වැඩක් නොගන්නා බැරැක්ප්ලේන් වැව | දිනමිණ

වැඩක් නොගන්නා බැරැක්ප්ලේන් වැව

නුවරඑළිය නගරයේ, එකිනෙකට පෙනෙන දුරකින් පිහිටි කුඩා වැව් දෙකකි. එකක් සංවර්ධනය කොට මිනිසුන්ට ප්‍රියජනක ස්ථානයක් හා ධන උල්පතක් බවට පත් කර ඇත. අනෙක් වැවට කුඩම්මාගේ සැලකිලිය. එකී වැව, පාලකයන් හා නිලධාරීන්ගේ වරදින් දිනෙන් දින විනාශ මුඛය කරා යෑමේ ශෝකජනක පුවතක් පිළිබඳ හෙළිදරව්වක් මේ.

නුවරඑළිය ප්‍රදේශයේ, වැසි දිනයට දිය ඇලි නිර්මාණය වී කඩා හැලුණත්, ඒ ලෙසින් ප්‍රදේශයේ බොහෝ තැන්වල කෙතරම් ජලපෝෂක ප්‍රදේශ තිබුණත් නගර සීමාවේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ වැව් දෙකයි. වැව් කියන්නේ හෙක්ටයාර් විස්ස විසිපහ ප්‍රමාණයේ වැව් මේ වැව් දෙකම හඳුන්වන්නේ අපරට බ්‍රිතාන්‍ය පාලන සමයේ හිටපු සුදු ජාතිකයින් දෙදෙනෙකුගේ නම් වලින්. එකක් ‘ග්‍රෙගරි වැව’ අනෙක් වැව 'බැරැක්ප්ලේන්’ය.

අඩුම තරමේ කුඹුරකට වතුර ගැනීමට වැනි දේකටම ප්‍රයෝජනයට නොගත් වැවක් වන ග්‍රෙගරි වැව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් ගෙන්වාගෙන නුවරඑළිය නගරයේ මහධන උල්පත බවට පත්කිරීමේ මුල්ම අඩිතාලම දැම්ම් එවකට නුවරඑළිය නගරාධිපතිවරයා වූ චන්දනලාල් කරුණාරත්න මහතායි. ඒ 2005 – 2006 යන වසරවලදී.

සංචාරකයින් රැගත් බෝට්ටු තිහ හතළිහක් එහා මෙහා යද්දී, ‘සී-ප්ලේන්’ වැවට ගොඩබාද්දී සියදහස් ගණන් වැව් පිටියේ එහා මෙහා ඇවිදිමින් විනෝද වෙද්දී එය පෙනෙන තෙක් මානයේ පිහිටි මෙවැනිම සීතල දේශගුණයක් සහිත, මෙයටත් වඩා සුන්දර වට පිටාවක් සහ හරිත වර්ණ පරිසරයක් මැද පිහිටි ‘බැරැක්ප්ලේන්’ වැව ගැන කිසිවෙකුගේ අවධානය යොමු නොවීම අවාසනාවන්ත තත්ත්ව‍යක්.

නුවරඑළිය, සඳතැන්නේ පිහිටි ‘ බැරැක්ප්ලේන්’ වැව උමා ඔය හරහා ඌව ජනතාවට ජලය සැපයූ එකක් බව අදටත් තහවුරුවෙනවා. එදා අක්කර 23ක් පුරා පැතිර තිබූ ජලාශයේ අද ඉතිරිව තියෙන්නේ අක්කර 14ක තරම් ප්‍රමාණයක්.

වැව වටේ පදිංචිව සිටින අය ක්‍රම ක්‍රමයෙන් වැව ගොඩකර තම වගාබිම් විශාල කරගැනීම එයට හේතුව. එසේ ගොඩකරගත් තැන්වල ඔවුන් දැන් පදිංචිව සිටින්නේ අවුරුදු විස්සකටත් වැඩි කාලයක ඉඳලා. ඔවුන් දැන් ඒවායේ ස්ථිර නිවාස ඉදිකරගෙන සිටින නිසා ඒ ගැන නැවැත කතා කළයුතු නැත කියන එක තමයි ප්‍රදේශයේ බහුතර මතය.

ඉතිරිව තිබෙන අක්කර 14 රැකගෙන මෙයද ග්‍රෙගරි වැව මෙන් මුදල් උල්පතක් බවට පත්කර ගැනීමේ සිහිනය කවුරුන් විසින් සලසා දේවිදැයි කියන බලාපොරොත්තුව පිට තමයි සඳතැන්න හා බැරැක් ප්ලේන් වැව ආසන්නයේ පදිංචි පිරිස් සිටින්නේ.

වාරිමාර්ග කාර්යාලයෙන් මේ වැව ගැන කිසිම සැලකීමක් නොදක්වන බව තමයි ගම්මුන් පවසන්නේ.

