සසර ගිම් නිවාලන වාරණ විහාරය | දිනමිණ

සසර ගිම් නිවාලන වාරණ විහාරය

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය හන්දියෙන් දකුණට ඇති මාවතෙහි සැතපුම් දෙකක් ගියවිට හමුවන මංගලතිරිය ග්‍රාමයෙහි රමණීය කඳු පරිසරයක වාරණ රජමහා විහාරස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයේ ඉපැරණි ඓතිහාසික දර්ශනීය බෞද්ධ සිද්ධස්ථානයකි. මුලින් මංගල විහාරය නම් වූ මෙය පසුව වාරණ වූ බව සඳහන් වේ. කඳු ගැටය මුදුනේ ඇති ගල් පර්වතය ඇතෙකුසේ දිස්වන නිසා වාරණ නම් වී ඇති බවට මතයකි. වා නැමති ගස්වලින් බහුල අරණක් වූ නිසා වා-අරණ වාරණ වි ඇති බවටද තවත් මතයකි.

මහා පඬිරුවනක් වූ දංගල්ලේ අත්ථදස්සි නායක හිමියන් මෙහි ආධිපත්‍ය දැරූ කාලයේ උසින් හා පළලින් ඉතා විශාල වූ ඉඩම් ගල නමින් හැඳි‍න්වෙන මහ ගලට වරින් වර පැමිණ ලැගුම් ගන්නා විශාල පක්ෂියෙක් ජීවත් වී ඇත. මෙම පක්ෂියා හිමාල වනයෙන් පැමිණි ඇත්කඳ ලිහිණි වර්ගයට අයත් නිසා වාරණ නමින් මෙම ස්ථානය හඳුන්වා ඇති බව ද කියැවේ. මෙම ප්‍රදේශයේ ගලබලනගේ යන පෙළපත් නාමයෙන් හැඳින්වෙන පරම්පරාවක් වාසය කරති.

වාරණ මංගල විහාරය ඉතා පැරණි විහාරස්ථානයක් වන අතර එහි ප්‍රධාන සාධකය නම් ඉඩම්ගලට නැගෙනහිරින් වූ දික්ගලෙහි දක්නට ලැබෙන සෙල් ලිපියයි. එහි ක්‍රිස්තු පූර්ව හයවන සියවසෙහි සිදු වූ ආර්ය සංක්‍රමණයන්ගෙන් අනතුරුව මෙම ප්‍රදේශයෙහි මෙන්ම මෙම ප්‍රදේශයට අනුබද්ධ තවත් ප්‍රදේශයන්හිද ජනාවාස පිහිටුවූ බවට සාධක දක්නට ලැබේ. ඒ අතරින් මූලික ස්ථානයක් හිමිවනුයේ ශිලා ලේඛන සාධකවලටය. මෙම ශිලා ලේඛනයෙහි ඇතුළත් තොරතුරු විමසා බලනවිට මෙම ප්‍රදේශයෙහි පැරණි ආර්ය ජනාවාස තිබූ බවත් ඒවා ඇසුරුකොටගෙන මෙම විහාරස්ථානය වර්ධනය වූ බවත් සිතිය හැකිය.

මෑත කාලයේ සිදු කළ පුරා විද්‍යාත්මක කැණීම් අනුව මෙම ප්‍රදේශයෙහි මානව ඉතිහාසය ක්‍රිස්තු පූර්ව සයවන සියවසින් ඈත අතීතය කරාද දිව යන බවක් පෙනී යයි. පුරා විද්‍යාඥයින්ගේ මතවාද අනුව වාරණ රජමහා විහාරස්ථානය අතිශය වැදගත් බව ප්‍රකට කෙරෙන ඓතිහාසික හා පුරා විද්‍යාත්මක සාධකය මෙම ශිලා ලේඛන ඛණ්ඩයයි. නිස්සදත්ත නම් තෙරුන් වහන්සේ කෙනෙකුට කරන ලද පූජාවක් ගැන ශිලා ලේඛනයෙන් කියවේ. උන්වහන්සේ මජ්ඣිම තෙරුන් වහන්සේගේ සහෝදර හිමිනමක් ලෙසද එහි දැක්වේ. නිස්සදත්ත තෙරුන් වහන්සේ නම් මිහිඳු මහ රහතන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර අරිට්ඨ මහ රහතන් වහන්සේගේ සද්ධිවිහාරිකයන් වහන්සේ ය.

දෙවන පෑතිස් රජු යොදුනෙන් යොදුන විහාර කර වූ බව මහාවංශය සඳහන් කරයි. වාරණ රජමහා විහාරයද ඉන් එක විහාරස්ථානයක් ලෙස හැඳින්වේ. විශේෂයෙන්ම මෙම විහාරයේ පිහිටා ඇති සෙල් ලිපිය අනාවරණය කළ හිටපු පුරා විද්‍යා කොමසාරිස් වර සෙනරත් පරණවිතාන මහතා එය ලියවී ඇති බ්‍රහ්මීය අක්ෂර පිළිබඳ අධ්‍යයනයකොට මෙය ක්‍රිස්තු පූර්ව තුන්වන මුල් භාගයට අයත් වුවකැයි නිගමනය කර ඇත.

කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මෙම ස්ථානය රාජ්‍යයෙන් පැරදි සේනා සංවිධානය කරමින් දහහතර වසරක් තැන තැන සැඟවී සිටි වළගම්බා රජතුමාට හොඳම ආරක්ෂක ස්ථානයක්ද විය. නැවත රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව තමාට ආරක්ෂාව සලසා දුන් මෙම ස්ථානයෙහි පළමුවරට ශෛලමය ප්‍රතිමා වහන්සේ නමකගෙන්යුත් විහාර මන්දිරයක් මැද මළුවේ ලෙන තුළ කරවන ලදී. එපමණක් නොව සියලුම ලෙන් පිහිටි ගල් කණුවල කටාරම් කෙටවීමත් මෙම රජතුමා විසින් කරවන ලදි.

පොළොන්නරුව රජ පැමිණි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා එම විහාර මන්දිරය විශාල කරවා දහඅටරියන් මහ පිළිම වහන්සේ, සුවිසි විවරණය, සත්සතිය ආදි පිළිරූ ද ගල් වියනෙහි සිතුවම් හා බිතු සිතුවම්ද දර්ශනීය මහා විහාරයක් කරවන ලදි. එම නිශ්ශංක පරම්පරාව අදත් වාරණ රජමහා විහාරස්ථානයෙහි දායක පිරිස් අතර ප්‍රදේශයේ ජීවත් වෙති.

දඹදෙණිය රජ පැමිණි පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ අනුග්‍රහය ද මෙම ස්ථානයට ලැබුණු බව පෙනෙයි. විශේෂයෙන් අත්තනගල්ලේ බොහෝ කටයුතු කළ ප්‍රතිරාජ දේව නම් අමාත්‍යවරයා ඉතා භක්තිමත්ව මෙහි කටයුතු සිදුකර ඇත.

කෝට්ටේ රාජ්‍ය සමය විහාරස්ථානයේ පුනරුදයක් ඇති කළ යුගයක් විය. මෙම විහාරස්ථානය දියුණු කිරීමේ අරමුණින් පැරකුම්බා රජතුමා මැද මළුවේ මහවෙහෙර කටුකොහොල් අරවා නව කර්මාන්ත කරවූ බවත් ගල් වියනෙහි අලුතින් සිතුවම් ඇන් ද වූ බවත් පෙනෙයි. එම පුනරුදය නැවත අඳුරු වූයේ සීතාවක රාජ්‍ය යුගයේදී ය.

විහාරස්ථානයට පිවිසෙත්ම දකුණු පසින් දිස්වන්නේ මහගල් පර්වත ය. ඉඩම්ගල නමින් හැඳින්වෙන මෙය උසින් අඩි සියයකට වැඩිය. මෙය අක්කරයකට වැඩි ප්‍රදේශයක් තුළ පැතිර පවතී. තුන් පැත්තකින් ගල් ලෙන් පිහිටා ඇති අතර නැගෙනහිරට තවත් ගල් තලාවකි. එය දික් ගල යනුවෙන් හැඳින්වේ. සෙල් ලිපිය කොටා ඇත්තේ මෙම ස්ථානයේ ය.

දකුණු පස ලෙන තුළ තිබූ පැරණි සංඝාවාසය කඩා ඉවත් කර අලුතින් කර වූ පිරිවෙන් ශිෂ්‍ය නිවාසය පිහිටා ඇත. නැගෙනහිරට භික්ෂූන් වහන්සේලාගේ පැන් පහසුව සලසන ළිං ලෙන තුළම පිහිටා ඇත.

උතුරට ඇති ලෙන තුළ පිහිටි විශාල තෙමහල් ධර්ම මන්දිරය පිහිටා ඇත. මෙහි සිතුවම් රැසකින් සමන්විත අලංකාර මන්දිරයකි. මෙහි පහත මළුවේ ඉදිරියෙන්ම දිස්වන්නේ තෙරුවන් මැදුරයි. උඩු මහලෙහි ධාතු මන්දිරයය. දෙවන මහලෙහි මංගලතිරි පිරිවෙන් පුස්තකාලය ය සහ කියවීම් ශාලාව ය. බිම් මහලෙහි සංඝාවාසයකි. මෙම මන්දිරයට මදක් දුරින් සුවිසල් සපු ගසකි. විහාර දාන ශාලාවට උතුරින් කොස් පරාගල නමින් හැඳින්වෙන ගල් පව්ව යට උඩ පන්සල නම් වූ නවීකරණය කළ සංඝාවාස ලෙන් කුටිය පිහිටා ඇත.

ඓතිහාසික වාරණ රජ මහා විහාරයේ වර්තමාන විහාරාධිපති දොම්පෙ පුඤ්ඤානන්ද හිමියන් විහාරස්ථානයේ සංවර්ධනයට විශාල සේවයක් ඉටුකර ඇත. ඒ අනුව මෙවැනි ඓතිහාසික අතින් වැදගත්කමක් ඇති විහාරස්ථාන මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීම අප කාගෙත් වගකීමයි.

මහර සමූහ ගණිඳු
රෝචන සමරතුංග


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...