් සමහරු හැඳින්වූවා.

මේ අතරයි එක්දහස් නවසිය තිස් ගණන්වල දිනෙක ලංකාවට පැමිණි මහත්මා ගාන්ධිතුමා අසා සිටියේ, “කෝ, මෙතැන පානදුරේ ආතර් වී දියෙස් මහත්මයා ඉන්නවාද? - මට එතුමා අඳුනා ගන්න ඕන” කියලා. දියෙස් මහත්මයා එවේලේ එතැන සිටියේ නෑ. නමුත් මහත්මා ගාන්ධිතුමා දකුණු පළාතේ සංචාරයට යන ගමන් පාණදුරේ “එඩ්මන්ඩ් හවුස්” නිවෙසට ගොස් දියෙස් මහතා හමුවෙලා එතුමාගේ කටයුතු පිළිබඳ තම සතුට පළ කළා.

එතුමාගේ කොස් ඇට බෙදා දීමේ ප්‍රසිද්ධිය නිසා රටේ විවිධ පළාත්වල බොහෝ දෙනකු ලිපි මඟින් කොස් ඇට ඉල්ලා එවා තිබුණා. එතුමා තමන්ගේම වියදමින් කොස් ඇට පාර්සල් රට පුරා යැව්වා. ඉල්ලන්නන්ට සෙත සලසන ව්‍යාපාරයක් වශයෙන් සලකා තැපෑලෙන් යැවීමට “නොමිලේ පහසුකමක්” සැලසෙනවා නම් මැනවැයි එතුමා වරෙක රජයෙන් ඉල්ලා සිටියා. එහෙත් රජයෙන් ඒ අවසරය ලැබුණේ නැහැ.

එක් දිනයෙක එවකට අමාත්‍යවරයකු ව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයාත්, දියෙස් මහත්මයාගේ මිනිබිරියකුත් අතර විවාහය සිදු කෙරුණා. මේ අවස්ථාවේ නව යුවළට දියෙස් මහතා තෑගි කළේ කොස් ඇට පාර්සලයක්, සංග්‍රහය සඳහා ද කොස්වලින් පිළියෙල කරන ලද කැවිලි - පෙවිලි ඉදිරිපත් කර තිබුණා. මේ දුටු කොතලාවල ඇමැතිතුමා රට පුරා කොස් ඇට පාර්සල් නොමිලේ යැවීමේ තැපැල් අවසරය ලබාදුන්නා. ඒ සමගම ප්‍රධාන පාරවල් දෙපස කොස් පැළ සිටුවීමේ අවසරය ද එතුමන්ගෙන් දියෙස් මහතා වෙත ලැබුණා.

මෙසේ දියෙස් මහතාගේ “රට පුරා කොස් පැළ සිටුවීමේ ව්‍යාපාරය” ජයටම පැවැත්වුණා. අගනුවර ප්‍රධාන උත්සව පැවැත්වුණු අවස්ථාවල සිය අනුගාමිකයන් සමඟ ‍ෙගාස් එතුමා ම කොස් ඇට සහ කොස් පැළ බෙදා දුන් වාර අනන්තයි

නවසිය පනස්හයේදී බලයට පත් බණ්ඩාරනායක අගමැතිතුමා ආතර් වී දියෙස් මහතාට උත්තර මන්ත්‍රී පදවියක් ප්‍රදානය කළ නමුදු, එතුමා කලින් කළා සේ ම එය ද ගෞරවයෙන් ප්‍රතික්ෂේප කර සිටියා. එහෙත් බණ්ඩාරනායක අගමැතිතුමා ඇරඹූ නොයෙකුත් ප්‍රගතිශීලී කටයුතු කෙරෙහි එතුමා තම සහයෝගයත් අනුකූලතාවත් පළ කළා.

තම රටේ ප්‍රධාන භාෂාව වූ සිංහලයට නිසි තැන දෙන්නට “සිංහල හොඳයි” “සිංහලට ගරු කරමු” ආදී වාක්‍ය සිය නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කර තැබූ එතුමා බැංකුවේ චෙක්පත්වල සිංහලෙන් අත්සන් කර වාර්තාවක් පිහිටවූ ප්‍රථම සිංහලයා වශයෙන් ද ප්‍රකටයි.

ආචාර්ය මහින්ද පී. මලලසේකර 

නව අදහස දක්වන්න