සබරගමුවේ එන වසරේ ආදායම් වියදම් ඇස්තමේන්තුවට ආණ්ඩුකාර අනුමැතිය | දිනමිණ

සබරගමුවේ එන වසරේ ආදායම් වියදම් ඇස්තමේන්තුවට ආණ්ඩුකාර අනුමැතිය

සබරගමුව පළාතේ සභාවේ 2018 වර්ෂය සඳහා වූ වාර්ෂික ආදායම් වියදම් ඇස්තමේන්තුව සඳහා පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතීඥ මාර්ෂල් පෙරේරා මහතා පසුගිය දා සිය අනුමැතිය පළ කරනු ලැබීය. සබරගමුව පළාත් හය වන පළාත් සභාවේ නිල කාලය 2017 සැප්තැම්බර් 26 වන දිනෙන් අවසන් විය. 1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 27 (අ) වගන්තිය අනුව ආණ්ඩුකාරවරයා විසින් මෙම ඇස්තමේන්තුව සඳහා අනුමැතිය ලබා දී ඇත. බදු, බදු නොවන ආදායම්, මුද්දර බදු හා උසාවි දඩ ,උපමාන පාදක ප්‍රධා‍න යටතේ සබරගමුව පළාතේ 2018 වර්ෂය සඳහා ලැබීම් සඳහා වූ ඇස්තමේන්තු ගත රුපියල් මිලියන විසිනව දහස් හයසිය තිස්හයකුත් එකසිය හතළිස් දහසක් පුනරාවර්ථන සහ ප්‍රග්ධන වියදම් සඳහා 2018 වර්ෂය සඳහා ඇස්තමේන්තු ගත වියදම රුපියල් මිලියන විසිනවදහස් හයසිය තිස්හයකුත් එකසිය හතළිස්දහසක් කි.

2017 වර්ෂයේ දී මුළු ලැබීම් රුපියල් මිලියන විසිපන්දහස් හත්සිය නවයකුත් දෙසියදහසක් වූ අතර එම මුදල මුළු වියදම් ලෙස ඇස්තමේන්තු ගත කර තිබිණි.

ඒ අනුව 2018 ජනවාරි මස 01 දින සිට හා 2018 දෙසැම්බර් 31 දින දක්වා පළාත් සභාවේ වියදම් සඳහා තක්සේරු කර ඇති රුපියල් මිලියන විසිනවදහස් හයසිය තිස්හයකුත් එකසිය හතළිස්දහසක් වේ.

එම වියදම් දැරීමට ප්‍රධාන ලේකම්වරයා ඇතුළු සෙසු බලධාරීන්ට මෙමඟින් අනුමැතිය හිමිවේ.

2018 වර්ෂය තුළ දී ඉදිරි පළාත් සභා මැතිවරණයකින් පසුව 7වන සබරගමුව පළාත් සභාව පිහිටුවීමේ හැකියාව ලැබේ. එම පළාත් සභාව යටතේ අය වැය ඉදිරිපත් කිරීමට එම පළාත් සභා මහජන නියෝජිතයන් වෙත නීතිමය ප්‍රතිපාදන හිමි වී ඇත. මෙම අවස්ථාවට ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න, නියෝජ්ය ප්‍රධාන ලේකම් මූල්‍ය කළමනාකරණ ඒ. එම්. ඥණසේන, නියෝජය ප්‍රධාන ලේකම් ඉංජිනේරු සේවා ඒ. ඩී. කේ. වීරරත්න, සහ පළාත් අයවැය අධ්‍යකෂ ප්‍රධාන ගණකාධිකාරී සරත් සේනාරත්න යන මහත්වරු එක්ව සිටියහ.

කලවාන සේන වේරගම

නව අදහස දක්වන්න