‘රෝන්මඩ අයින් කරන්න කියල කාලයක් වැවේ වතුර සම්පූර්ණයෙන්ම හිස් කරල මාස 7ක් විතර කිසිදු පියවරක් ගන්නේ නැතිව ඔහේ තිබ්බා. එහෙම කියලා ඊළඟට සොරොව්වේ දොර හිරවෙලා කියල කාලයක් කල්මැරුවා. අන්තිමට වැවේ රොන්මඩ අයින් කරල වැව ගැඹුරු කරනවා වෙනුවට වුණේ සොරොව්ව ළඟින් අඩියක් විතර උසට වේල්ලක් බඳින එක එකෙන් වැවේ වතුර රැඳෙනව කියල පෙනුනට මුදල් වැය වුණා විතරයි කෙරිච්චි දෙයක් නෑ.’

ඒ වජිරපුර පදිංචි පරිසරවේදියෙකු වන විපුල තොටමුණ ආරච්චි මහතායි. ඒ මහතාගේ පැහැදිලි කිරීම අනුව මේ සුන්දර තැනක් බවට පත් කිරීමට හැකි තැනකට අද රජයේ නිලධාරීන්ගේ නිසි අවධානයක් යොමු වී නැතිකමින් අත්ව ඇති ඉරණම එයයි.

'අවුරුදු එකසිය තිස් තුනක් පැරණි වැවක්. මේ වෙනකොට ඇලිගේටර් පිරිලා. කලෙකට වාරිමාර්ගෙන් ඇවිත් බෙහෙත් ගැහුව වල් මැරෙන්න. දැන් ඒකත් බැරි නිසා වැව සුද්ද කරන්නේ නෑ. මේක පිරිසුදු කරල දියුණු කරන්න, උත්සාහ කරන්නේ නෑ. හිඟන්නගේ තුවාලෙ වගේ කාලෙන් කාලට මේකට වෙන්කරන සල්ලි වලින් සමහර නිලධාරීන්ට යැපෙන්න පුළුන්කම තියෙන නිසා අපේ ගමට විතරක් නෙමේ නුවරඑළියට සහ නුවරඑළියේ සංචාරයට එන අයට ලොකු අසාධාරණයක් වෙලා.

ග්‍රෙගරි වැව වටේට තියෙන්නේ නාගරික වට පිටාවක්. ඒ වුණාට මේ වැව වටේට කොටසක තියෙන්නේ රක්ෂිත කැලැවක්. ගැමි පරිසරයක්. එහෙත් තැනෙක සීතල දේශගුණයක් යටතේ කොයි තරම් වින්දනයක් මිනිස්සුන්ට ලබන්න පුළුවන්ද?

වාරිමාර්ගෙන් ඇවිත් වැව සීමාව ලකුනු කරල කණු දාල ගිහින් සෑහෙන කාලයක්. කණු දැම්මා එච්චරයි. වැඩක් වෙන්නේ නැතිවුණාම සමහරු මායිම් කණු ගලවලා විසිකරලා. එළවළු පාත්තිය ටිකක් එහාට කරගත්තා. ඇත්ත තත්ත්වෙ ඒකයි.’

ඒ සඳතැන්න, පදිංචි ලලිත් මහතා.

‘වැව වටේට, අඩි පහක පමණ පාරක් ඉදිකළොත් සංචාරකයින්ට සයිකල් පැදල විනෝද වෙන්න පුළුවන්. බෝට්ටු සේවයක් ආරම්භ කරල ගමේ මිනිස්සුන්ට ජීවත්වෙන්න ක්‍රම හදාගන්න පුළුවන්. ඒ වාගේම තමයි ඇලිගේටර් අයින් කරල වැව පිරිසුදු කරල දුන්නොත් ඒ වැවේ පොඩි පොඩි ව්‍යාපාර පටන් ගන්නා අයම වැව රැකල දෙයි.

මේ වෙනකොට ග්‍රෙගරි වැවේ සංවර්ධය නිසා නුවරඑළියේ මහනගර සභාව කෝටි ගණන් ආදායම් උපයනවා වගේම අවට ජීවත්වෙන ජනතාව දහස් ගණන් සෘජු හා වක්‍ර ආකාරයෙන් ආදායම් උපයනවා.

නොදැනීම රැකී රක්ෂා ප්‍රශ්නය විසඳලා. රටට බරක් නොවී මිනිසුන්ට ජීවත්වෙන්න හැකිවෙලා. ඒත් එවැනි සුන්දර තැනක් නිර්මාණය කරමින් වැව අවට ජීවත්වෙන මිනිසුන්ගේ සහ හාවාඑළිය ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට පළාතේ දේශපාලන අධිකාරියේ හෝ රාජ්‍ය නිලධාරීන්ගේ හෝ අවධානය යොමු නොවුණත් නාගරික ජනතාවගේ ඡන්දයෙන් නුවරඑළිය මහනගර සභාවට තේරී පත්ව ගිය මහජන නියෝජිතයින්ටවත් මේ දේ නොතේරීම කණගාටුවට කරුණක්.’ බැරැක්ප්ලේන් වැව අවට ජීවත් වන්නන්ගේ අදහස එවැන්නකි.

සී. මහගම
නුවරඑළිය සමූහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...