ඌවේ අය-වැය විවාදයෙන් විපක්ෂය ඉවත් වෙයි | දිනමිණ

ඌවේ අය-වැය විවාදයෙන් විපක්ෂය ඉවත් වෙයි

ඌව පළාත් සභාවේ 2018 වර්ෂයේ මුදල් ප්‍රකාශය මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා පසුගියදා මහා සභා රැස්වීමට ඉදිරිපත් කරන ලදී. න්‍යාය පත්‍රානුකූලව පෙරවරු 9.30 ට ආරම්භවීමට නියමිතව තිබූ නමුත් රැස්වීම ආරම්භ වූයේ පෙරවරු 10.00 ටය. සභාපති ඒ.ඇම්.බුද්ධදාස මහතා මුලසුන දැරූ අතර තේ විවේකයෙන් පසු ඌව පළාතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක, වනිතා කටයුතු සහ සමාජ සුබ සාධන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනුණි.

මෙහිදී නැගී සිටි විපක්ෂ නායක ර.මු.රත්නායක මහතා 2018 වාර්ෂික මුදල් ප්‍රකාශනයට එක්සත් ජාතික පක්ෂයේ විරෝධය පළ කරන බව පැවැසූ අතර සියලු එජාප මන්ත්‍රීවරුන් සභා ගර්භයෙන් පිටව ගියහ. ර. මු. රත්නායක මහතා මෙසේ කීය.

2018 වාර්ෂික මුදල් ප්‍රකාශනය සාකච්ඡාවට ගැනීමට නියමිත අද දිනයේ එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමේ දැඩි අවධානයට ලක්වූ කරුණු කිහිපයක් පිළිබඳ පැහැදිලි කිරීමක් මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට සුදුසුම අවස්ථාව මෙය නිසා ඒ සඳහා ඔබතුමාගේ අවසරය ඉල්ලා සිටිනවා.

යහපාලන රජයේ ප්‍රතිපත්ති, දර්ශනය, ඉදිරි දැක්ම, සංහිඳියාව, පිළිබඳ පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව විටින් විට තම ජ්‍යෙෂ්ඨ පාක්ෂිකයන්ටත්, රට වැසියාටත්, මැති-ඇමතිවරුන්ටත් කරුණු පැහැදිළි කරදී ඇති බව අප ඉතා හොඳින් දන්නා කරුණක් බව මා නොකිවමනායි.

ශ්‍රී ලංකාවේ පළාත් සභා 9ක් අතරින් ඌව පළාත් සභාව විශේෂ වන්නේ එක් ඇමැතිවරයකු එජාපයෙන් ඇමැති මණ්ඩලයට පත් කිරීමය. එවැනි පත්කිරීමකින් ජනාධිපති තුමාත්, අගමැතිතුමාත් බලපොරොත්තු වන්නට ඇත්තේ පළාත් සභාව යහපාලන රාමුවට ඇතුළත් කර දූෂණයෙන් තොරව සම්පත් සමසේ බෙදීයෑමට සැලැස්වීම විය හැකිය. එක් කණ්ඩායමකට පමණක් සීමාවූ සියලු වරප්‍රසාද හා පහසුකම් සාමාන්‍ය පන්තියේ ජනතාවටත් ලබා දියහැකි පාලන ක්‍රමයක් පළාතේ නිර්මාණය කිරීම ය. එම අපේක්ෂාවන් ඌව පළාත් සභාවෙන් ගිලිහී ගොස් ඇත. පසුගිය දෑ අවුරුදු පාලන සමයේ එජාප මන්ත්‍රී කණ්ඩායමට මුහුණදීමට සිදුවූ අනේකවිධ නොසලකා හැරීම් තවදුරටත් ඉවසාගෙන සිටිනවද? අපේ මන්ත්‍රීවරුන්ට හා ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සැලකූ දෙආකාර ක්‍රමවේදයන්ගෙන් පැහැදිළිව ප්‍රත්‍යක්ෂ වී ඇති බව සඳහන් කළ යුතුයි.

ඌව පළාත් සභාවේ 2016 දෙසැම්බර් 31 න් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනයේ විගණකාධිපති වාර්තාවේ 24 පිටුවේ මෙසේ සඳහන් වේ.

පළාත් සභා අමාත්‍යාංශවලට, දෙපාර්තමේන්තුවලට, කාර්යාලවලට අතිරික්ත, අනියම්, තාවකාලික, කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් සංඛ්‍යාව 2733 ක් බවත්, පාසල් කාර්යාල මණ්ඩලයට 211 ක් බවත් අතිරික්ත ගුරු මණ්ඩලය 1249 ක් වන බවත් සදහන් වේ.

මේ අතිරික්ත පත්වීම් හා බඳවා ගැනීම් නියමිත රාජ්‍ය පරිපාලන චක්‍රලේඛණවලට පටහැනිව යම් යම් අමාත්‍යවරන්ගේ තනි කැමැත්තට බඳවාගෙන ඇති බව පෙනේ. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් නොසලකා හැර තිබේ.

එසේම හොඳම පාසල - ළඟම පාසල යටතේ මධ්‍යම රජයෙන් ලබාදුන් ප්‍රතිපාදන යටතේ ඉදිකිරීම්, මුල්ගල් තැබීම්, විවෘත කිරීම් අධ්‍යාපන ඇමැතිගේ හා ඔහුට හිතවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගේ සහභාගිත්වයෙන් නාම පුවරුවල ඔවුන්ගේ නම් පමණක් භාවිතා කිරීමෙන් සිදු කරගෙන යන බව අප බොහෝ අවස්ථාවලදී පෙන්වා දුන්නා. සභාවේ අවසරයකින් තොරව මධ්‍යම රජයේ අය-වැය ලේඛනයෙන් ඉවත් කරන ලද පිරිවැටුම් බදු අය කිරීම සුළු වෙළෙඳුන් මත පැටවීමට ගැසට් පත්‍ර නිකුත් කිරීම වැරැදියි.

සභාවේ සම්මත කරන ලද යෝජනා ක්‍රියාත්මක නොකිරීම අප කණ්ඩායමේ දැඩි විවේචනයට ලක්වුණා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලිම් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදෙන අතර එ.ජා.ප. මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමට කිසිදු අවස්ථාවක් ලබාදී නොමැත. පළාත් පාලන දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති ප්‍රතිපාදන ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා මාර්ග තෝරා ගැනීම මෙයට හොඳම නිදසුනකි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහන සලසමින්, වරප්‍රසාද ලබාදෙමින් සහ යහපාලන ආණ්ඩුවේ ප්‍රතිපත්ති, දර්ශනය හා සංකල්ප විනාශ කරමින් මේ පළාත් සභාව ගෙනයන අමනෝඥ පාලනය නැවතත් යහපාලනයට යොමුකර ගැනීමේ අදිටනින් අද පැවැත්වෙන අය - වැය විවාදය වර්ජනය කර අපි සභාවෙන් පිටව යනවා.

ඉන්පසුව විපක්ෂ නායක කාර්යාලයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවති අතර මේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ තිස්සකුට්ටි ආරච්චි හා උපාලි සමරවීර යන මහත්වරු සහභාගී නොවූහ.

බණ්ඩාරවෙල සමූහ ආනන්ද හපුගොඩ 

නව අදහස දක්වන්න