කිරිමැටියාන නගරයේ අඩුපාඩු රැසයි | දිනමිණ

කිරිමැටියාන නගරයේ අඩුපාඩු රැසයි

වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයේ ප්‍රධානම නගරය ලෙස සැලකෙන කිරිමැටියාන නගරයේ ඇති අඩුපාඩු සපුරාලීමට අදාළ බලධාරින් මේ දක්වා පියවර ගෙන නොමැති බවට නගරවාසිහු චෝදනා එල්ල කරති. මැතිවරණ සමයේ දී ජනතාවට පොරොන්දු දීම දේශපාලන අධිකාරිය පුරුද්දක් කරගත් බවට චෝදනා කරන එම පිරිස් අඩු තරමින් නගරයට වටරවුමක් ඉදි කරදීමටවත් මෙතෙක් පියවර ගෙන නොමැති බව පෙන්වා දෙති. තුලාවල ලුණුවිල දංකොටුව හා නාත්තන්ඩිය වැනි ප්‍රධාන මාර්ග කීපයකට මැදිව ඇති කිරිමැටියාන නගරය මධ්‍යයේ ඇති ජල බස්නා කානු පද්ධතියවත් මේ දක්වා නිසි ලෙස පිළිසකර කරදී නොමැති අතර නගරයට පොලිස් ආරක්ෂාව ලබාදීමේ අරමුණින් ඉදි කළ පොලිස් මුරපොළ එය තුළ කිසිදු නිලධාරියෙක් නොමැතිව පසෙකලා තිබීම පොලිසියේ හොද නමටද කැළලක්ව ඇත.

කිරිමැටියාන උප තැපැල් හලට දැනට වසර 53ක ඉතිහාසයක් ඇතත් එයට ඉඩකඩ ඇති ස්ථීර ගොඩනැඟිල්ලක් මෙතෙක් ලබාදී නොමැති අතර බෞද්ධ ජනතාව වෙසෙන නගරයක් වුවත් වටිනා බුදු මැදුරු දෙකක් නගරය මැද්දේ විනාශ වෙමින් පවතී. කිරිමැටියාන නගරය මැද්දේ ඇති වසර 100ක් පැරණි අම්බලමක් අසල කහටවිල බස් නැවතුම්පොළ පිළියෙළ වී ඇතත් එම ස්ථානය ඉතාමත් අනතුරුදායක තත්ත්වයට පත්ව ඇත්තේ අදාළ අම්බලමේ කොටස් නිතර නිතර කඩාවැටීම හේතුවෙනි. නගරයේ තිබුණු වසර 150 ක් පමණ පැරණි අනගාරික ධර්මපාලතුමා විසින් රෝපණය කරන ලදැයි කියන බෝධිරාජයාව මාර්ග සංවර්ධනයත් සමගම එම ස්ථානයෙන් ඉවත් කිරීමට පියවර ගත්තද අවසානයේදී එහි අතු පමණක් කපා දැමීමට තරම් බලධාරින් කුරිරුවූ බවට නගරවාසින්ගෙන් චෝදනා එල්ලවේ.

කිරිමැටියාන නගරවාසින්ගේ අඩුපාඩු සොයාබලා කඩිනම් කටයුතු යෙදීම සඳහා ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන ජාතිත ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ අවධානය වහා යොමුකලයුතු බව කියන නගරවාසි ජනතාව යහපාලන රජයේ ඉදිරිගමන තවදුරටත් යටපත් නොකිරීම දේශපාලන අධිකාරියේ වගකීමක් බවද පෙන්වා දෙති.

වෙන්නප්පුව විශේෂ
සුනිල් ප්‍රනාන්දුපුල්ලේ 

නව අදහස දක්වන්න